එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම, අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශය නහී වේරේන වේරානී…..

නඩු නැතිව සිරගතව සිටින
එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම
අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශය
නහී වේරේන වේරානී…..

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් පිළිබඳව ඉතා වැදගත් ප්‍රකාශයක් පෙරේදා ( ජුනි 22) පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලදි. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් ද බන්ධනාගාර ගත වූ පසු බන්ධනාගාරගත වූවන් විඳින දුක තමන්ට ප්‍රායෝගිකව දැක ගන්නට ලැබුණු බවය. නඩු නිමිත්තක් වත් නැති අය විශාල පිරිසක් බන්ධනාගාරයේ සිටින බවත් ඒ අතර එල්ටීටීඊ යට සම්බන්ධ යයි සැක පිට විශාල පිරිසක් ද සිටින බව අමාත්‍ය නාමල් පැවසුවේය. එම අයගේ නඩු දෙස සානුකම්පිතව බලන ලෙසත් ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනා අනුව ( ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත) අධිකරණයට ඇප ලබා දිය නොහැකි බවත්, එහෙත් කිසියම් වූ ක්‍රමවේදයකට අනුව එම සැකකරුවන්ට සාධාරණය ඉෂ්ඨ කර දෙන මෙන් අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ ඇමතිවරයා මෙහිදී පවසා සිටියේය.

GSP සහනය අහිමිවීමේ අවදානමට පෙර – නාමල් සිරගතකර වසර 4 කට පසු

මෙම ඉල්ලීම දැන් නාමල් අමාත්‍යවරයා විසින් කරනු ලැබුවත් එය අලුත් අදහසක් නොවේ. එලෙස සිරගතව සිටින අයගේ සමීපතයින් මෙන්ම, මේ රටේ ප්‍රගිතිශීලී දේශපාලන පක්ෂ, දෙමළ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන සහ සාමාජ ක්‍රියාකාරිකයින් විසින් දැන් වසර ගණනාවක් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙලෙස නඩු පවරන්නේ නැතිව සිටින අයට යුක්තිය ඉෂ්ඨ කරණ ලෙසයි. කෙසේ වෙතත් තරුණ මන්ත්‍රීවරයකු වශයෙන් රටේ එක් දැවෙන ‍සමාජීය හා දේශපාලන ප්‍රශ්නයක් දෙස මානුෂවාදී ලෙස බැලීම පිළිබඳව නාමල් රාජපක්ෂ ඇමතිවරයාට ස්තුතිය හිමිවිය යුතුය. එහෙත් මෙය පිටුපස ඇති දේශපාලන සන්දර්භයන් පිළිබඳව ද කිසියම් අවබෝධයක් මෙරට පුරවැසියන්ට තිබෙන බව කිව යුතුය. මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ලංකාවේ මානව හිමිකම් රැකීම සම්භන්ධයෙන් දැඩි ‍නිවේදන නිකුත් වී තිබෙන අතර ලංකාවේ මානව හිමිකම් රැකීම පිළිබඳ සතුටු දායක තත්වයක් නැති නිසා GSP සහනය අහිමිවීමේ අවදානම ද තිබේ. ඒ නිසා මී‍ට පෙර මේ පිළිබඳ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අදහසක් දැක්වූවා නම් එය අවංක අදහසක් සේ මේ රටේ පුරවැසියන් විසින් සළකනු ඇත. කෙසේ වෙතත් දැන් හෝ වසර ගණන් නිකරුණේ රඳවා ගෙන සිටින මේ රටේම පුරවැසියන් වූ කොටසකට යුක්ති සහගත විසඳුමක් දෙන්නට අමාත්‍ය නාමල් රාජපක්ෂ කළ යෝජනාව අගය කළ යුතුය.

