නිහඬවම තමන්ට හැකි අයුරින් අන්‍යයන් බලගැන්වූ නයනසේන වන්නිනායක

ඊයේ (2021/06/26) පැවති නයනසේන වන්නිනායක නිර්මාණ නැවත කියවීමේ සාහිත්‍ය කතිකාව සාර්ථකව නිම වුණා . ඔහු විසින් ගීත සියයක් ලියා තිබුණු බව මම දැනගත්තේ ඊයේ. දෙකක පමණක් හැර අනිත් ගීතවල කොටස් පමණක් ඉදිරිපත් කිරීමට කලින් හිතාගෙන හිටියත් තෝරා ගත්තු ගීත 6ම සම්පූර්ණ ලෙස වාදනය කරන්න පසුව තීරණය වුණේ ඔහු තුළ ඉන්න ගීත රචකයාට උපහාරයක් ලෙස. අපේ හැම කතිකාවක්ම කෙරුණේ ජීවතුන් අතර ඉන්න නිර්මාණකරුවෝ එක්ක. පටන් ගත්තු තැන ඉඳන් අවසානයවෙනකල්ම ඒ කතිකා තුළ තිබෙන්නේ සජීවී බවක් .ඊයේ වැඩ සටහන නරඹන්නෙකුට ඉතාම සජීවී වුණත් සමීප මනුෂ්‍යයකුගේ නික්ම යෑමෙන් පසු කෙනෙකු තුළ ඇතිවන හිස්කම ඒ වැඩසටහන පුරා මට දැනුණා . යතාර්ථය සහ සත්‍ය මොන තරම් අවබෝධ කරගෙන හිටියත් තව ඉන්න තිබුණු මනුස්සයෙක් කියන එක මට නිතර හිතුණා . මිනිස්සු කවුරුත් ආව පිළිවෙලට ජීවිතයෙන් යන්නේ නැහැ. ඒ පිළිවෙල ජීවත්වෙලා ඉන්න කිසිම කෙනෙක් දන්නෙත් නැහැ. හැබැයි නයනසේන වන්නිනායකයන්ගේ කෙටි ජීවිත කාලය තුළ ඔහු මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත් වෙලා පමණක් නොවෙයි මිනිසුන් රැසක් තමන්ට හැකි අයුරින් බලගන්වලා තියෙනවා කියන එක මම ඇත්තටම දැනගත්තේ ඊයේ.

ඔහු පෙනී සිටිනා දේශපාලනය වෙනුවෙන් අප අතර සංවාද පවා ඇති වී තිබුණත් තමන් විශ්වාස කළ දේශපාලනය තුළ තමාගේ වාසිය පිණිස නොව සැබෑවටම ඔහු ජීවත් වෙලා තියෙනවා කියලා හිතුණා . මේ ලෝකේ හැමකෙනෙක්ම දක්ෂයි. මොනවම හරි දේකට දක්ෂයි. හැමෝම දක්ෂයෝ වුණු තරඟකාරී ලෝකයක මනුෂ්‍යයෝ ඉන්නේ ටිකදෙනයි. ඒ මනුෂ්‍යයන් ලෝකය ලස්සන කරනවා. අනිත් මිනිස්සු බලගන්වන මනුෂ්‍යයන් ඉන්නේ ඊටත් වඩා ටිකදෙනයි. සාමාන්‍යයෙන් අනෙකාව බලගන්වන්නන් අනිත් අයගේ දෑසට අහුවෙනවා. සමහර පිරිසක් නිහඬවම ඒ දේ කරනවා කියන දේ ඊයේ වැඩසටහන අපට මතක් කළා කියන එක මම විශ්වාස කරන්නේ නයනසේන අය්යා නිහඬවම තමන්ට හැකි අයුරින් අනිත් මිනිසුන් බලගැන්වූ මනුෂ්‍යයෙකු වූ බව දැනගැනීමට හැකි වුණේ ඊයේ වැඩසටහනේදී අනිත් අය කතා කළ දේ තුළින් වීමෙන්. . නිහඬවම හෝ කැපී පෙනෙනා ලෙස අඩු වැඩි වශයෙන් අනෙකා බලගන්වන මනුෂ්‍යයන් පිළිබඳ මගේ තියෙන්නේ විශාල ගෞරවයක්.
– කාංචනා ප්‍රියකාන්ත (fb)

Leave A Reply

Your email address will not be published.

14 − 11 =