ඔබේ චිත්ත සන්තානයට හෙලන අකුණු පහර – ‘අසනිපාත’

In revolutions the occasions may be trifling, but great interest are at stake – Aristotle
1987,88,89 යනු ලාංකීය ඉතිහාසය තුළ කිසිවිටෙක අමතක කළ නොහැකි අවධියකි. මනුෂ්‍ය ජීවිතයේ අගය භයානක ලෙස පහත වැටුණු භීම සමයකි. වාමවාදී විප්ලවය හා ඒ අරභයා රජය විසින් ක්‍රියාත්මක කළ භීෂණකාරී මර්ධනය තුළ සිදුවූ මිනිස්කමට දැරිය නොහැකි තරමේ සිදුවීම් පිළිබඳව විවිධ දේශපාලන කෝණයන්ගෙන් ලියවීම් සිදුව ඇත. මේ ලියවිලි බහුතරයක් ඒ කර්තෘගේ දේශපාලන මතවාදය මගින් පෝෂණය වූ ඒවා මිස සැබෑ සත්‍යවාදී කියැවීමක් ලෙස සැලකීම උගහටය.
“අසනිපාත” එළිදැක්වෙන්නේ මෙවැනි මතබේදාත්මක පරිසරයක් තුළින් වීම කැපී පෙනෙයි. මේ සමස්ථය තුළ කතෘ විසින් මධ්‍යස්ථ ලෙස මේ සිදුවීම් දෙස බලමින් පාඨකයාටද විවෘත මනසින් මෙය කියවන්නට ආරාධනා කරයි. අසනිපාත තුළ මට හමුවන ප්‍රධාන වෙනස නම් එයයි.
අසූඅට අසූනමය පිළිබඳ කෙතෙක් පොතපත ලියවී තිබුනද මේ බිහිසුණු සමයේ සාමාන්‍ය ජනයා මේ ඛේදවාචකයන් හා දේශපාලනමය කාරණා තේරුම් කරගත් ආකාරයත්, ඔවුන් මේ සඳහා දැක්වූ ප්‍රතිචාරයන් නිවරදිව හසුකරගන්නට කිසිම රචකයෙකු සමත්ව නැතැයි මට හැඟේ. සෝමසිරි ඒකනායක මේ හිඩැස පුරවන්නට අසනිපාත කෘතියේදී යම් දුරකට සමත්ව තිබේ. මෙහි එන ගොයියා, විල්සන් උන්නැහේ, පොඩ්ඩේ යන ප්‍රධාන චරිතවලට සෘජු සම්බන්ධයක් නැති චරිත කතාව තුළට ගෙනඑමින් එමින් කතුවරයා උත්සාහගන්නේ ඉහත කී කාරණාවටයි.
තරුණයින් කිහිපදෙනෙකු වටා ගෙතෙන කතාව දිවෙන්නේ වර්ථමානය හා අතීතය සම්බන්ධ කරගෙනයි. යම් සිදුවීමක ප්‍රථිඵලයන් කෙතරම් පරිධියක ක්‍රියාත්මකවේදැයි විග්‍රහ කිරීම අපහසුය. එමෙන්ම එහි ප්‍රතිඵලයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන අයුරින් සිදුවිය හැකිය. අතීතයේ වූ අඳුරු සිදුවීම් දාමයක් වර්ථමානයට බලපෑම් කර ඇති ආකාරය කියවා ගතයුත්තේ ඒ පරිධියේ ප්‍රමාණය මනාව වටහාගනිමින්ය. මේ කරුණ අරභයා අසනිපාත ඉටුකරන කාර්යය ප්‍රශස්ථය.
සමස්ථයක් ලෙස පොත තවත් සංස්කරණය වීමට ලක්වූවා නම් හොඳය. පාඨකයාට ලැබෙන අත්දැකීම තීව්‍ර වන්නේ එවිටය. සමහර සිදුවීම් විස්තර කිරීමේදී කතුවරයා එකී දුර්වලතාවයක් දැක්වුවද සමස්ථයක් ලෙස මේ නවකතාව අවසානයේ ඔබගේ චිත්ත සන්තානයට අසනිපාතයක් වදින්නට කතුවරයා සලස්වා ඇත. කියැවීමක් අවසානයේ වටින්නේ එයය.

-රශ්මික මණ්ඩාවල

‘අසනිපාත’
සෝමසිරි ඒකනායක
“අහස” ප්‍රකාශනයක්

Leave A Reply

Your email address will not be published.

2 + fourteen =