ලාංකේය කලාව ප්‍රභූ කරණය වීම

පසුගිය දසක කීපය තුල ලංකාවේ දුප්පතුන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු තරම් දියුණු නොවූ වත් ප්‍රභූ පංතියේ ආදායම ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය . මේ දෙපිරිස අතර පරතරය විශාල විය . ග්‍රාමීය ප්‍රදේශ වල මැටි ගසා , පොල් අතු බැඳ තිබූ, නිවාස කවදාවත් වැඩ නිම නොවන, කපරාදු නොකල නිවාස බවට පත් විය . ප්‍රභූ පන්තියේ නිවාස දෙමහල් තෙමහල් නවීන පහසුකම් සපිරි නිවාස බවට පත් වී තිබේ . ඉහත දැක්වූයේ සරලම උදාහරණයකි.
මීට දසක දශක හතරක් පහකට පෙර තිබූ සම්භාව්‍යය ලෙස හැඳුන්වූ හා ජනප්‍රිය ධාරාවේ කලා කෘති බහුතරයක් දුප්පතුන් ගේ ජීවන රටාව පිළිබිඹු කරන ලදී. මහගම සේකර, කරුණාසේන ජයලත්, සයිමන් නවගත්තේ ගම, කේ. ජයතිලක , ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක ආදී විවිධ ක්ෂේත්‍ර වල කලාකරුවන් ගේ නිර්මාණ ලංකාවේ දුප්පතුන් ගේ ජීවිත කේන්ද්‍ර කරගෙන නිර්මාණය විය . පසු කාලීනව බිහි වූ ටෙලි නාට්‍ය වල මේ ලකුණ මැනවින් නිරූපණය වේ. අද වන විට බහුතරයක් ටෙලි නාට්‍යය හැදෙන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ හා ඉහළ මධ්‍යම පන්තියේ පවුල් ජීවිතය කේන්ද්‍ර කරගෙන ය . විදේශීය රටවල නිෂ්පාදනය වී හඬ කවන සියලුම ටෙලි නාට්‍ය මේ ගණයට අයත් වේ. මුල් යුගයේ දී ප්‍රචාරය වූ ඔශින් වැනි ටෙලි නාට්‍යයක් මේ කුලකයට අයිති නො වී ය .
මා මෙහිදී නිර් ප්‍රභූ කලාව ලෙස හඳුන්වන්නේ සමාජයේ පහල කොටස් දෙස අනුකම්පා සහගත දෘෂ්ටියකින් බලන නිර්මාණ නොවේ. ඔවුන් අර්ධ මනුෂ්‍යයන් ලෙස සලකන නිර්මාණද නොවෙයි .මේ සඳහා මහගම සේකරගේ තුංමංහන්දිය නව කතාවෙන් උදාහරණයක් ගනිමු . එහි එන ප්‍රධාන චරිතය වන ලොකු මාමා සූදු කෙළින , කසිප්පු බොන , අවිවාහක නිර්ධනයෙකි. සේකර මේ චරිතය ගොඩ නගන්නේ පාඨකයා ගේ වීරයා ලෙස ය . සේකරගේ මේ පන්ති හැඟීම ඔහු ගේ කාව්‍ය නිර්මාණ තුළ ද වේ . ජනප්‍රිය ධාරාවේ නවකතා කරුවකු වන කරුණාසේන ජයලත් ගේ කෘති තුළ ද මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් දැකිය හැක . කෙටිකතාව සිනමාව ආදී කලා කෘති තුළත් මෙම ලක්ෂණ මේ ලෙස ම සාකච්ඡා කළ හැක .
ලංකාවේ සුපිරි ධනපති පන්තියක් බිහිවීමත් සමඟ ම දේශපාලනයේ මෙන්ම කලාවේ ද මතවාදීමය අධිපතිත්වය ඔවුන් සතු විය . මේ සමග සාහිත්‍ය සිනමා විචාර කලාව ද එම පාරේ ම ගමන් කරමින් තිබෙන බව දැකිය හැක . මේ වෙනස සමාජ ආර්ථික කතිකාව තුළ මැනවින් නිරූපණය වේ .
අපි එක සාධකයක් පමණක් සලකා බලමු. ලංකාවේ ලක්ෂ 20 ක පමණ ජනතාවක් කිසිදු ප්‍රමිතියකින් තොර ව නීත්‍යානුකූල නොවූ කසිප්පු පානය කරන බව දේශපාලකයින් දන්නා නමුත් නොදන්නා මෙන් සිටින රහසකි . මෙතන විශාල හැංගුන දේශපාලනයක් තිබේ. එනම් ජනගහනයෙන් සුවිශාල ප්‍රමාණයක් වන පුරවැසියන් ගේ ගෞරවය හා අභිමානය බිඳ දැමීමයි . ඔවුන්ගේ පවුල් වල සිටින බිරින්දෑවරුන් ගේ හා දරුවන්ගේ ද පුරවැසියකු සතු විය යුතු අභිමානය හා ගෞරවය අහිමි කිරීමයි . මෙ මගින් බෙදුම් රේඛාවක් ඇඳ ඔවුන් ව අඳුරට තල්ලු කර දමා තිබේ .
බහුතරයක් මධ්‍යම පාන්තික මනසක් හිමි කලා කරුවෝ ඉහත සඳහන් කළ දුප්පත් පන්තිය දෙස බලන්නේ අනුකම්පාවෙන් ය අනේ අපොයි කියා ය. නැතහොත් ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු අපරාධකරුවන් දෙස බලනවා වගේ ය . මේ කතිකාව තුළ මේ දුප්පත් පන්තිය සිතන්නේ ඔවුන්ට තවම ජීවිතය හිමිවී නොමැති බවත් එය අත්පත් කර ගත යුතු දෙයක් ලෙසය . මේ පවුල් වල දරුවන් ඔවුන්ට සපුර ගත හැකි ඉහළ ම ඉලක්කය වන කලා උපාධියක් ලබා ගනියි . ඉන්පසු ඔවුන්ට සිදුවන දේ අපි සියල්ල ම දනිමු . ඔවුන් රටට බරක් බව කියමින් ඔවුන්ට බැණ වදිමු.
අපිට ආසන්නයේම ඇති තමිල්නාඩුවේ බිහිවන දෙමළ සිනමා පට දෙස බැලූ විට සිතෙන්නේ එහි ජීවත් වන පහළම දුප්පතුන්ටත් අභිමානයෙන් යුතුව නැරඹිය හැකි කලාවක් ඇති බවයි . වැඩිකල් නො යාම කලා භාවිතාව හා සමාජ ජීවිතය අතින් තමිල්නාඩු ජනතාව අපි පසුකර යන බව පෙනේ .

-ජයන්ත කහටපිටිය 

Leave A Reply

Your email address will not be published.

5 × 3 =