ශ්‍රී ලංකාවේ අවසන් එක්දින තරඟ 20

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් එක්දින තරඟ 20 සහ ඒවායේ දත්ත සලකා බැලුවහොත් 2019 ජුනි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා වසර දෙකක කාලයක් පුරා එම තරඟ 20 ක්‍රියාත්මකවී තිබේ. එම තරඟ 20ට 2019 ලෝක කුසලානයේ තරඟ කිහිපයක් ද අයත් වේ. එම තරඟ 20න් ශ්‍රී ලංකාව තරඟ 10ක් ජයගෙන ඇති අතර ජයග්‍රහණ ප්‍රතිශතය 50% කි.
එම තරඟ 20න් 15ක් සඳහා නායකත්වය ලබාදී ඇත්තේ දිමුත් කරුණාරත්න විසින් වන අතර එයින් තරඟ 9ක් ජයගෙන ඇති අතර ජයග්‍රහණ ප්‍රතිශතය 60% කි. ළහිරු තිරිමාන්න තරඟ 2 කට නායකත්වය ලබාදී ඇති අතර එම තරඟ දෙකම පරාජයට පත්ව ඇත. එසේම නව නායක කුසල් ජනිත් පෙරේරා තරඟ 3 කට නායකත්වය ලබාදී ඇති අතර ඉන් 01 තරඟයක් පමණක් ජයගෙන ඇති අතර ජයග්‍රහණ ප්‍රතිශතය 33% කි.
පිතිකරුවන් සම්බන්ධයෙන් සලකාබැලූ විට මෙම තරඟ 20දී වැඩිම ලකුණු ලබාගෙන ඇති පිතිකරුවා වන්නේ කුසල් ජනිත් පෙරේරා වන අතර ඔහු තරඟ 15කදී ලකුණු 677ක් ලබාගෙන තිබේ. දෙවනි ස්ථානයේ පසුවන්නේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු තරඟ 16කදී ලකුණු 536ක් ලබාගෙන තිබේ. ඒ හැරුණුවිට පිළිවෙලින් අවිශ්ක ප්‍රනාන්දු තරඟ 12කදී ලකුණු 508ක්, ඇන්ජෙලෝ මැතිව්ස් තරඟ 13කදී ලකුණු 451ක්, දිමුත් කරුණාරත්න තරඟ 15කදී ලකුණු 448ක්, ධනුෂ්ක ගුණතිලක තරඟ 8කදී ලකුණු 418ක්, වනිඳු හසරංග තරඟ 12කදී ලකුණු 355ක්, ධනංජය ද සිල්වා තරඟ 13කදී ලකුණු 277ක්, ලහිරු තිරිමාන්න තරඟ 7කදී ලකුණු 200ක් සහ දසුන් ශානක තරඟ 6කදී ලකුණු 188ක් ලබාගෙන ඇත.
එහෙත් පිතිකරුවන්ගේ ඉනිමක ලකුණු සාමාන්‍ය සලකා බැලීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ධනුෂ්ක ගුණතිලක වන අතර ඔහුගේ ලකුණු සාමාන්‍ය 52.2 කි, දෙවනි තැනට සිටින්නේ කුසල් ජනිත් පෙරේරා වන අතර ඔහුගේ සාමාන්‍ය 45.1 කි, ඉන් පසුව පිළිවෙලින් අවිශ්ක ප්‍රනාන්දු 42.3 ශෙහාන් ජයසූරිය 37.3 (තරඟ 3 කදී), ඇන්ජෙලෝ මැතිව්ස් 34.6 , කුසල් මෙන්ඩිස් 33.5ක් සහ දිමුත් කරුණාරත්න මෙන්ම වනිදු හසරංගගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 29කි. කෙසේ වුවද දසුන් ශානක ඉනිමකදී ලකුණු 31ක සාමාන්‍යයක් පවත්වාගෙන ගියද වසර ගණනාවක අත්දැකීම් සහිත ධනංජය ද සිල්වා තරඟ 13කදී ලකුණු සාමාන්‍ය 21.3ක් පමණවීම සලකා බැලිය යුතුය.
එසේම පසුගිය වසර දෙක පුරා එක්දින තරඟ 20කදී ශ්‍රී ලාංකික පිතිකරුවන් ලබාගෙන ඇත්තේ ශතක 7ක් පමණක් වන අතර එයින් 2ක් කුසල් ජනිත් පෙරේරා ද, 2 ක් අවිශ්ක ප්‍රනාන්දු විසින්ද ලබාගෙන ඇත. ඒ හැරුණුවිට ධනුෂ්ක ගුණතිකල, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක් ශතකය බැගින් වාර්තා කර තිබේ. එසේම පසුගිය තරඟ 20දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 23ක් පමණකි. දිමුත් කරුනාරත්න හා කුසල් පෙරේරා අර්ධ ශතක 3 බැගින් ලබාගෙන තිබේ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසුගිය එක්දින තරඟ 20දී වැඩිම කඩුලු ලබාගෙන ඇත්තේ නුවන් ප්‍රදීප් වන අතර ඔහු කඩුලු 19ක් ලබාගෙන තිබේ, ඒ හැරුණු විට ලසිත් මාලිංග කඩුලු 16ක් ලබාගෙන තිබෙන්නේ තරඟ 6කදී පමණක්වීම විශේෂත්වයකි. ඉසුරු උදාන කඩුලු 14ක්, වනිඳු හසරංග කඩුලු 12ක්, දුෂ්මන්ත චමීර කඩුලු 11ක්, ලක්ෂාන් සඳකැන් කඩුළු 8ක්, ධනංජය ද සිල්වා කඩුළු 8ක්, ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 6ක් ලබාගෙන තිබේ.
ධනංජය ද සිල්වා එක්දින කණ්ඩායම තුල රඳවාගෙන සිටින්නේ කුමන අරමුණකින්ද යන්න ගැටළුවකි. පසුගිය වසර දෙක පුරාම ඔහුගේ ලකුණු සාමාන්‍ය 21.3ක් වීම සහ පන්දුවෙන් ලැබී ඇත්තේ කඩුලු 8ක් පමණක්වීම නිසා ඔහු සුදු පන්දුවේ තරඟ සඳහා තවදුරටත් සංවර්ධනය විය යුතු ක්‍රීඩකයෙක් බව පැහැදිලිය. කෙසේ වෙතත් ඇති බරපතලම ගැටළුව කුසල් පෙරේරා වැනි නායකත්වය සම්බන්ධයෙන් පළපුරුද්දක් හෝ ආකල්පමය වශයෙන් පරිණතභාවයක් නොපෙන්වන ක්‍රීඩකයෙක් පත්කිරීම තුල ඔහුගේ පිතිකරු භූමිකාව පවා බිඳවැටීමකට හේතුවිය හැකිය. කෙසේ වෙතත් මේ වනවිටත් තරඟාවලියෙන් ආබාධයක් හේතුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ විනය කඩකිරීම් හේතුවෙන් උපනායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව අහිමිවී ඇත. ඒ වෙනුවට ඕෂධ ප්‍රනාන්දු, පැතුම් නිස්සංක,චරිත් අසලංක සහ රමේෂ් මෙන්ඩිස් බොහෝ දුරට කණ්ඩායමට එක්වනු ඇත.

– ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර (fb)

Leave A Reply

Your email address will not be published.

10 + seven =