ජනමාධ්‍ය ආයතනවල කාන්තාවන් වෙනුවෙන් කඩිනමින් මැදිහත් වන්නැයි ඉල්ලයි

- තරුණ මාධ්‍යවේදීහු ප්‍රවෘත්ති අධ්‍යක්ෂට ලියති !

ජනමාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන්ට පීඩාවකින් සහ ලිංගික හිංසනවලින් තොරව රාජකාරි කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.

භාෂාව වෙනස් වුණත් තත්ත්වය සමානයි !

සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇති වී තිබෙන බවත්, එම සංවාදය ඇතිවීමට මූලිකත්වය ගත් කාන්තාවන්ට සිය ස්තූතිය පළකරන බවත් එම සංගමය අදාළ ලිපියේ සඳහන් කර ඇත. අදාළ සංවාදය ආරම්භ වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන මාධ්‍ය සම්බන්ධයෙන් වුවද, සිංහල සහ දෙමළ භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවල තත්ත්වයේ ද මේ තත්ත්වය එලෙසින්ම දැකිය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් ය.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චිගේ අත්සනින් යොමුකර ඇති මේ ලිපිය මගින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර පහත වෙනස්කම් සිදුකිරීමට මැදිහත් වන ලෙස ඉල්ලීම් කර ඇත.

යෝජනා කරන වෙනස්කම්

1) ලිංගික හිංසනයක් සිදුවූ වහාම ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ට පැමිණිලි කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට පැමිණිලි කිරීමටත් මාධ්‍ය ආයතනවල රාජකාරි කරන කාන්තාවන් දැනුවත් කිරීම.
(ලිංගික හිංසන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇතැම් කාන්තාවන් බියක් දක්වන අතර, ඊට ප්‍රධානම හේතුව එමගින් යම් සමාජ අපකීර්තියක් තමන්ට සිදුවේ යැයි ඇති වන බිය සහ තවත් පුද්ගලයන්ගෙන් ද මෙවැනිම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ යැයි ඇති වන බිය ය. තමන්ට එරෙහිව මෙවැනි හිංසනයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් දැනුවත් කළ යුතුය. ඔවුන් බලගැන්විය යුතුය. ලිංගික හිංසනවලට එරෙහිව සටන් කළ සමන්ති මනෝහරී පැලකැටිය නම් පාසල් ගුරුවරියගේ (SC/FR/No. 76/2012) සිද්ධිය ද ඊට අදාළ කර ගත හැකිය.
2) කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ගැන කුමනාකාරයෙන් හෝ දැනුවත් වූ වහාම ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඇයව හිංසනයට පත් කළ පුද්ගලයන්ට එරෙහිව ආයතනික වශයෙන් කටයුතු කිරීම සහ ඔහුට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට හිංසනයට භාජනය වන කාන්තාවන් ධෛර්යමත් කිරීමට මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම.
3) මාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන් යම් ලිංගික අපයෝජනයකට මුහුණ දුනහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ කාන්තාවන්ට ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසන නතර කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ස්වාධීන අංශයක් ස්ථාපිත කිරීම.
4) කාන්තාවන්ට රාජකාරි කරන ස්ථානයේ සහ රාජකාරි නිසා ඇතිවන ලිංගික හිංසන අවම කිරීමට සහ එවැනි ගැටලු ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ආයතන තුළ වෙනම කාන්තා නිලධාරිනියක් පත්කිරීම.
5) හිංසනයන්ට පත්වන කාන්තාවන් සඳහා නොමිලයේ මනෝ උපදේශන සේවා ලබාගැනීමට ස්වාධීන ආයතනයක් හෝ අංශයක් පිහිටුවීම.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

