දමිළ සිරකරුවන් පිලිබඳ නාමල්ගේ යෝජනාව – එහි වටිනාකම අවලංගු වීමට ඉඩ නොදිය යුතුය

ඊයේ පාර්ලිමේන්තුවේ කදිම විවාදයක් පැවැත්වෙන ආකාරය දක්නට ලැබිණි. ඒ ආණ්ඩු පක්ෂ සභික නාමල් රාජපක්ෂ සහ විපක්ෂ සභිකයන් අතරය. මාතෘකාව වී තිබුණේ දිගු කලක් චෝදනා රහිතව සහ නඩු පැවරීමකින් තොරව රඳවාගෙන සිටිනා දමිළ සිරකරුවන් පිලිබඳවය. තරුණයන් සහ යෞවනයන් ලෙස අත්අඩංගුවට පත්වූ මොවුන් දැන් තලත්තෑනි වෙමින් සිටිනා පිරිස්ය. ඇතැමුන් සිරගතව සිටිනුයේ වසර දහය පහළොව සහ ඊටත් වඩා දිගු කාලයක් තිස්සේය.

මේ පිරිස් හට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඇමති හටම කතා කිරීමට සිදුවීම අපූරුය. පසුගිය කාලය පුරාම මේ පිරිස් හට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කතා කළ සැමට එරෙහිව දේශප්‍රේමයේ නාමයෙන් නැගී සිටියෝ ද ඔවුහුමය. යහ පාලන සමයේ මේ මාතෘකාව ඇදී ආ සෑම විටකම ඔවුන් ගැන කතා කිරීම අපරාධයක් වන තරමටම ඔවුහු ඊට විරෝධය පල කළෝය. එහෙත් අද ඉන් වැඩි හරියක් නිහඬ අනුමැතියක පසුවන අයුරුත් තවත් අය ඊට සහය පල කරමින් කතා කරන අයුරුත් දුටිමි.
2000 -2005 අතර කාලය තුළ වරක් මට එවක දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය හමුවීමට අවස්ථාව ලැබිණි. ඔවුන්ට ඒ අවස්ථාවේදී නෙල්සන් මැන්ඩෙලාගේ දේශන කිහිපයක් සිංහලට පරිවර්තනය කිරීමට ඇවැසිව තිබිණි. මම එය ඉත සිතින් බාර ගතිමි. ඒ සෑම දේශනයක්ම පාහේ යුද්ධයෙන් විනාශයට පත් ජාතියකට සංහිඳියාව ගැන ඉගෙනීමට අපූරු පාඩම් පෙලකි. එහෙත් ඒ පරිවර්තන කටයුතු ඉදිරියට ගියේ නැති. නමුදු මම දිගටම මැන්ඩෙලාගේ ලිවීම් කියවීමි. ඒ අවධියේ මැන්ඩෙලා සංහිඳියාව පිලිබඳ කී දේ අප රටේ දේශප්රේෙමීන්ට වහ කදුරු මෙනි. නමුදු අද නාමල් රාජපක්ෂ ඇමතිවරයා මෙසේ දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිටිනා පිරිස් හට යුක්තිය ඉල්ලා කතා කරද්දී එදා මාරාන්තික විරෝධයක් පෑ පිරිස නිහඩව සිටීම හොඳ දෙයකි. ඒ නිහැඬියාව පසුපස ඇති චේතනාව කවරක් වුව ඒ හරහා හෝ මේ පිරිස් හට නැවත නිදහස් පුරවැසියන් ලෙස ජීවිතයට එක්වන්නට ලැබේ නම් එය ඉතා අගනේය.

