ජනාධිපතිවරු හයක් ජාතිය ඇමතීම

මම ජනාධිපතිවරු හය දෙනෙකු ජාතිය අමතන හැටි අසා දැක ඇත්තෙමි.
ජනාධිපති ආර්.ප්‍රේමදාස ජනාධිපති කාර්යාලයේ සිට වැඩසටහනක් පටිගත කරන්න කටයුතු කළා.
ජනාධිපතිතුමා ඇවිත් සෙට් එක හොඳට බලලා ලඟ හිටපු ජාතික රූපවාහිනියේ ආලෝකකරණ ශිල්පියාගෙන් (වසන්ත කුමාර විය යුතුය) ඇහුවා ‘කෝ අර පිටිපස්සට ගහන ලයිට් එක අද නැද්ද?‘ කියලා.
වසන්තට ‘බැක් ලයිට්‘ එක දාන්න අමතක වෙලා.

රූපවාහිනියේ කැමරා ශිල්පියා අශෝක ජයසේකර ඉක්මනට කිව්වාලු ‘සර් වාඩිවෙනකල් හිටියේ‘ මේ ලයිට් එක පිටිපස්සට දාලා, පුංචි ලයිට් එක නලලට වදින්න දානවා කියලා.
‘මගේ මූණේ ඉරියව් හොඳට පේන්න ගන්න. මම මිනිස්සුන්ට වැදගත් දෙයක් කියන්න යන්නේ කිව්වා‘ ලු.
මට මේ කතාව කිව්වේ ජාතික රූපවාහිනියේ අශෝක ජයසේකර. 1991-92 විතර, අර දැවැන්ත ලයිට් RDS ජාතියේ 5KV, 2KV ලයිට් ගහන කාළේ.

ජනාධිපතිතුමාත්, කැමරා ශීල්පීන් මුහුණ, අංග චලනය ප්‍රතාපවත් ජනතා ආමන්ත්‍රණයක වැදගත්ම කොටස කියලා ඒ දවස්වලත් දැනගෙන ඉදලා තියෙනවා.
ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා සාපේක්ෂව වයස්ගත පුද්ගලයෙකි. ඔහුගේ වයස කතාවේ ප්‍රතාපවත්බවට හානියක් වූවේ නැත. ටෙලි පොම්ම්ප්ට් නැතත් කොළේ බලාගෙන, පිළිවෙලට තමන්ගේ පණිවුඩය ජාතියට කියන්නට ජාතික රූපවාහිනියේ නිෂ්පාදකයින්, කැමරාකරුවන් ඔහුට උදව් කළා. විජේතුංග ජනාධිපතිතුමාගේ ‘ලෝ ඈන්ගල්‘ රූප රාමු රාජ්‍ය නායකයෙකු සරිලන ප්‍රතාපවත් බවක් ඔහුට ආරෝපනය කළා. හඩේ විශ්වසනීයත්ව අඩු නැතුව තිබුණා.