“මට බෝම්බ ගහන්න උදව් කළ තරුණය මගේ බංකුවේම”

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාශල් සරත් ‍ෆොන්සේකා මහතා ද වඩාත් මානූෂිය ඇසකින් මේ කරුණ දෙස බලමින් කියා සිටියේ තමන් ද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අදහසට සහයෝගය දක්වන බවයි. තමන්ව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි තරුණිය රැගෙන ආ තරුණයා වරෙක උසාවියේ තමන් සිටි බංකුවේ පසෙකින් වාඩි වූ බව ඔහු කියා සිටියේය. එය දෛවෝපගත සිදුවීමකි. තවමත් ඉඳ හිට මේ තරුණයා තමන්ට කතා කරන බව ඔහු පැවසුවේය. තමන් බෝම්බ ප්‍රහාරයකට ලක්වුණත් දැන් වසර 15 ක් තිස්සේ සිරගෙයි සිටින එම තරුණයාට සාධාරණයක් ඉටු විය යුතු බව මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය. මනුෂ්‍යයකු ගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් නිකරුණේ බන්ධනාගාරයේ ගත කරන්නට සැලැස්වීම අපරාධයකි. එයින් ඔහුගේ පවුලේ සමීපතමයින් ( බිරිඳ, දරුවන්, දෙමව්පියන් ආදී..) විපතට පත්වනවා මෙන්ම රටේ පොදු ජනතාවගේ බදු මුදල් කිසිදු ප්‍රථිපලයක් නැතිව ඔවුන් නඩත්තු කරන්නට වැය වේ.

කොටි, එන්ජීඕ, ඩොලර් කාක්කෝ, දේශ ද්‍රෝහියෝ නොවන නාමල්

බුදු වදනේ ඉතාම ශ්‍රේෂඨ කියමනක් ඇත. එය “නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං. අවේරේනච සම්පත්තී, ඒස ධම්මෝ සනන්තනෝ….වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ” යන්නයි. මෙය ශ්‍රී ලාංකික බෞද්ධයෝ හොඳින්ම දනිති. එහෙත් සැක පිට දීර්ඝ කාලයක් සිරගත කරගෙන සිටින මේ දෙමළ තරුණයින් සහ වැඩිහිටියන් නිදහස් කළ යුතු බව දෙමළ දේශපාලඥයකු හෝ විපක්ෂයේ දේශපාලඥයකු හෝ, සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු, දකුණේ වෙනත් අයෙකු හෝ පැවසුවේ නම් බයි ජනතාව කුමක් කියනු ඇත් ද? නිසැකයෙන්ම එලෙස අදහස් දක්වන අය සම්භන්ධයෙන් ඔවුන් මෙසේ කියනු ඇත. “ කොටි නැගිටිනවා” “ මුං කොටි” “ මුං කොටි ඩයස්‍පෝරාවෙන් සල්ලි අරන්” “ එන්ජීඕ ‍ඩොලර් කාක්කෝ” “ දේශ ද්‍රෝහියෝ” “ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වල දේශීය ඒජන්ත‍යෝ” ආදී අවලාද නගනු ඇත. එහෙත් දැන් මෙතැන දී එල්ටීටීඊ යයි සැකකොට රඳවා සිටින පිරිසට සාධාරණය ඉෂ්ඨ කිරීම ගැන අදහස් දක්වා ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකි. එබැවින් බයියන්ගේ කුමන්ත්‍රණ චෝදනා කිසිවක් නැගෙන්නේ නැත. බයියන් යනු එවන් ජීවි විශේෂයකි. පාට කණ්නාඩියෙන් බලන්නේ නැතිව අනෙක් අය කළ ද “හොඳ දේ,නිවැරදි දේ, සාධාරණ දේ හොඳයි කීමට බයියාට හැකි දවසට, ඔහු දියුණු සිතුම් පැතුම් ඇත්තෙකු බවට පත්වූ විට ලංකාවේ පුරවැසියන් ඔවුන්ට තව දුරටත් බයියා යයි නොකියනු ඇත.

– අතුල දිසානායක (සමාජ කතා )

Leave A Reply

Your email address will not be published.

5 × two =