ආයුබොවන්ඩ විමලේ,

ඉතිං කොහොමද සැප සනීප.. ටික දවසකින් දැක්කෙත් නැති හන්දමයි ලියුං කඩදාසියක් ලියාලා එවන්ඩ කල්පනා කොළේ.. අමාරු කාලේ වඩයක් දෙකට කඩාගෙන කාලා එකම ප්ලේන්ටිය බෙදාගෙන බීපු උං හැටියට ඒවා ඉතිං අපේ යුතුකං නෙ..,
බුකියෙ කොලු නඩේනං කියන්නෙ බැසිල් ලොක්කත් එක්ක ගේම ඉල්ලුවට පස්සෙ දැන් සැප ද කියලා සහෝගෙන් අහන්ඩවත් හාදයෙක් ඉතුරුවෙලා නැති පාටයි කියලයි.. කොල්ලො නිකං කෝචොක් එකට වගේ එහෙම දෙඩුවත්, උං කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේද විමලේ…? 2015දී මහින්ද සෑර් හතරගාතෙන් වැටිලා මැදමුලන බංගලාවේ ජනෙල් කම්බියක එල්ලිලා ඉද්දි උන්නැහැව ආයෙත් කෙළින් කොරල ගත්තෙ විමලෙගෙ ටිකිරි මොළෙනුයි, සුපිරි ටෝක්ස්වලිනුයි බව කාට අමතක වුණත් අපිට නං හොඳටම මතකයි සහෝ..
මේ ඇස්ගෙඩි දෙක පල්ල ආයිබොවන්ඩ හුළනුත් දැක්කා මේ සම්මත ජාතියෙ අපි නං දැක්කෙ නැහැ එදා නුගේගොඩින් හමාපු මහින්ද හුළඟට ගහන්ඩ ඇහැක් එකක්.. මහින්ද ලොක්කා බෑ බෑ කිය කියා පස්ස ගහද්දි ඔහෙලා කස්ටියනෙ බලහත්කාරයෙන් වගේ එතුමව පුම්බල ගත්තෙ.. එහෙව් කෙළියක් කොරපු විමල් විරුවාට නේද බැසිල් ගොයියා අද පසු පෙළේ ඉන්න උන්දැගෙ හාල්මැස්සො ලව්වා පුස් පාට් දම්මන්නෙ.. පුරස්නයක් එනකොට සුටුස් ගාලා ඇමෙරිකාවට ගුවන්ගත වෙන්ඩ ඇහැකි ඩුවෙල් සිටිසොන් ලයිසමක් බැසිල් ලොක්කට තිබුණට ලක් මවගේ අතිජාත පුත්තරයො වන විමලෙල, ගම්මන්ලා වගේ දේසහිතේසින්ට එහෙම කොරන්ඩ ඇහැකියැ නේද..?
මක්ක වුණත් වලව්වෙ මහ ඇත්තො ගැන ලොකු විස්සාසෙකින් නේද ඔහෙලා ඒකෙ බැලමෙහෙවරකං කොරන්ඩ ගියේ. වළං පිඟන් හෝදලා- ගස්ගෙඩි කඩලා දහසුමේ කොළත් මෙච්චර ඉක්මනට අමුඩ කෙටියත් නැතුව එළියට බහින්ඩ වෙන තැනට වැඩ සිද්දවෙයි කියල නං ඔහෙලා හීනෙකින්වත් හිතන්ඩ නැතුව ඇති නේද සහෝ.? අනේ ඉතිං තමුන්නැහැ පහුණු කාලේ රෑ-දවල් දෙකේම මහන්සි වෙලා ආකාසේ හදපු ජනපති, අගමැති මන්දිර ඇස් දෙක ඉස්සරහම කඩා හැලෙන්ඩ යන විදිහක් තමා පේන්ඩ තියෙන්නෙ. මේ දෑස මක්කටෙයි කියල හිතෙන්නෙ මෙන්න මෙහෙම වෙලාටට තමා නේද විමලෙ? කොම්පැනියෙ පියුංකොමට ගියානං බොසාලා දෙන දෙයක් කාලා- වෙන දෙයක් බලාගෙන ඉන්නෙ නැතුව සෑර්ලගෙ පිඟන්වලට ඇඟිලි ගහන්ඩ ගියෑයිං තමා මේ හෙණගෙඩිය කඩාපාත් උනේ.
නංගි පෙන්නල අක්කව දුන්න වගේ විමලෙගෙ පොටෝ එක පොරොසිද්ද කොරල නාමල් බේබිව ඔටුන්න හිමි කුමරයා හැටියට කරළියට අරගෙන විමලෙට කොකා පෙන්නුව එකනං අන්තිම බාල වැඩක්. මේ විදිහට දිගටම වැඩ සිද්ද උනොත් ඔහේට හිටගන්ඩ වෙන්නෙ අර ඊයෙ පෙරේදා දියවන්නාව තරණය කොරපු රාජපක්ස පරපුරේ අලුත්ම පුරුක වන නිපුන බබාටත් පිටිපස්සෙනුයි. කෝකටත් නරකද විමලේ පොඩිඑකා සංදියෙ හිටංම තිබුණ සීගිරිය බලන්ඩ යාම වගේ ඇරියස් ටික තවත් පමා නොවී ඉස්ට සිද්ද කොරගන්ඩ බලන එක. හරිහමන් ගෙයක් දොරක්වත් නැතුව., බඩ පණුවො ටිකට සෑහෙන්ඩවත් කෑමක් බීමක් නොගෙන ජනතාව වෙනුවෙන්ම ඉතුරු ටික කාලෙත් කැප කොරන්ඩ ගියොත් නං මතු ආත්මෙකදිවත් සීගිරි යන්ඩ චෑන්ස් එකක් වදින එකක් නැහැ සහෝ.. එහෙමත් නැත්තං කොරන්ඩ තියෙන ටොප්ම වැඩේ තමා ආයිබොවන්ඩ අලුත්ම දේසපෙරේමි ලයින් එකකට මාරුවෙලා පෝට් සිටිය අකුළ ගනිව් කියලා චීන ඇම්බසිය දොරකට මාරාන්තික උපවාසයක් අරඹන එක.. එහෙම කොළොත් මේ වංගියෙ විමලෙට තැඹිලි පොවන්ඩ නරේන්දර මෝදි එනවා අනිවාරියෙන්ම..●
විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

one × 2 =