අපේ මිත්‍ර නිමල් ඒකනායක ලා, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලයේ HMI වර්ගයේ පොඩි ලයිට් ගෙනල්ලා (එතුමියට දාඩිය දාන නිසා) බලගෙන ඉන්න ආස හිතෙන රාමුවක් හැදුවා. 1999 ජනාධිපතිවරණයේ මරාගෙන මැරෙන බෝම්බයේ වේදනාවක තියොගෙන, ඇසක් ප්ලාස්ටරයකින් වසාගෙන ජාතිය ඇමතුවා. මිනිස්සු චන්ද්‍රිකා ට බැන්නා. විවේචනය කළා. හැබැයි වෘත්තීය භාවය ඉහළින්ම තිබුණා.
මහින්ද ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයම ‘රූප භාෂාව‘ හා බැදී පවත්නේය. රෝහාන් වැලිවිට ලා ගානට වැඩේ කළේය. රූපවාහිනියෙත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පිටත් මිනිස්සු ගත්තේ ද නැත.
මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ජාතිය ඇමතීමත්, ‘තේ බොන අතර රස කතා කීමත් අතර අමතර ආයාසයක්‘ තිබුණේම නැත. ඒ ඔහුගේ වාග් චාතුර්ය, විෂය දැනුම හා දේශපාලන අවබෝධය නිසාම පමණක් නොවේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ටෙලි පොම්ප්ට් අවශ්‍ය නැත. කොළයක ලියන දේ පිළිවෙලට කියන්න පුළුවන් ය. පරිසරවේදියෙකු වුනාට ගස් යට ජාතිය අමතන්න ගියේ නැත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැමරා ශිල්පි සිගේරා ප්‍රමුඛ වැඩකාරයෝ ටිකත් සිටියේය. චිත්‍රපට, රූපවාහිනී මාධ්‍ය දැන සිටි නිෂ්පාදන කණ්ඩායමක් සිටියේය.
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා කතා කැමරා කළේ එදා මෙදා ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම කැමරා ශිල්පියා යැයි කිව හැකි එම්.ඩී.මහින්දපාල යැයි මම අසා ඇත. දැක නැති නිසා ලියන්නේ නැත.
ගෝඨාභය ජනාධිපතිතුමා ගේ පූර්වගාමීන් පිළිබඳ අපි බොහෝ දෙනාගේ මතකය එහෙම තිබිය දී, එතුමා ඊයේ විනාඩි 69 ක් ජාතික ඇමතුවේය.

අනේ දෙවියනේ, තාක්ෂණික වශයෙන් අච්චාරුවක් බවට පත් ‘ජාතිය ඇමතීමක්‘ මම ලෝකයේ කොතැනකවත් අසා දැක නැත්තෙමි. ඊයේ විනාශ කළේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ යි.
‘වචනවලින්‘ කතාවකට ලැබෙන්නේ 7% ක බලපෑමක් නම්, ‘හඩ 38% ක බලපෑමක් ද, මුහුණ හා අංග චලනය 55% ක බලපෑමක් ද කරන බව දෘෂ්‍ය කලාව ගැන අවබෝධයක් ඇත්තෝ කියති. ඊයේ රූපවාහිනී තිරයේ මුල්ලකට දමා සිටි ජනාධිපතිතුමාගේ මුහුණ හා අංග චලන මට බලපු අඟල් 32 රූපවාහිනියේ නම් පෙනුනේම නැත. හඩ පාලනයක් නැති ‘පොරවෙන් කපා එඩිට් කර තිබූ‘ රූප රාමු, අතර අද මිනිස්සුන්ට මතක ‘එදා ආණ්ඩුව — අපේ ආණ්ඩුව‘ කෑල්ල පමණී.
අතිගරු ජනාධිපතිතුමනි,
ඔබ අපේ ජනාධිපතිවරයා ය. ඔබ පොහොට්ටුවේ හෝ ආණ්ඩුවේ ජනාධිපතිවරයා නොව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ය. ජනාධිපතිවරයෙකු ගැලපෙන ආකාරයට රූපවාහිනී සෙට් එකක් හදාගන්න පුළුවන් සිය ගණනක් අපේ රටේ සිටිති. අමාරුම කාලයේ ඔබගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර කළ, අදටත් රාජපක්ෂ පවුලට හිතවත් අය ඉන්නවා. රටක ජනාධිපතිවරයාගේ ‘රූපවාහිනී සෙට් එක ගෞරවනීය ලෙස හදලා (සතයක් නැතත් සතුට විතරක් ඉතිරිකර ගන්න කැමති)‘ නිර්පාක්ෂික තාක්ෂණික ශිල්පීන්, නිෂ්පාදකයින් අපේ රටේ ඉන්නවා. උවමනාවක් තියෙනවා නම්, එය අය දැන්වත් ලංකර ගන්න.
එතකොට අපිටත් පුළුවන් ජනාධිපතිවරයා විදිහට ඔබතුමන් රටට කියන පණිවුඩය ගැන වාද විවාද කරන්න. එකඟ වෙන්න. විවේචනය කරන්න.
ඊයේ වැඩේ නම් හොඳටම අවුල්!
-රජිත් කිර්ති තෙන්නකෝන් (fb)

Leave A Reply

Your email address will not be published.

fourteen − 13 =