Il Postino – නෙරූදාගේ ලියුම්කාරයා (1994)

ලියුමක් කියන්නෙ වර්තමානයෙ නම් ඒ තරම් බහුලව භාවිතවෙන මාධ්‍යයක් නෙමේ. රාජකාරීමය දේවල් ඇරුණම පුද්ගලික පණිවුඩයකට නම් ක්ෂණික සන්නිවේදන ක්‍රම දැන් ඕනෑතරම් තිබෙනව. අපිට මතක අපි කුඩා කාලයෙ මේ තත්ත්වය තිබුණෙ නෑ. ලියුමක් ලැබෙනකොට තියන කුතුහලය, කියවද්දි දැනෙන හෘදයාංගම බව අවසන් වතාවට දැනීගෙන ගිය පරපුර අපි වෙන්න පුලුවන් සමහරවිට. නමුත් ඊට කලින් පරම්පරාවල නම් මේ ලියුම් හුවමාරු හරියට සිද්දවුණා. කලින් කිව්ව වගේ ලියුම් බෙදන්නෙකුගේ සීනුනාදය ගෙදර ගේට්ටුව ලඟින් ඇහෙන්න ගන්නකොට ඇතිවෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. The postman චිත්‍රපටයත් මෙහෙම ලියුම් බෙදන්නෙකු ගැන කියවෙන කතාවක්. හැබැයි ඔහු ලියමන් ගෙනගියේ එසේ මෙසේ කෙනෙකුට නොවෙයි.
ඉතාලිය සමීපයේ පුංචි දූපතක මාරියෝ වගේ සිහින දකින්නෙකුට කරන්න ඒතරම් දෙයක් තිබුණෙ නෑ. එයාට ඕන නම් පුලුවන් කම තිබුණ එයාගෙ තාත්ත වගේ මාලු රස්සාව කරන්න. දූපතේ වැඩි දෙනා කලෙත් ඒක. ඒත් මාරියෝ ඒකට පොඩ්ඩක්වත් ආස වුණේ නෑ. එයාට ඕන වුණේ වෙනත් යමක් කරන්න. දවසක්දා පාරෙ ඔහේ සැරිසරමින් හිටපු මාරියෝට අපූරු දැන්වීමක් දකින්න ලැබෙනව. ඒ දැන්වීම තිබුණේ තැපැල් කාර්‍යාලය ඉස්සරහ. ලියන්න කියන්න හැකියාව තියන කෙනෙකුව උවමනා කර තිබෙන බවයි දැන්වීමෙ තිබුණෙ. හොඳටම බැරිවුණත් එයාට පුලුවන්කම තිබුණ ලියන්න කියවන්න. ඒ නිසා ගිහින් බලන්න එයා තීරණේ කරනව. දූපතේ ඒ වෙනකොට නවාතැන් ගෙන හිටියා එක් පුද්ගලයෙක්. ඔහු වාසය කළේ තරමක් ඉහල කඳුමුදුනක පිහිටා තිබුණ නිවසක. ඔහු ලෝක ප්‍රසිද්ධ චරිතයක්. දවසගානෙ ඔහුට ලියුම් විශාල ප්‍රමාණයක් ලැබුණ. මාරියෝට පැවරෙන රාජකාරිය මේ පුද්ගලයාට දවසගානෙ ලැබෙන ලියුම් ගෙන ගොස් බාර දීම. දූපතට ඇවිත් ඉන්න මේ ආගන්තුකයා තමා චිලී ජාතික