යාල්පානම් හදගැස්මට සායම් ගෑ පිරුන්තාජිනී

පිරුන්තාජිනී ප්‍රභාකරන්

වර්තමානය වනවිට චිත්‍ර ශිල්පය සම්බන්ධයෙන් තරුණ පරපුර වැඩි අවධානයක් යොමු කරනවා. ඒකට මූලිකම හේතුව වෙලා තියෙන්නේ කලාව කියන සෞන්දර්යාත්මක විෂය යටතේ චිත්‍ර ශිල්පයට වැඩි ඉඩකඩක් ලැබීමයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ වනවිට තරුණියන්ද මේ සඳහා යොමුව ඇති අතර එය බොහෝ විට වෘත්තීමය තත්ත්වය දක්වා ඉදිරියට ගමන් කර තිබීමයි. අප මේ ඔබට ඉදිරිපත් කරන්නේ වෘත්තීමය වශයෙන් දියසායම් මාධ්‍යයෙන් හැකියාවන් පෙන්නුම් කරන චිත්‍ර ශිල්පිනියක් සම්බන්ධවයි. ඇය ජීවත් වුණේ සහ මේ වන විට තවමත් ජීවත් වෙමින් සිටින්නේ ද යුද්ධයෙන් බැට කෑ උතුරු කරයේය. යාපනයේ වාසය කරන ඇය නමින් පිරුන්තාජිනී ප්‍රභාකරන් ය.

 

 

ඕනම කෙනෙක්ට පොඩි කාලේ ඉඳලා තම තමන්ගේ දක්ෂතා හැකියාවන් තියෙනවා. ඉතිං මටත් දැනුනා මං ගැන තියෙන හැකියාවන් දක්ෂතාවයන් මොනවද කියලා. හැබැයි මට දැනුන විදියට අනිත් අයට වඩා ඒවා වෙනස්. ඒ හින්ද මගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ගැන මම විශ්වාස කළා. මට දැනුණා මට චිත්‍ර අඳින්න පුලුවන් කියලා.

විශ්වවිද්‍යාල ජීවිතේ ..
bty

ඒ හින්දා මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා චිත්‍ර එක්ක සම්බන්ධ වෙලා හිටියා. අන්න එතනදි තමයි ඇත්තටම දැනුනේ මගේ හැකියාවන් අනිත් අයට වඩා වෙනස් කියලා. ඉතින් මම තීරණය කළා චිත්‍ර කලාව දිගටම කරගෙන යන්න ඕන කියල. මට දැනුන හැම දෙයක්ම මගේ සිතුම් පැතුම් කලාකෘති විදිහට එළියට එන්න පටන් ගත්තා. මෙහෙමත් කාලයක් යනකොට චිත්‍ර මගේ ජීවිතය හා සම්බන්ධ වුණා. ඇත්තටම කියනවා නං වෙනස් කරන්න බැරි විදියට.

 

ජීවිතේ ම කොටසක්..

සිතුවම් කලාවත් එක්ක හිටපු මම උසස්පෙළ අධ්‍යාපනයෙන් පස්සෙ විශ්ව විද්‍යාලයට යන්න වරම් ලබා ගත්තා. මම සම්බන්ධ වුණේ නැගෙනහිර විශ්ව විද්‍යාලයට. විශ්වවිද්‍යාලය ඇතුලෙදි මම සෞන්දර්යාත්මක විෂයමාලාවක් යටතේ චිත්‍ර හැදෑරුවා. මගේ මූලික විෂය විදියට මම තෝරා ගත්තේ චිත්‍ර විෂය. මට තේරුම් ගියා චිත්‍ර වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන් නේද කියලා. සරලවම චිත්‍ර කලාව මගේ ජීවිතේට විශාල බලපෑමක් එල්ලකලා. චිත්‍ර විෂය මගේ ජීවිතේම කොටසක් වෙලා තිබ්බේ. විශ්ව විද්‍යාලය අධ්‍යාපනයෙන් පස්සේ වසරක කාලයක් මම එම විශ්වවිද්‍යාලයේම තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට සේවය කළා.

චිත්‍ර වලින් කියන්නේ ..

ඕනම කෙනෙක්ගෙ මනෝභාවය, සිතිවිලි, අපේක්ෂාවන් එකිනෙකාට වෙනස්. ඒවා හරිම පෞද්ගලිකයි. මේ අතරේ සතුටු දායක දේවල් වගේම අසතුටුදායක දේවල් වෙන්න පුළුවන්. අපේක්ෂා භංගත්වයට පත් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඒක පොදුයි. මේ හැම මනෝභාවයක් යටතේ ම මම චිත්‍ර අඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තෙන්ම සතුටින් ඉන්න මොහොතකට වඩා දුකින් ඉන්න මොහොතක මට චිත්‍ර අඳින්න පුළුවන්.

