අද සියල්ලෙන් සමුගත් මාලනී ගෝවින්නගේ වෙනුවෙන් වචනවලට නැඟුණු කඳුළු

මාලනී ගෝවින්නගේ ඊයේ(21) දිනයේ මියගිය පුවත ඇසීමෙන් පසු ඇයගේ හිතවතුන්, ඇගේ පරිවර්තන රසවිඳි අය සිය facebook පිටුව තුළ කඳුළු වචන වළට පෙරලමින් තබන ලද සටහන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබිණි. මෙහි එකතුව ඇත්තේ ඉන් අප ඇස ගැටුණු කිහිපයක් පමණි. අද (22) ඇයගේ අවසන් කටයුතු සිදුවන දිනයයි.

උණු කැවුම් මෙන් විකිණෙන පොත් වෙනුවට අර්තවත් කෘති

“විශ්ව විද්‍යාලයට පැමිණෙන තෙක් යුරෝපීය සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් නොතිබූ ගැමි සිංහල පවුලකින් පැමිණෙන මාලනී ගෝවින්න නම් වූ තරුණ ශිෂ්‍යාවක් විසින් මෙය පරිවර්තනය කර තිබීම ද විශේෂ වැදගත්කමකින් යුක්ත වෙයි.”
රෙජී සිරිවර්ධන 1973 දී එම වදන් ලීවේ අද අභාවප්‍රාප්තවූ මාලනී ගෝවින්න නමැති පරිවතිකාව හඳුන්වා දෙමින් ඇගේ පළමු පරිවර්තනයට ලියූ හැඳින්වීමෙහි ය. පහත පළ වනුයේ එම කෘතියේ පළමු මුදරණයේ පිටකවරයයි. ඇයගේ මෙම ක්ෘතිය එය පළ කළ මාර්ග ආයතනයේ පළමු පරිවර්තනය ද විය. එය පළමුවැන්න වූයේ එම කරුණු දෙකෙහිලා පමණක් නොවේ. එය ඉග්නාත්සියෝ සිලෝනේගේ කෘතියක් සිංහලට පරිවර්තනය කෙරුණ පළමු අවස්ථාව ද විය. එම ක්ෘතියෙන් ඇය ලැබූ ආභාසය ඇය විසින් පරිවර්තිත අනෙකුත් කෘතින් වෙත ඇය යොමු කිරීමට දායක වූ බැව් පෙනේ. උණු කැවුම් මෙන් විකිණෙන පොත් වෙනුවට කියවීම බොහෝ දුෂ්කර වන ඩී බ්‍රවුන්ගේ කෘතියක් “මා හද සඟවන්’ නමින් 2012 දී පළ කිරීමට ඈ උත්තේජනය ලැබුවේ “ෆොන්ටමාරා”ව පරිවර්තනය කිරීමෙන් ලද පීඩිතයා කෙරෙහිවූ වාමාංශිකමය යොමුව වූ බව නිසැක ය.
– ටී. අන්ද්‍රාදි

ආදරණීය මාලනී අක්කේ ..,සුවෙන් නිදන්න..!!
ඔබේ මතක ,අපේ හමුවීම් ,අලුත් පරිවර්තන ගැන මගේ කරදරකාරි ඉල්ලීම් ,අවසාන කාලයෙත් ( මීට දෙමසක ට පමණ පෙර ) ලිවීම් ගැන ඔබට තිබුණ සැලසුම් ..,කිසිම දෙයක් මතක් කරගන්න බැරි තරමටම මම මේ මොහොතෙ බිඳිලා .
ඒත් ,අසනීපෙ මුලින්ම මට කියපු වෙලාවෙ කියපු දේ ,ආයෙමත් මතක් කරන්න අවසර දෙන්න !
” ඔයාවත් නොදන්නා තරම් පිරිසක් ,ඔයාට ඇත්තටම ආදරෙයි..!!
ගිහින් එන්න..! අපි ආයෙ නොවැරදීම මුණ ගැහෙමු ..!! ආදරෙයි..!!
-අනුරාධා නිල්මිණි

