“දැන් සේරම බැසිල්ට දෙන්නයි යන්නෙ”

- පා.ම. හරිනි අමරසූරිය

ආණ්ඩුව ප්‍රශ්න විසදීමට මහින්ද රාජපක්ෂ ඉන් පසුව ගෝඨාභය රාජපක්‍ෂ දැන් බැසිල් රාජපක්‍ෂ යන චරිත ගෙන එමින් පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසයි.

වර්තමාන තත්වය ගැන පහදමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවේ මෙවන් අදහසකි. “මේ වෙලාවේ රටේ අර්බුද රාශියක් පැන නැගිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ වන විට ආණ්ඩුව දිනපතාම අර්බුද සහ විහිළු සපයන තත්වයට පත්ව තිබෙනවා. ජනතාවක් හැටියට හෝ රටක් හැටියට දරා ගන්න බැරි තරමට ඒ නිසාම ප්‍රශ්න ඇතිවෙනවා. මේ තරම් සීග්‍රයෙන් රට කඩා වැටෙන තත්වයකට පත්කළ වෙන ආණ්ඩුවක් අපේ මතකයේ නැහැ. මේකේ බරපතළකම මේ මොහොතේදී විතරක් නෙවෙයි, රටේ මුළු අනාගතයම අර්බුදයට පත්වෙනවා. ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මේ ආණ්ඩුවට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. හැම මොහොතකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.

ඒ අතර රටේ පාර්ලිමේන්තු සංස්කෘතිය ඇතුළු කිසිම දේකට ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ ගැන දැනුවත්කමකුත් නැහැ. රට පවත්වාගෙන යන්න තියෙන සියලුම පද්ධතීන් විනාශ කරමින් යන ගමනක් තියෙන්නේ. මේ සියලු අර්බුද බැසිල් රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ලබාගත්තාම විසඳන බවට මතයක් ගෙන යමින් ඉන්නවා. මෙච්චර කල් කීවේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා සියලු ප්‍රශ්න විසඳනවා කියලා. ඊට ඉස්සෙල්ලා කිව්වේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා ගැන. දැන් බැසිල් රාජපක්‍ෂ මහත්මයා ගැන කියනවා. මේ විහිළුව මොකක්ද? පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් එළියට දානවා. එක්කෙනෙක් ෆේල් වෙනකොට පැත්තකට දාලා අනෙක් එක්කෙනාව ගන්නවා.

සමාජය ගැන, දේශපාලනය ගැන, දැනුවත් ජනතාව ගැන සංවේදීත්වයක් තියෙන ප්‍රතිපත්තිගරුක සහ හැකියාවක් තියෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගන්න පිරිසක් දැන්වත් අවශ්‍යයි. ලොක්ඩවුන් එක කොරෝනා මර්දනය වෙනුවෙන් හිරියට යෙදවූවේ නැහැ. හරියට යෙදවූවා නම් ආසාදිතයන් අඩුවී මරණ අඩුවෙන්න ඕනෑ. සංඛ්‍යාලේඛනවල අඩුවීමක් තියෙන්නේ පී.සී.ආර්. අඩුකිරීම නිසා කියලා අපි දන්නවා. ආණ්ඩුව කරන්නේ කොවිඩ් පාලනය නොවෙයි. ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා කොවිඩ් යොදා ගැනීමයි. ජනතාවගේ ප්‍රශ්න ගැන හැඟීමක් නැති මෙවැනි ක්‍රෑර පාලනයක් පවතින බව ජනතාව අත්විඳිමින් ඉන්නේ. මේ තුළින් ජනතාවට දේශපාලන පාඩම් ගොඩක් කියලා දෙනවා. මේ තත්වය වෙනස් කරන්න මැදිහත් විය යුත්තේ කොහොමද කියලා මේ තත්වය තුළින් කියා දෙනවා. අමාරුවෙන් හරි මේ තත්වය තුළ ඉගෙනගෙන වෙනස් කරන්න මැදිහත් විය යුතුයි කියලා අපි අවධාරණය කරනවා.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා විශාල අර්බුද ප්‍රමාණයක් තිබෙනවා. තාක්‍ෂණික ප්‍රශ්න නිසාම නෙවෙයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසමානතා කොවිඩ් කාලය තුළ සීග්‍රයෙන් වර්ධනය වෙනවා. රජය ඊට දෙන එකම පිළිතුර ඔන්ලයින් අධ්‍යාපනය විතරයි. වහාම මැදිහත් වී අත්හැරී තිබෙන අධ්‍යාපනය ගැනත් සංවේදී වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.මේ ප්‍රශ්න සියල්ල මැද්දේ ගෙනත් තිබෙන මේ පනත වහාම හකුළා ගන්න කියලා අපි බල කරනවා. එයට විරුද්ධ වන ලෙස වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධානවලින් සහ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.”

Leave A Reply

Your email address will not be published.

10 − three =