බාල වයස්කාර දැරියක් දූෂණය කළ සාරුවා සුනිල්ගේ ඇප ඉල්ලීම විභාගයට !

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී දඬුවම් විඳින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
අදාළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම-මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී ඇත.
ඇප ඉල්ලීමේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර චූදිතයා අතින් තමන් දූෂණය නොවූ බව පැමිණිලිකාර දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇති බවයි. තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත්, එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයි ද ජනාධිපති නීතිඥ ජයමාන්න අභියාචනාධිකරණයට කියා සිටියේය.
ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහාධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත්, මේ හේතුවෙන් අදාළ සිර දඬුවමට එරෙහිව තම සේවාදායකයා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුව ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අධිකරණය නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර අත්තේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ජුලි මස 20 වැනිදා කරුණු දක්වන ලෙසයි.
2012 මැයි මස 23දාත් 2012 ජුලි මස 02දාත් අතර කාලයේ අකුරැස්සේදී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට ලිංගික අපරාධයක් සිදුකළ බවට වූ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරන ලදි.

Leave A Reply

Your email address will not be published.

5 × two =