පුංචි කාලෙ ඉඳලම මම චිත්‍ර එක්කම තමයි හිටියෙ ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාල ජීවිතේදිත් මම චිත්‍ර එක්ක සම්බන්ධ වෙලා හිටියා මේ හැමදේකම අවසානයේදී සිදු වුණේ මම චිත්‍ර ශිල්පිනියක් විදියට සමාජයට එකතු වෙන එක.

මම ඉන්නේ මිනිසුන්ගේ දිළිඳුකම සහ ඔවුන්ගේ සිතුම් පැතුම් සමඟ. හැම වෙලාවෙම මට අවශ්‍ය වෙලා තිබ්බා මිනිස්සුන්ගෙ සරල ජීවන තත්ත්වය ගැන චිත්‍ර වලින් කතා කරන්න, ගැටළු ගැන චිත්‍ර මගින් අවධානය යොමු කරවන්න.

මේ දේවල් සමඟ ඉන්නකොට මට අති විශිෂ්ට නිර්මාණ එළි දක්වන්න පුළුවන්. අපිත් එක්ක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සමාජමය ගැටලු ගැන චිත්‍ර වලින් වලින් කතා කරන්න මං වඩාත් කැමැතියි.

 

 

 

සිතුවම් කලාව..

සිතුවම් කලාව, චිත්‍ර ශිල්පය කියන්නේ මහා සාගරයක් වගේ. මුලින්ම මම පුරුදු වෙලා හිටියේ අතින් පමණක් රේඛා අඳින්න. ඉන් පස්සේ ඒවාට මම වර්ණ යොදන්න පටන් ගත්තා.

වර්ණවලින් විවිධ විදියේ සිතුවම් නිර්මාණය කළාට පස්සෙ මට අවබෝධ වුණා තවත් ඉදිරියට චිත්‍ර කලාව දියුණු කරන්න පුළුවන් කියලා. මම දැන් ඩිජිටල් චිත්‍ර අඳින්න පටන් අරන් තියෙන්නේ.

 

 

 

ඒක අභියෝගයක්. ඒක වෙනසක්. ඒත් ඒ අභියෝගය වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මම ජය ගන්නවා.

 

 

 

 

 

වේදනාවේ සිතුවම..

අපි කවුරුත් දන්න දෙයක් තමයි අවුරුදු තිහකට වඩා වැඩි කාලයක් ලංකාවේ යුද්ධයක් තිබුණා කියන එක. ඇත්තටම ඒක කණගාටුවට කරුණක්ම. හැම දෙයක්ම නිසා අඩාළ වුණේ යාපනයේ ජන ජීවිත විතරක් නෙමෙයි මුලු මහත් රටේම සංවර්ධනය. කොහොම වුණත් යුද්දෙ කියන්නේ අමිහිරි කටුක දෙයක්. මේ පැවතුන යුද්ධය ගැන මට එච්චර මතකයක් නෑ, මොකද මම එතකොට පොඩියි. තරුණ වියට එළැඹිලා ජීවිතයේ අවතැන් වුණු චරිත විදියට බොහෝ දෙනෙක් ජීවත් වෙනකොට හරියටම මට එහි කටුක බව මොකක්ද කියලා තේරුණා. මගේ අම්මා සහ තවත් අය යුද්ධය කාලයේ වෙච්ච සිදුවීම් ගොඩක් දේවල් මට කියලා තියෙනවා. ඒ දේවල් අහලා මට දැනුණු වේදනාව මම මගේ චිත්‍රයෙන් නිර්මාණය කලා. ඒ වගේම තමයි අසාධාරණය විවේචනය කරන්න මම කිසිම විටෙක පසුබට වෙන්නේ නෑ.

වර්තමාන කතාව..

මේ ලඟදි දවසක මගේ චිත්‍රයක් විදේශීය පුවත් පතක පළ වුණා. ඒ කැනඩාවේ පළවෙන The Monsoon Jurnal පුවත්පතේ. නල්ලූර් කන්දස්වාමි කෝවිල තමයි මම ඇඳලා තිබ්බේ. මට ඒක සතුටට කරුණක්. ඒ වගේම තමයි මගේ චිත්‍ර විදේශ රටවල අය මිලදී ගන්නවා. කොහොමත් දැන් මම වෘත්තීමය චිත්‍ර ශිල්පිනියක්. “PIRUNTHA ART BOX ” කියන නමින් මම මගේ චිත්‍ර වැඩ කටයුතු කරගෙන යනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉන්දියාවට යන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ සිතුම් පැතුම්, හැඟීම්,අදහස් චිත්‍ර වලින් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා .
“Art is my passion”

මිනෝලි හංසිකා pinkline.lk

Leave A Reply

Your email address will not be published.

two × five =