රට නියෝජනය කල අසංවර පුතුන් – “බැරි නම් ළමයෙකුට දැන් තැන දී පෝඩා”

කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට පලමුවෙන්ම ඉගැන්විය යුත්තේ සංවරකමයි. රටක් නියෝජනය කරන්න ගිහින් අසංවර හැසිරීම නිසා ආපස්සට යන්න වෙනව කියන්නෙ සුලු දෙයක් නෙවෙයි. තමන් ලැජ්ජාවට පත්වෙන්න ඕන සහ රටේ මිනිසුන්ගෙන් සමාව ඉල්ලන්න ඕන කාරණයක්. ඒකට ලොකු හේතුවක් තියෙනව, ඒ තමයි ජයග්‍රහණයන් ඉතා අඩු අපේ රටේ මිනිසුන්ට සතුටුවෙන්න පුලුවන් ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් අරන් දුන්නෙ ක්‍රිකට් වීම. ක්‍රිකට්වලට මිනිස්සු ආදරය කරන්නෙ ඒකයි, මැච් පරදින කොට මිනිස්සු දුක් වෙන්නෙ, ක්‍රීඩකයො පිස්සු නටනකොට මිනිස්සුන්ට තරහ යන්නෙ මිනිසුන්ව මොහොතක හෝ සතුටක තියන්න පුලුවන් එකම දෙයත් ඔවුනට නැති වෙයි කියල ඇතිවන බයට, ඒ වේදනාවට.
සුදු කමීස සහ සුදු කලිසම් ඇඳල සුදු සපත්තු දාල සන් හැට් දාල ගහන ක්‍රිකට්වලට කිව්වෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාව කියල. ක්‍රිකට් ගහපු ගොඩක් අය ක්‍රිකට් ගැහුවෙත් මහත්තුරු වගේ. අපිත් සෑහෙන කාලයක් අපේ රටේ එහෙම මහත්වරු ක්‍රිකට් ගහනව දැක්ක.
වර්තමානයේ සුදු පාට, කලු පැහැ වෙලා. සුදු ඇඳගත්ත ගොඩක් අයගෙ වැඩ කලුයි. ක්‍රිකට්වලටත් ඒකයි වෙලා තියෙන්නෙ, සුදු දිග කලිසම්, සුදු කමීස ඇඳගෙන මහත්වරුන් කල මහත්වරුන්ගේ ක්‍රීඩාව අද ඒ ඇඳුම් ඇඳගෙන, ඒ සපත්තු, සන් හැට් දාගෙන කරන්නෙ කවුද කියල දෙවරක් හිතන්න වෙනව.
– උපුල් කුමරප්පෙරුම

බැරි නම් ළමයෙකුට දැන් තැන දී පෝඩා

මොන ලබ්බක්ද දන්නේ අපි ක්‍රිකට් ගැන
ජාතික පිළට මොකටද බං අපේ බණ
දැන් ක්‍රීඩකයො ගැහුවත් කයිවාරු මොන
දැක්කෙම කලෙක සිට විදියයි පිටියෙ රෙන

නැතිවුණොතින් බැටින් උඹ ඉවරයි වසලා
කිව්වත් යෙහෙන් වැජඹෙයි කවදත් කුසලා
ලැජ්ජත් නැද්ද මේ හැටි බැණුමුත් අසලා
උරපං සිගා ලකුණුත් ලෙසටම ගසලා

පිටියෙදි නිතර දෙවියන් යදිනා දික්කා
කස කස දුමක් දෑමට දඟලනු දැක්කා
පඩ ෂෝවලට උඹලගෙ වැටෙනව ඉක්කා
හරියට ක්‍රිකට් නොගහා කරනුයෙ මක්කා

බැරුවැති උඹලටත් බොන්නැතුවම ක්‍රීඩා
එනමුත් පේන්නම බැරි උඹලගෙ ප්‍රෝඩා
කැඩුවා වගෙයි උඹලත් බෝතල් සෝඩා
බැරි නම් ළමයෙකුට දැන් තැන දී පෝඩා

– ප්‍රියන්ත කොඩිප්පිලි (fb)

Leave A Reply

Your email address will not be published.

one × 1 =