මහා කවි පැබ්ලෝ නෙරූදා. ඒත් නෙරූදා මේ ඉතාලියේ පුංචි දූපතකට වෙලා මොකද කරන්නෙ? පැබ්ලෝ නෙරුදා (මේ ඔහු ලිවීමට භාවිත කල අන්වර්ථ නාමය. ඔහුගේ උප්පත්ති නාමය “රිකාඩෝ එලිසර් නෙෆ්ටාලේ රීස් බාසොල්ටෝ” ) චිලී රාජ්‍යයේ ජාතික කවියා විදිහට සලකනව. ඔහු එදාමෙදාතුර රචනා වුණු සුන්දතම ප්‍රේම කාව්‍ය ලියූ කවියෙක්. නමුත් ඔහු කවියෙකුට පමණක් සීමා වුනේ නැහැ. 1930 යුගයේ චිලී රට නියෝජනය කරමින් ලංකාවද ඇතුළුව රටවල් ගණනාවක රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදිහට ඔහු සේවය කලා. ස්පාඤ්ඤයේදි එරට සිවිල් යුද්ධය පුපුරා යන ආකාරය ඔහුට දෑසින් දැකගන්න ලැබුණා. මේ නිසා පැසිස්ට්වාදය ගැන දැඩි පිළිකුලක් ඇතිකරගත් ඔහු මාක්ස්වාදය වෙත යොමුවුණා. නැවත චිලී රටට පැමිණ එහි කොමියුනිස්ට් පක්ෂයේ තනතුරු දරමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු විදිහට නෙරූදා සේවය කලා. 1946 චිලියේ ජනාධිපතිවරණයෙදි, අපේක්ෂක ගේබ්‍රියෙල් ගොන්සාලෙස් විඩේලා වෙනුවෙන් ඔහු වැඩ කලා. ජනාධිපතිවරණය ජයගත් විඩේලා පසුව කොමියුනිස්ට් පක්ෂක විවේචනය කරන්න පටන්ගත්තා. පක්ෂය තහනම් කර එහි ක්‍රියාකාරී සාමාජිකයන් අත් අඩංගුවට ගන්න නියෝග දෙන මට්ටමට ජනාධිපති විඩේලා ගේ කොමියුනිස්ට් විරෝධය දුරදිග ගිය නිසා 1949 දි රටින් පලායන නෙරූඩා දකුණු ඇමරිකාවේ අනෙක් රටවල සැඟවීහිඳ පසුව යුරෝපයට පලාගියා. මේ විදිහට යුරෝපයට පලායන නෙරූඩා ඉතාලියේ කුඩා දූපතක නවාතැන් ගෙන සිටි බවට කල්පිත කතාපුවතක් ගොඩනගමින් චිලී ජාතික ලේඛක Antonio Skármeta විසින් රචනා කල El Cartero De Neruda (ඉංග්‍රීසි පරිවර්තනය The postman) නවකතාව ඇසුරෙනුයි Il Postino ඉතාලි භාෂිත සිනමාපටය නිර්මාණය වෙන්නෙ. (මේ නවකතාව “නෙරූදාගේ ලියුම්කාරයා” නමින්, ලියනගේ අමකීර්ති අතින් සිංහලට පරිවර්තනයවී තිබෙනව)