සරත් පොන්සේකා ඒ සම්බන්ධයෙන් සිය අනුමැතිය පලකරමින් කළ කතාව ඔහුගේ පරිණතබව පල කළේය. හමුදාපති තනතුර දරද්දී තමන්ට ජීවිතය අහිමි කිරීමේ චේතනාවෙන් ප්‍රහාර එල්ල කළ පිරිස් වෙත ඔහු අද බලනා ආකාරය වෛරය වෙනුවට මිනිස්කම පලකිරීම උදෙසා හොඳ ප්‍රවේශයකි. තමන්ට බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දීත් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට මේ ප්‍රශ්නය දෙස විවෘතව බලන්නට හැකියාව තිබිණි. මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාද ඒ හැකියාව සහිතව සිටි බව අප අමතක නොකළ යුතුය.
මේ පිරිස් දීර්ග කාලයක් රැඳවුම්භාරයේ ඉන්නේ හදිසි නීති සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බවත් මේ නීති යටතේම අසූව දශකවේ දකුණේ තරුණයන් දඩයම්වූ බවත් බොහෝ අයට දැන් අමතකය. එසේම අද පවා මේ නීති යටතේ පුද්ගලයන් දඩයමට ලක්වන බවත් අපට අමතකය. මම අසූව දශකයේ වරක් නොව තෙවරක්ම මේ නීති යටතේ දඩයමට සහ අසාධාරණයට ලක්වූවෙක්මි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ රඳවනු ලැබ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු දෙකකට මුහුණ දී ඉන් නිදහස ලබාගැනීමට මට විශාල අරගලයක් කිරීමට සිදුවිනී. මට මගේ උපාධිය සමත්වීමට සිදුවූවේද විශාල බාධක සහ හිරිහැර මැද සිර කුටියකය. අවසන නඩු දෙකින්ම නිදහස ලබාගන්නට මට හැකි වුවද ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ මට එරෙහිව ලබාගෙන තිබූ රැඳවුම් නියෝගය ඉවත් කිරීමට ආරක්ෂක ලේකම් අනුමැතිය දෙන තුරු මට සිර කුටියෙන් පිටට පැමිණීමට ඉඩ ලැබුනේ නැත. ඒ එතරම්ම දරුණු නීතියක් බව මම අත්දැකීමෙන් දනිමි. එහෙයින්ම මේ නීති වෙනස් විය යුතු බවත් හිංසනයට නොව මානව ආරක්ෂාවට නීති පැමිණිය යුතු බවත් මම විශ්වාස කරමි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු රැඳවුම්කරුවෙකුගෙන් ලබාගත්තේ යයි උසාවියකට ඉදිරිපත් කෙරෙනා ප්‍රකාශයක් අන් කවර සාක්ෂියක් නැතිව වුව අධිකරණය ඉදිරියේ චූදිතට එරෙහි සාක්ෂියක් ලෙස පිලිගැනෙයි. එය අභියෝගයට ලක් කළ හැක්කේ වොයර් ඩයර් නම් අතුරු සාක්ෂි විභාගයකින් පමණි. එහිදී චූදිත මේ ප්‍රකාශය තමන්ගෙන් බලහත්කාරයෙන් ලබාගත්තක් බව අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුය. එය ඉතා අසීරු කාර්යයකි. මේ සම්බන්ධ පළමු අත්දැකීම ජවිපේ සාමාජිකයෙකුව සිටි අජිත් කුමාරගේ නඩුවය. එහිදී පළමු වරට අදාල ප්‍රකාශය බලහත්කාරයෙන් ලබාගත්තක් මිස ස්වේච්ඡාවෙන් කළ එකක් නොවන බවට අධිකරණය පිලිගති. ඒ සඳහා විශල මෙහෙයක් කළේ ආර් අයි ඔබේසේකර නම් දක්ෂ නීතිවේදියා බවද සඳහන් කළ යුතුය.

