දැරියන්ටත් නිදහසේ පියඹා යන්න ඉඩ දෙන්න ‘Skater Girl’

සමාජ ප්‍රශ්න ගැන කතා කරන ඉන්දියාණු චිත්‍රපට Skater Girl ( 2021) මල් ගස් වටේ මෙන්ම සමාජ ප්‍රශ්න දිගේ

සමස්ථයක් ලෙස ඉන්දියාවේ කුමන ප්‍රාන්තයක චිත්‍රපටයක් නිර්මාණය වුණත් ඒවා බහුතරයක් රසිකයා සිහින ලෝකයට රැගෙන යන චිත්‍රපට. අපූර්ව සංගීතය සහ නර්ථනය මුසු වූ ඉන්දියානු චිත්‍රපට ලෝකයේ කොයි කෙළවරේත් ජනප්‍රිය වෙන්නේ මේ නිසා. අප මේ සිහින යයි කියන චිත්‍රපට මෙන්ම ඉන්දියනු සමාජය වෙලා ගෙන තිබෙන පසුගාමිත්වය සහ විවිධාකාර සාමාජීය ප්‍රශ්න කේන්ද්‍ර කරගත් චිත්‍රපට ද බිහිවෙනවා.

මේ වසරේ Netflix වෙත මුදාහැරුණු Skater Girl ( 2021) තුළ යටින් දිවෙන සමාජ යථාර්තය වන්නේ තවමත් ඈත නොදියුණු ගම්වල පවතින කුල භේදය සහ කාන්තා පහත් කොට සැලකීම සහ දැරියන් ඉතා අඩු වයසෙන් විවාහ කර දීමේ සාමාජීය ප්‍රශ්නයයි. coming-of-age sports drama හෙවත් තරුණ වියට සංක්‍රාන්තිය සහ ක්‍රීඩා – නාට්‍ය ගනයේ චිත්‍රපටයක් යන ගනයට අයත් වන බව චිත්‍රපටය දී ඇති විස්තර වල සඳහන් වෙනවා.

ඉන්දියාවේ රාජස්තානයේ ඈත ඉතා දුප්පත් ගමක වෙසෙන ප්‍රෙර්නා (Rachel Saanchita Gupta) පහත් යයි සම්මත කුලයට අයත් දැරියක්. පවුලේ අග හිඟ කම් නිසා පාසල් යන්නේ ඇයගේ කුඩා සොහොයුරා පමණයි. මේ අතර ලන්ඩන‍යේ උපන් ජෙසිකා මේ ගම්මානයට පැමිණෙන්නේ සිය මිය ගිය පියා ජීවත් වූ ගම්මානය දැක ගැනීමට. (ඇයගේ පියා බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් කුඩා කාලයේ දී දරුකමට හාදා ගැනීමට බ්‍රිතාන්‍යයට රැගෙන යනවා) ජෙසිකාට ප්රෙර්නා අහම්බෙන් හමුවෙනවා. ඇය මේ දැරියට පාසල් යාමටත් ඇය ඇතුලු ගමේ දරුවන්ට Skate Board පැදීමටත් උදව් කරනවා. එම උපකරණ රැගෙන දෙනවා. දරුවන්ගේ මේ අලුත් සෙල්ලම ප්‍රශ්න රාශියක් නිර්මාණය කරනවා. ප්රෙර්නා‍ගේ පියා සිය දියණියගේ මේ ක්‍රීඩාවට කැමැත්තක් දක්වන්නේ නෑ. ළමුන්ගේ පාසල් ගමනට වන බාදාව නිසා පාසලේ ගුරුවරයාගේ මැදිහත් වීමෙන් ගමේ කඩ පිළේ ආදී නොයෙකුත් තැන්වල කෙරෙන ස්කේට්බෝර්ඩ් ක්‍රීඩාව තහනම් කෙරෙනවා. ජෙසිකා සිය හිතමිතුරන්ගේ උදව්වෙන්, ප්‍රදේශයේ දානපතිනියකගේ උදව්වෙන් ස්කේට්බෝර්ඩ් ක්‍රීඩා කළ හැකි ස්ථානයක් ඉදි කරනවා. ප්රෙර්නාගේ පියා දියණියගේ ස්කේට්බෝඩය ගිනි තබන අතර ඇයව විවාහයක සූදානම් කරවනවා. ඇයට සමස්ථ ඉන්දීය ස්කේඩ්බෝඩ් ශූරාතා තරඟවලියට සහභාගිවීමට ලැබෙයි ද?

පසුගිය කාලයේ බොලිවුඩය මෙන්ම අනෙකුත් ප්‍රාන්ත වලින් නිර්මාණය වූ මෙවන් සුවිශේෂ චිත්‍රපට රාශියක් තිබෙනවා. ඒවා අතරින් ඇතැම් ඒවා කෙලින්ම නෙට්ෆ්ලික්ස් සඳහා ම නිර්මාණය වූ ඒවා. Lipstick Under My Burqa ( 2016), Toilet ( 2017 ) Secret Superstar ( 2017) Bulbul Can Sing ( 2018) Pad Man (2018 ) කතා සතරකින් යුක්ත Paava Kadhaigal (2020) වැනි චිත්‍රපට ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය කතන්දර කීමේ කලාවට අයත් නොවන සියුම් සමාජීය මානව සබඳතා ගවේශනය කරන චිත්‍රපට.
– අතුල දිසානායක (fb)

Trailer: https://www.youtube.com/watch?v=k5Fn99wmFCQ

Leave A Reply

Your email address will not be published.

1 × 4 =