දුමින්ද සිල්වාට සමාව දුන්නේ ව්‍යවස්ථානුකූලව ද? – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි !

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසු මරණ දඬුවම නියම කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම සිදුකරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණුවලට අනුකූලව ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිතව විමසීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් එම සංගමයේ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ ජනාධිපති සමාව දීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල අයිතියක් ඇතත්, මරණ දඬුවම නියම වූවකු සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම අනිවාර්ය බවයි. එසේ නොකොට දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්නම්, එමගින් අදාළ සමාව ලබාදීම අසාධාරණ සහ අත්තනෝමතික වන බවත්, එය නීතියේ ආධිපත්‍යය බිඳවැටීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමටත් බලපාන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ව්‍යවස්ථානුකූල පටිපාටිය

මරණ දඬුවම නියම වී ඇති වැරදිකරුවෙකුට ජනාධිපති සමාව ලබාදීමේදී අදාළ නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවිය යුතු බවත්, එම වාර්තාව නීතිපතිවරයා මගින් අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කළ යුතු බවත්, අදාළ වාර්තා සලකා බැලීමෙන් පසු අධිකරණ ඇමැතිවරයා ද ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ සඳහන් ය. එම වගන්තියේ කොටස් උපුටා දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ දුමින්ද සිල්වාට අදාළ ව එම වාර්තා විධිමත්ව කැඳවූයේ ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවයි.

දුමින්ද විශේෂයෙන් තෝරාගත්තේ කෙසේද?

එසේම ජනාධිපති සමාව ලබාදීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, ඊට බලපෑ හේතු, අනෙකුත් මරණ දඬුවම ලද වැරදිකරුවන්ගෙන් දුමින්ද සිල්වා විශේෂයෙන් තෝරාගත්තේ කෙසේද, ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ඊට අදාළ සියලු වාර්තා කැඳවූයේද යන්න සම්බන්ධයෙන් ද එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මගින් ප්‍රශ්න කර තිබේ. එම කරුණු එකක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉටු වී නැත්නම්, එය බරපතළ ලෙස නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමටත් හේතු වන බව ජනාධිපතිවරයාට දැන්වූයේ යැයි ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

 

Leave A Reply

Your email address will not be published.

seventeen − 12 =