මම මට එරෙහි නඩු දෙකෙහිදීම මේ වොයර් ඩයර් අතුරු සාක්ෂි විභාගයට පෙනී සිට මගේ නිර්දෝෂීත්වය වෙනුවෙන් සටන් කළෙමි. එදා මා වෙනුවෙන් පෙනී සිටියේ උදය රොහාන් ද සිල්වා නීතිවේදියා බවද සටහන් කළ යුතුය. මට එරෙහිව පවරන ලද නඩු දෙකින් එකක් විභාග කරන ලද්දේ අභාවප්‍රාප්ත එෆ් එන් ඩී ජයසූරිය විනිසුරු විසිනි. දෙවෙනි නඩුව විභාග කරන ලද්දේ ටී බී වීරසූරිය විනිසුරු විසිනි. මේ විනිසුරු දෙපලම මගේ මතකයේ රැඳී ඇත්තේ ලංකාවේ අධිකරණය බැබලවූ විනිසුරු දෙපලක් ලෙසිනි.
ඉදින් දීර්ග කාලයක් තිස්සේ රැඳවුම්භාරයේ සිටිනා මේ පිරිසට යුක්තිය ඉටුකිරීමට කතාකිරීම කවර අරමුණකින් කළද සහය පල කළ යුත්තකි. ඔවුන් සමාජයට බාර ගැනීම සහ ඔවුන්ටද යළි සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට සහ ජීවිතය විඳින්නට අවස්ථාව දිය යුතුය. අප නැති කළ යුත්තේ තරුණයන් නොව තරුණයන් අරගල මාවතට වැටෙනා පසුබිම බව අප වටහා ගත යුතුව තිබේ. නිදහසින් පසුව ගතවූ දශක ගණනාව පුරාම ප්‍රජාතන්ත්‍රවාදී යයි කියනා පොදුවේ වමේ සහ දකුණේ දේශපාලකයන් යන සැවොම අසමත්වී ඇත්තේ ඒ පසුබිම් මුලිනුපුටා දැමීමටය. ඒ අර්ථයෙන් බලන විට අරගල කිරීමේ වරදට රැඳවුම්භාරයේ සිටිනා පිරිස් වලටද වඩා ඔවුන්ට ඒ මාවතට වැටෙන ආකාරයට රටේ දේශපාලන ආර්ථික සමාජ සහ සංස්කෘතික පරිසරය වනසාලීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී යයි කියනා දේශපාලකයන් වැරදිකරුවෝය. අප වටහාගත යුත්ත මෙයයි. එහෙත් බලලෝභී දේශපාලනය එයට ඉඩ නොදෙන බව අපේ සදා අත්දැකීමවී තිබේ.
තෙවෙනි වර සිර දිවිය මට දෙමල රැඳවුම්කරුවන් සමගද එකට ගත කරන්නට අවස්ථාව ලබාදුන්නේය. ඒ අවධිය අප අතර දැඩි සංවාද සහ වාද ඇතිවූ සමයකි. අපි එකල එකිනෙකාගේ දේශපාලන මතයන් පිලිබඳ වාදයන්හී පැටළුණෙමු. එහෙත් මේ තරුණයන් යනු අප රටෙහි පුරවැසියන් බව පිලිනොගෙන සිටින්නට ඒ වාදයන් හේතු වූවේද නැති. ඔවුන් ගුටි කා තිබුණේද අප සාත්තුව ලැබූ පොල්ලෙනි. ඔවුන් එල්ලන ලද්දේද අප එල්ලන ලද බාල්කවලමය. ඒ අවධියේ දහවලෙහි වධක සාත්තුව ලබා එන නවක රැඳවියන්ට බෙහෙත් සාත්තු කළේ ජවිපෙ සැකකරුවකුවූ චම්ලින් ද සිල්වා සහෝදරයා සමග එල්ටීටී සැක කරුවකු වූ දයාබරන් නම් නව යෞවනයා බව මට මතකය. අද චම්ලින් ජීවතුන් අතර නැත. අත් අඩංගුවේදී ඉතාම දරුණු වධයන්ට ලක්ව සිටි ඔහු සිය දිවියේ පනස් වෙනි වියෙහිදී මෙලොවින් සමුගති. දයාබරන් අද කොහිදැයි මම නොදනිමි.
කෙසේ හෝ වේවා අද පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ ඇමතිවරයා කළ යෝජනාව ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය යන දෙපාර්ශවයේම අනුමැතිය ලැබිය යුත්තකැයි මම විශ්වාස කරමි. ආණ්ඩුව එතනට තල්ලු වන්නට බොහෝ හේතු බලපාන්නට ඇකි බව නිසැකය. ජීඑස්පී ගැටළුව, ජාත්යන්තර බලපෑම් මේ ආදී විවිධ හේතු එහි තිබිය හැකිය. එහෙත් ඒ මැදින් වුව මේ වෙනසට ඔවුන් එකඟවීම ලොකු දෙයකි.
අපට අපේ හිස මත පහරන දේශපාලකයන්ට හිරිකිත නැතිව ඡන්දය දෙන්නට හැකි නම් මේ රැඳවුම්කරුවන්ට මේසා දීර්ඝ කාලයකට පසුව හෝ යළි නිදහස ලබා ජීවිතය අරඹන්නට ඉඩ දෙන්නටද හැකි විය යුතුය. ඒ මනුෂ්‍යත්වයට වඩා ළඟය.
කෙසේ වෙතත් මම තවමත් එක් දෙයක් විශ්වාස කරමි. ඒ මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට අප අරගල කළ යුත්තේ බෙදී නොව එකටම බවයි. එදාද අප වාද කළේ ඒ අර්ථයෙනි. අද මම එදාටත් වඩා එය විශ්වාස කරමි. අපේ හෙට දවස ඇත්තේ සිංහල දෙමල මුස්ලිම් සහෝදරත්වය මත ගොඩ නැගෙනා ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් මතමය.
සහෘදයිනි, අපි මනුෂ්‍යත්වයට දෑත් දිගු කරමු. එය මේ මොහොතේ වුව කළ යුතුය. ඒ සඳහා පියවර තබනා පාර්ශවයෙහි දේශපාලන අභිලාෂයන් යට වෙනත් අරමුණු තිබිය හැකිය. එහෙත් එසේ වූ පමණින් ඔවුන් කරන්නට හදනා දෙයෙහි වටිනාකම අවලංගු වීමට ඉඩ නොදිය යුතුය. සියල්ලටම පළමුව මනුෂ්‍යත්වය, අපි ඒ වෙනුවෙන් පෙනී සිටිමු.

– චූලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.

two + seven =