මුළු ලොවම කියුබාව පැත්තේ සිටගනී

ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට පනවා ඇති අති අමානුෂික සම්බාධකයන්ට එරෙහිව මුළු ලොවම නැවත වරක් කියුබාව වෙනුවෙන් නැගී සිටියි. ජුනි 23 වෙනිදා පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම තුළ පැවති ඡන්දයේදී සම්බාධක වලට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව රටවල් 184 ක්ද, ඡන්දය නොදුන් රටවල් 3 ක්ද , විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් 2 ක් වශයෙන් යෝජනාව ජයග්‍රහණය කර තිබුණි. විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායෙලය පමණි .

කියුබාවේ විදේශ කටයුතු අමාත්‍ය බෘනෝ රොඩ්‍රිගුස් විසින් මෙම(UNGA ) යෝජනාව සම්මත වීම අර්ථකථනය කළේ යුක්තියේ සහ සත්‍යයේ ජයග්‍රහණය පෙන්නුම් කරන විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ය.1962 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමාජවාදී කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක හේතුවෙන් කියුබානු ජනතාව දැඩි පීඩනයට නතුකර තිබේ. වසර 60 කට කාලයක් පුරා පවත්වාගෙන යන හා වසරින් වසර එය තව තවත් ත්‍රීව්‍ර කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් උත්සාහ කරනුයේ කියුබාවේ පවතින සමාජවාදී පාලනය බිදවැට්ට වීමටයි. නමුත් ඔවුන්ගේ එම කෘර උත්සාහය වලක්වන්නට කියුබානු ජනතාවට හැකි වී තිබේ. ඒ වෙනුවෙන් ලොව පුරා තිබෙන ප්‍රගතිශීලී, වාමාංශික සංවිධාන හා රටවල් පමණක් නොව අනෙකුත් සියලු රාජ්‍යයන්ගේ සහාය ලබා ගැනීමට තරම් කියුබාවේ යුක්තිය උදෙසා වන මතවාදී මෙහෙයුම සමත් වී තිබීමම සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ජයග්‍රහණයකි. විශේෂයෙන් 1992 වසරේ සිට අද දක්වාම කියුබාව වෙනුවෙන් (UNGA) හි ඉදිරිපත් වන යෝජනාව ජය ගැනීමටත්, ඒ සදහා තව තවත් රටවල් එකතු කර ගැනීමටත් කියුබාව සමත් වී තිබේ. නමුත් ලෝකයේ ජන මතයට තවමත් හිස නොනමන ලෝකයේ ගණන්කාරයා වන අධිරාජ්‍යවාදී ඇමරිකා එක්සත් ජනපදයට ඉදිරි අනාගතයේදී කියුබානු ජනතාවගේ යුක්තිය හා ධෛර්යය ඉදිරියේ දණ නවන්නට නිසැකවම සිදු වනු ඇත.නිදහස් කියුබානු ජනතාවට ජය!

SYU Sri Lanka

Leave A Reply

Your email address will not be published.

two + three =