මේ අතර මෙවැනි අපයෝජනවල බරපතළකම පෙන්වාදීම සඳහා සමන්ති මනෝහරී පැලකැටිය එදිරිව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය (SC/FR/No. 76/2012) නඩු තීන්දුවේ කොටසක් ද එම සංගමය අදාළ ලිපියේ ගෙනහැර දක්වා ඇත.
‘කිසියම් කාලසීමාවක් පුරා අඛණ්ඩව ලිංගික අතවරයන්ට හා අපයෝජනයන්ට ලක්වීමෙන් ඕනෑම මනුෂ්‍යයෙකුට කායික හා මානසික හානියක් සිදුවන බව මාගේ වැටහීම වන්නේ ය. අපයෝජකයාගේ නිර්ලජ්ජිත බව හෙළිකරවන, එවන් අපයෝජනයන්ට හා හිරිහැරයන්ට එසැණින් ප්‍රතිචාර දක්වා අපයෝජකයා පසුබැස්වීමට ලක්කිරීමට හැකි ශක්තිමත් පෞරුෂයක් ඇති කාන්තාවකට මිස අපයෝජනවලට විශාල වශයෙන් ගොදුරු වන කාන්තාවන්ට එවන් අපයෝජනවලට විරුද්ධ වීමට නොහැකි ය.
අඛණ්ඩ තර්ජන හා අපයෝජන නිසා පුද්ගලයෙකු කායික හා මානසික වශයෙන් රෝගී විය හැක. මේ සම්බන්ධ මගේ අදහස් නීතියට ගරු කරන ඕනෑම කෙනෙකුට භාවිත කිරීමට හැකි අතර, එය එසේ සිදුවිය යුතුය. එබැවින් වධ වේදනාවන්ට ගොදුරු වූ, මහජන සේවකයන් කිහිපදෙනෙකු නිසා පීඩාවට පත්වූ පෙත්සම්කාරිය සතු භාෂණයේ නිදහස, ඇගේ අදහස් දැක්වීම් ආයතන සංග්‍රහයට පටහැනි වුව ද, සාමාන්‍ය හා ස්වභාවික ප්‍රතිචාර වන්නේය.’
ලිංගික හිංසනයන් නිසා මානසික හානියක් සිදුවන බව එම නඩු තීන්දුවෙන් පැහැදිලි වන අතර, වෛද්‍යවරුන්ද මේ අදහස ම දක්වා තිබේ.

වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය

කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) 1998 ජූලි 17 දින එකඟවීමෙන්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇති බවත්, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අදාළ සම්පූර්ණ ලිපිය පහත පළ වේ.

