ප්‍රෝඩාකාරී ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලේ ඇති බව ඇමති පිළිගනී…

භාණ්ඩ මිල නිදහසේ ඉහළ යාමට ආණ්ඩුව විසින් ඉඩ දී තිබෙන අතර ගෑස් මිලද වංචාකාරී ලෙස වැඩි කිරීමට ගෙන තිබූ තීරනය සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම හමුවේ ආණ්ඩුව දැඩි අසීරුතාවයකට පත්විය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු ලබා දුන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධට, අනුර දිසානායක මන්ත්‍රීවරයා මතුකළ ගෑස් සමාගමේ වංචාකාරී ප්‍රයත්නයන් පිළිගැනීමට සිදුවිය. එහෙත් ඇමතිවරයා ගෑස් ලීටර් වශයෙන් ලබාදීම නව නිෂ්පාදන හඳුන්වා දීමක් බවත් ඒ පිළිබඳව විශ්වවිද්‍යාල කිහිපයක පර්යේෂණ අංශ මගින් වාර්තා ඉල්ලා ඇති බවත් සඳහන් කළේය.

මෙහිදී ඇමතිවරයා “වටේ යනවා” මිස සෘජු පිළිතුරු ලබා නොදීම පිළිබඳව අනුර දිසානායක මන්ත්‍රීවරයා නැවත ප්‍රශ්න කළේය. මේ ප්‍රශ්න කිරීම් හමුවේ ආණ්ඩුවට පැහැදිලි පිළිතුරු ලබාදීමේ හැකියාවක් නොතිබිණි. ගෑස් මිල වැඩි නොකර සිලින්ඩරයක අඩංගු ගෑස් ප්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කළේය.

අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්න කිහිපයක් ;

  1. නව ගෑස් සංයුතියක් සහිතව වැඩි කරන ලද මිලකට, අඩු ගෑස් කිලෝග්‍රෑම් ප්‍රමාණයක් සහිත සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේද?

  2. නව ගෑස් සිලින්ඩරයේ ජාත්‍යන්තර ප්‍රමිතිය සහ ඉහළ කාර්යක්ෂමතාව පිළිබඳව කරනු ලබන වෙළඳ ප්‍රචාරණයන් සත්‍ය ඒවාද? ඒ පිළිබඳව ආණ්ඩුවට ඇති සහතිකය කුමක්ද?

  3. පාරිභෝගිකයන් විසින් මිලදී ගත් කි.ග්‍රෑ. 12.5 වර්ගයේ සිලින්ඩර්වලට මෙම නව සංයුතිය සහිත අඩු ගෑස් ප්‍රමාණයක් පිරවීම මගින් පාරිභෝගිකයන් නොමඟ යැවීමක් සිදු වන බව ආණ්ඩුව විසින් පිළිගනු ලබන්නේද? එය පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ වරදක් නොවන්නේද?

  4. රට පුරා ගෑස් හිඟයක් ඇති බවත් බොහෝ අලෙවිහල්වල විකිණීමට ඇත්තේ නව අඩු බර සහිත සිලින්ඩර් බවටත් පාරිභෝගිකයන් විසින් නගන චෝදනාව පිළිබඳව ආණ්ඩුවේ මතය කුමක්ද?

  5. මෙම වංචනික ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව සහ ගෑස් හිඟය පිළිබඳව ආණ්ඩුව විසින් ගනු ලබන පියවර කවරේද?

මෙයට පිළිතුරු දුන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ නීති කඩන ගෑස් සමාගම්වලට විරුද්ධව නඩු පවරන බවයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

17 − 1 =