නෙරූදාට ලියුම් බෙදන රාජකාරිය මාරියෝ නම් තරුණය බාරගන්නෙ ඉතාම කැමැත්තෙන්. එක් හේතුවක් නෙරූදා ලෝක ප්‍රසිද්ධ චරිතයක් වීම. අනෙක් කාරණය කවි ගැන මාරියෝට තිබුණා ලොකු කැමැත්තක්. මේ වැඩෙන් නෙරූදා ඇසුරු කරන්න අවස්ථාවක් ලැබේවි. ඒ වගේ ලියන්න ඉගෙන ගන්න ලැබේවි. ඔහු සිතුවා. ඒ වගේම තව කාරණයක් තිබුණා. නෙරූදාට ලියුම් ලැබුණෙ බොහෝම වෙලාවට ස්ත්‍රී පාර්ශ්වයෙන්.
“මේ යකාට ගෑනුපරාණ මේ තරම් වහවැටෙන්නෙ මොන එහෙකටද.. මිනිහව පොඩ්ඩක් ආශ්‍රය කරල බලන්න ඕන” නෙරුදාට ලැබෙන ලියුම්ගොඩ දැකල ඔහු එහෙම හිතුව. නෙරූදා හමුවෙන්න යන මාරියෝ දකින්නෙ නිවීසැනසිල්ලේ ජීවත්වෙන්න ප්‍රියකරන නමුත් ප්‍රේමයෙන් උතුරා යන මනුස්සයෙක් ව. දිනපතා ඔහුගෙ නිවසට පැමිණෙන මාරියෝත් නෙරූදාත් අතරෙ ක්‍රමයෙන් යම් ඇසුරක් ඇතිවෙනව. අනෙක් දූපත්වාසීන් වගේ මාරියෝටත් එයින් පිට ලෝකය ගැන දැනුම අවමයි. අද වගේ නොයෙක් සන්නිවේදන මාධ්‍ය නොතිබ්බ කාලෙක මහාද්වීපයෙන් ඈත පුංචි ගොඩබිමක ජීවිතය එයටම සීමාවුණු එකක් වීම අරුමයක් නොවෙයි. නමුත් නෙරූදා රටරටවල ඇවිදල අත්දැකීම් සම්භාරයක් රැස්කරගත් පුද්ගලයෙක්. එය ලෝකයත් මිනිස් ජීවිතයත් විනිවිදින කවිමය ආත්මයක්. ඒ ඇසුරේ මාරියෝ ගේ සිතුවිලි විකසිත වන ආකාරය චිත්‍රපටයෙන් අපූරුවට පෙන්වා දෙනව.
බියට්‍රිස්.. මාරියෝගෙ සිත්ගත් සුරූපිනිය. ඇය අවන්හලකයි සේවය කරන්නෙ. ඇය නිසා තමන් තුළ ඇතුළ ඇතිවන හැඟීම් වචනයට පෙරළාගන්න මාරියෝ අසමත්. ඇය ගැන අප්‍රමාණ ආදරයක් ඔහුගේ සිතේ ඇතිවුණත් එය කියාගන්න ඔහුට තේරුමක් නෑ. ඉතින්..මෙහෙම තත්ත්වයකට පත්වෙන කෙනෙකුට පැබ්ලෝ නෙරූදා වගේ මිත්‍රයෙක් ලැබෙනව කියන්නෙ එතනින් එහාට මම කිසිවක් කියන්න අවශ්‍ය නැහැ.
Il postino චිත්‍රපටය අද්‍යක්ෂණය කරන්නෙ ඉංග්‍රීසි ජාතික සිනමාකරු Kingdom of Chile – මේ චිත්‍රපටය සම්බන්ධ ඛේදජනක කතාපුවතක් තිබෙනව. චිත්‍රපටයෙ මාරියෝ ගේ චරිතය නිරූපණය වගේම සහය තිර රචනයත් සිදුකරන්නෙ Massimo Troisi නම් ඉතාලි ජාතික රංගවේදියා විසින්. ඔහු ඒ අහිංසක ග්‍රාම්‍ය තරුණයාව කොයිතරම් හොඳින් ජීවමාන කරනවද කියන කාරණය චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න ලැබෙයි. චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරද්දි ඔහු හෘදයාබාධයකින් පෙලෙමින් සිටියා. ඔහුව ඉක්මණ් හදවත් සැත්කමකට ලක්කීරීම අවශ්‍ය වුණා. නමුත් චිත්‍රපටය රූගතකිරීමට අවශ්‍ය නිසා ඔහු එය කල්දමා තිබුණා. රූගත කිරීමේ කාලසටහන සකස්වුනේ Massimo ට වෙහෙසක් නොදැනෙන ආකාරයට. ඔහුට අවශ්‍ය විවේකය ලැබෙන ආකාරයට හැමදෙයක්ම සකස්වුණා. චිත්‍රපටයෙ අවසාන දර්ශනයත් රූගත කර Massimo තමන්ගෙ සහෝදරියගේ නිවස බල පිටත්ව යනව. නමුත් පැය කිහිපයක් ඇතුළත ඉක්මන් හෘදයාබාධයකට ලක්වෙන ඔහු එයින් මිය යනව. 1994 ඔස්කාර් සම්මාන උළලේ හොඳම රංගනයන් අතරට මරණින් පසුවත් Massimo Troisi නිර්දේශ ලබනව. මෙය මරණින් පසුව කෙනෙක් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණු අවස්ථා කිහිපයෙන් එකක්. මෙය එක් ආකාරයකින් චිත්‍රපටයටත් සම්බන්ධයි. එහි අවසානයත් ඉතාම අනුවේදනීය එකක්. නෙරූදා වැනි මහ කවියෙකුගේ ඇසුර ඔහුගේ ලියුම්කරු මාරියෝටත්, මාරියෝවැනි සාමාන්‍ය මිනිසෙක් නෙරූදාටත් ඇතිකරන බලපෑම චිත්‍රපටයෙ හොඳින්ම නිරූපණය වෙනව.
සාගරෙන් වටවුණු පුංචි ගොඩබිමේ අපූරු දර්ශනතල චිත්‍රපටයට ඇතුළත්. පසුබිම් සංගීතයත් ඒ හැඟීම නියම විදිහට මතුකරනව. Ill postino, නෙරූදාගෙ කවියක් වගේම සුන්දර සිනමා කවියක්.
-හෂාන් රන්දික ඩයස් (fb)

Leave A Reply

Your email address will not be published.

eight − 1 =