‘ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටීම.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තරාතිරම්වල කටයුතු කරන කාන්තාවන් මුහුණ දුන් ලිංගික හිංසන සම්බන්ධයෙන් මේ දිනවල ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනැගී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අවධානය යොමු වී තිබේ. එවැනි විවෘත සංවාදයක් ආරම්භ කිරීමට ඉදිරිපත් වූ සියලුදෙනාට අපි ස්තූතිවන්ත වෙමු.
ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදුවී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුණද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයන් ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු. මෙවැනි හිංසනයන්ට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට මුහුණදීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රීි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි කණගාටුවට පත්වෙමු. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට දිගින්-දිගටම සිදුවන ලිංගික හිංසනයන් වහාම නතර කිරීමේ අවශ්‍යතාව මතුකරමින් පහත කරුණු ඔබතුමාට පෙන්වාදීමට කැමැත්තෙමු.
මෙරට ඇතැම් ජනමාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදිනියන්ට මෙන්ම කාර්යාලයෙන් පිටත සේවය කරන මාධ්‍යවේදිනියන්ට ද (ප්‍රාදේශීය වශයෙන්), මාධ්‍ය ආයතනවල වෙනත් අංශවල රැකියා කරන කාන්තාවන්ට ද මාධ්‍ය ආයතනවල ඇතැම් ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් නොව කර්තෘවරුන් සහ සංස්කාරකවරුන්ගෙන් ද ලිංගික හිංසන සිදුවූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබේ. එවැනි ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වන සියලු සාක්ෂි සහ තොරතුරු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමට හිංසනයට පත් ජනමාධ්‍යවේදිනියන් සහ තවත් මාධ්‍යවේදීන් කණ්ඩායම් උත්සාහ කළ අවස්ථා ද තිබෙන නමුත් එවැනි අවස්ථාවල බොහෝ විට සිදුවී තිබුණේ ආයතන ප්‍රධානීන් විසින් ඒවා නොසලකා හැරීම ය. ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අදාළ වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු නොකිරීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි කණගාටුවට පත්වෙමු.
ඇතැම් ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන් ක්‍රම කිහිපයක් අනුව සිදුවන බව අප සංගමය නිරීක්ෂණය කර තිබේ.
1) ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක කාන්තාවන් (පුහුණු වන හෝ නවක) බියවද්දමින් ඔවුන් ලිංගික හිංසනයට පත්කිරීම.
2) ප්‍රාදේශීය වශයෙන් සහ නිදහස් මාධ්‍යවේදීන් වශයෙන් රාජකාරි කරන පිරිසට මුදල් ලැබෙන්නේ ඔවුන්ගේ වාර්තා පළවන ආකාරයට වන බැවින් එම කාරණය ඉස්මතු කරමින්, ඔවුන්ගේ ලිපි පළනොකරන බවට බියවද්දමින් ලිංගික හිංසනයට ලක්කිරීම.
3) ජනමාධ්‍යවේදිනියන්ට සහ මාධ්‍ය සේවිකාවන්ට තමන්ගේ තනතුරේ බලය භාවිත කරමින් ජනමාධ්‍ය ආයතනවල තනතුරු දරන ඇතැම් පුද්ගලයන් විසින් ලිංගික බලපෑම් කිරීම.
4) සමාන ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් විසින් ලිංගික බලපෑම් කිරීම.
5) පුවත්පත්වලට ලියන නවකයන්ට ඒවා පළකර දීම සඳහා බව පවසමින් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම.
6) අගතියට පත්වූ කාන්තාවන්ට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන බව කියමින් සහ සැකකාරියන්ට ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව පවසමින් මාධ්‍ය බලය භාවිත කර ඇතැම් අවස්ථාවල ලිංගික හිංසන සිදු කිරීම.
7) ඇතැම් ජනමාධ්‍යවේදිනියන් ක්ෂේත්‍ර වාර්තා කිරීම් සඳහා දුර-බැහැර ප්‍රදේශවලට ගිය අවස්ථාවලදී ඡායාරූප ශිල්පීන්ගෙන් හෝ සහෝදර ජනමාධ්‍යවේදීන්ගෙන් සිදුවන බලපෑම් ගැන ද විටින්-විට වාර්තා වේ.
ලිංගික හිංසනයන් ඉවසා ගත නොහැකිව ජනමාධ්‍යවේදිනියන් ආයතනවලින් ඉවත්ව ගිය අවස්ථා කිහිපයක් ද වාර්තා විය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් වඩාත් සැලකිලිමත් විය යුතුය.
මෙවැනි අපයෝජනවල බරපතළකම පෙන්වාදීම සඳහා සමන්ති මනෝහරී පැලකැටිය එදිරිව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය (SC/FR/No. 76/2012) නඩු තීන්දුවේ කොටසක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමු.
‘කිසියම් කාලසීමාවක් පුරා අඛණ්ඩව ලිංගික අතවරයන්ට හා අපයෝජනයන්ට ලක්වීමෙන් ඕනෑම මනුෂ්‍යයෙකුට කායික හා මානසික හානියක් සිදුවන බව මාගේ වැටහීම වන්නේ ය. අපයෝජකයාගේ නිර්ලජ්ජිත බව හෙළිකරවන, එවන් අපයෝජනයන්ට හා හිරිහැරයන්ට එසැණින් ප්‍රතිචාර දක්වා අපයෝජකයා පසුබැස්වීමට ලක්කිරීමට හැකි ශක්තිමත් පෞරුෂයක් ඇති කාන්තාවකට මිස අපයෝජනවලට විශාල වශයෙන් ගොදුරු වන කාන්තාවන්ට එවන් අපයෝජනවලට විරුද්ධ වීමට නොහැකි ය.
