“ලේඛකයා පවත්නා සමාජ, දේශපාලන තත්වයන් පිළිබඳ නිරතුරුවම ප්‍රශ්න කරන්නෙක් විය යුතුය”

‘ප්‍රලේඛා’ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය 2014 ඔක්තෝබර් – දෙසැම්බර් කලාපය
සංස්කාරක සටහන
සාහිත්‍ය අවශ්‍යයෙන්ම දේශපාලනය හා බැඳී පවතී. සාමාන්‍ය පුරවැසියා මෙන්ම ලේඛකයාද දේශපාලන සත්වයෙකු වන අතර , යමෙකු ලේඛන කලාවට පිවිසීම ම දේශපාලන වගකීමක් හා දේශපාලන කාර්‍ය භාරයක් පවරා ගැනීමකි. සැබැවින්ම ලේඛකයාට තත්කාලීන දේශපාලන බලාධිකාරය සමග සුමට , සුහද සම්බන්ධයක් තිබිය නොහැකිය.ඔහු දේශපාලන බලාධිකාරය සමග ගැටුම් ඇති කරගන්නෙකු විය යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ. ඔහු අවදි, විචාරශීලී පුද්ගලයෙකු විය යුතුය.
වත්මන් ලෝකය තුළ ලේඛකයාගේ වගකීම අන් හැම කලකට ම වඩා භාරදූර වේ.මිනිස් මනස නිර්වින්දනය කොට ඔහු අසංවේදී පුද්ගලයෙකු බවට පත්කරන මහා බලවේග තොරතුරු සන්නිවේදනයේ නාමයෙන් ක්‍රියාත්මක වන බැවිනි .
මිනිසා විසින් ම නිපදවා ගනු ලැබූ සන්නිවේදන මෙවලම් හා විධික්‍රම මිනිස් පවුලේ ප්‍රගමනය සඳහා මෙන්ම, එහි අධ්‍යාත්මික පරිහානියටද බලපා ඇත.තොරතුරු සන්නිවේදන තාක්ෂණය මගින් අද වන විට සැපයෙන්නේ හුදු විනෝදාස්වාද සන්නිවේදනයකි.(infotainment) එමගින් මිනිසාගේ සැබෑ තතු වසන් වෙමින් ඔහුගේ මනස මිථ්‍යාවේ අඳුරු පටල මඟින් වැසී යමින් තිබේ.සමාජයේ සැබෑ ගැටලු , අභියෝග පිළිබඳ මිනිසා ගේ හැඟීම් දැනීම් ඉවත්වෙමින් පවතින අතර , බැරෑරුම් සිතා බැලීමකට සංවාදයකට ඔහු තුළ උත්තේජනයක් සිදු නොවන තරම්ය.
යුද්ධය වේවා, දේශපාලනය වේවා , පුරවැසියා දවන එදිනෙදා ජීවන ගැටලු වේවා, විනෝදාස්වාද තොරතුරු සන්නිවේදනය ක්‍රියාවලිය තුළ අතිශයින් සරල සැහැල්ලු ප්‍රස්තූත බවට පත්කෙරේ. සැබෑ භාරදූර සමාජ, දේශපාලන විචාරයන්ට මෙම යාන්ත්‍රනය තුළ අවකාශය හෝ අනුග්‍රහය සීමිතය. නිර්වින්දිත මනස් කුහර තුළ එවැනි දැයට ඉඩක් නැති බැවින් හා ඒවා බොහෝ මුදල් නොඋපයන බැවිනි.
එවන් මනස් පුනර්ජීවනය කිරීම ලේඛකයාගේ වගකීමකි.එමෙන්ම විද්‍යුත් විනෝදාස්වාදන සන්නිවේදන ක්‍රම මඟින් ආබාධිත තත්වයට පත්කෙරෙමින් පවතින බස යළි ප්‍රකුර්තිමත් කිරීමද ලේඛකයා සතු කාර්යයකි.
මීටත් වඩා තවත් වැදගත් වගකීමක් ලේඛකයා සතුය. ඔහු, පවත්නා සමාජ, දේශපාලන තත්වයන් පිළිබඳ නිරතුරුවම ප්‍රශ්න කරන්නෙක් විය යුතුය. ඒ තත්වයන් සඳහස් පිළියම් යෙදීම ඔහුට හුදෙකලාවේ කළ හැකි කාර්යයක් නොවනු ඇත. එහෙත්, එම තත්වයන් මොනවාදැයි පැහැදිලිව පාඨකයා හමුවේ තැබීම ලේඛකයාගේ /සාහිත්‍යකරුවාගේ වගකීමය.
– මාලනී ගෝවින්නගේ

ස්තුතියි  (තිලක පියදාසගේ fb පිටුවෙන්)

Leave A Reply

Your email address will not be published.

fifteen + three =