අඛණ්ඩ තර්ජන හා අපයෝජන නිසා පුද්ගලයෙකු කායික හා මානසික වශයෙන් රෝගී විය හැක. මේ සම්බන්ධ මගේ අදහස් නීතියට ගරු කරන ඕනෑම කෙනෙකුට භාවිත කිරීමට හැකි අතර, එය එසේ සිදුවිය යුතුය. එබැවින් වධ වේදනාවන්ට ගොදුරු වූ, මහජන සේවකයන් කිහිපදෙනෙකු නිසා පීඩාවට පත්වූ පෙත්සම්කාරිය සතු භාෂණයේ නිදහස, ඇගේ අදහස් දැක්වීම් ආයතන සංග්‍රහයට පටහැනි වුව ද, සාමාන්‍ය හා ස්වභාවික ප්‍රතිචාර වන්නේය.’
ලිංගික හිංසනයන් නිසා මානසික හානියක් සිදුවන බව එම නඩු තීන්දුවෙන් පැහැදිලි වන අතර, වෛද්‍යවරුන්ද මේ අදහස ම දක්වා තිබේ.
කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) 1998 ජූලි 17 දින එකඟවීමෙන්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇති අතර, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට තිබේ.
මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර ජනමාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන්ට තම ආයතන තුළ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ පීඩාවකින් තොරව, ලිංගික හිංසනවලට භාජනය වීමකින් තොරව නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට රජයට, සියලුම ජනමාධ්‍ය ආයතනවලට , ජනමාධ්‍ය සංවිධානවලට සහ ජනමාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙන බව අපි විශ්වාස කරමු. එබැවින් පහත සඳහන් යෝජනා සලකා බලා ඒවා ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම ඉල්ලීම් ජනමාධ්‍ය ආයතන වෙත යොමු කර මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පවත්වා කාන්තාවන්ට නිදහසේ සේවය කළ හැකි වටපිටාවක් නිර්මාණය කර දෙන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.
1) ලිංගික හිංසනයක් සිදුවූ වහාම ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ට පැමිණිලි කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට පැමිණිලි කිරීමටත් මාධ්‍ය ආයතනවල රාජකාරි කරන කාන්තාවන් දැනුවත් කිරීම.
(ලිංගික හිංසන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇතැම් කාන්තාවන් බියක් දක්වන අතර, ඊට ප්‍රධානම හේතුව එමගින් යම් සමාජ අපකීර්තියක් තමන්ට සිදුවේ යැයි ඇති වන බිය සහ තවත් පුද්ගලයන්ගෙන් ද මෙවැනිම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ යැයි ඇති වන බිය ය. තමන්ට එරෙහිව මෙවැනි හිංසනයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් දැනුවත් කළ යුතුය. ඔවුන් බලගැන්විය යුතුය. ලිංගික හිංසනවලට එරෙහිව සටන් කළ සමන්ති මනෝහරී පැලකැටිය නම් පාසල් ගුරුවරියගේ (SC/FR/No. 76/2012) සිද්ධිය ද ඊට අදාළ කර ගත හැකිය.
2) කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ගැන කුමනාකාරයෙන් හෝ දැනුවත් වූ වහාම ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඇයව හිංසනයට පත් කළ පුද්ගලයන්ට එරෙහිව ආයතනික වශයෙන් කටයුතු කිරීම සහ ඔහුට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට හිංසනයට භාජනය වන කාන්තාවන් ධෛර්යමත් කිරීමට මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම.
3) මාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන් යම් ලිංගික අපයෝජනයකට මුහුණ දුනහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ කාන්තාවන්ට ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසන නතර කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ස්වාධීන අංශයක් ස්ථාපිත කිරීම.
4) කාන්තාවන්ට රාජකාරි කරන ස්ථානයේ සහ රාජකාරි නිසා ඇතිවන ලිංගික හිංසන අවම කිරීමට සහ එවැනි ගැටලු ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ආයතන තුළ වෙනම කාන්තා නිලධාරිනියක් පත්කිරීම.
5) හිංසනයන්ට පත්වන කාන්තාවන් සඳහා නොමිලයේ මනෝ උපදේශන සේවා ලබාගැනීමට ස්වාධීන ආයතනයක් හෝ අංශයක් පිහිටුවීම.
මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර, කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.’

වගකිවයුතු වෙනත් පාර්ශ්ව

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද මේ ලිපියේ පිටපත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයන්ගේ සංසදය, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, පුවත්පත් හිමිකරුවන්ගේ සංසදයේ සභාපති වෙත ද යොමුකිරීමට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

fourteen − 13 =