මෙරට සිටි ඉතා විශ්වාසවන්ත පරිවර්තිකාවකි

මාලිනී ගොවින්නගේ මහත්මියගේ අකල් මරණය අසා මම බෙහෙවින් කම්පා වුනෙමි. එනමුත් බෞද්ධ දර්ශනයට අනුව මෙලොව උපන් සියළුම සත්වයන් කෙදිනක හෝ මරණීයධර්මතාවයට මුහුණු දිය යුතුය.
එතුමිය මට විවිධ සාහිත්‍ය උත්සව කීපයකදීම මුහුණ ගැසී තිබෙනවා. එපමණක්ද නොව ලතින් ඇමෙරිකානු රැඩිකල් සාහිත්‍යය පිළිබඳව දැඩි ඇල්මකින් පසුවූ එතුමියට එම විෂය පරාසය පිළිබඳව තිබුණේ ඉහළ කියවීමකි. එසේම එතුමිය වර්තමානයේ මෙරට සිටි ඉතා විශ්වාසවන්ත පරිවර්තිකාවකි. එනමුන්ගේ තමුන්ගේ කාර්යය ඉතා නිහඩව ඉෂ්ට සිද්ධ කොට එතුමිය ජීවිතයේ අවසන් ගමන් ගියාය.
හිතවත් මාලනී ගෝවින්නගේ මහත්මියනි … ඔබතුමියට උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට රැස්කරගත් සියළු කුසල්ධර්මයෝ හේතු වාසනා වේවා යයි ඉත සිතින් පතමි.
-ඇතිපොළ මංගල හිමි

ඇගේ එම පරිවර්තනය මා තදින් ඇදගත්තකි

මාලනී ගොවින්නගේ ද නික්ම ගොසිනි. ඇය සමග මගේ මතකයට නැගෙන මුල්ම පින්තූරය ෆොන්ටමරා පරිවර්තනයයි. පරිවර්තකයකු වීමේ අදහසක් පවා නොතිබූ එහෙත් තද කියවන්නකු වූ අතීතයක ඇගේ එම පරිවර්තනය මා තදින් ඇදගත්තකි. පසුව අපි හදුනාගතිමු. ඒ පරිවර්තකයන් ලෙසිනි. අද ඇය නික්ම ගොසිනි. එහෙත් ඒ තම වැඩ කොටස ඉටු කල අයෙකු ලෙසිනි. ඇගේ නික්ම යාම අප තුල දනවන්නේ ශෝකයක් මිස අපෝ ඇති යන්තම් යන හගීම නොවේ. සුබ ගමන් සහොදරී, ඔබ නික්ම ගියද ඔබ කල වැඩ කොටස ඔබ ජීවත්වූ බවට සාක්ශි දරනු ඇති.
-චුලානන්ද සමරනායක

මාලිනී සහ ෆොන්ටමාරා

ෆොන්ටමාරා නවකතාවෙහි කවරය ටී.අන්ද්රාදිගේ සටහනෙන් ගත් බව මුලින්ම කියමි.
ඈ මාලිනී ගොවින්නගේ ය.
ෆොන්ටමාරා පරිවර්තිකාවයි. ඉතාලි ජාතික ඉග්නාට්සියො සිලොනෙගෙ බහුවිධ කලා සහ සමාජ උන්නතිකාමී වැඩ අතර ෆොන්ටමාරා නවකතාව එක් වැඩකි.ඔහුගේ ඇතැම් නාට්‍යවලින් ලංකීය වේදිකාවටද ආලෝකය ලැබී ඇත.
ෆොන්ටමාරා නවකතාව ලෝකයටම අදාළය.ඉතාලි ජාතික සිලොනෙ තම මන:කල්පිත ෆොන්ටමාරා ගමෙහි මුලු ලොවටම අදාළ යථාර්ථයක් කුලුගන්වයි.එනම් පාලකයා පාලිතයා ඇන්දවීමේ කලාවය.
නුගේගොඩ ෆොන්ටමාරාව යැයි වරක් මම ලිපියක් ලිවීමි.ඒ ෆොන්ටමාරාව ගැන අනතුරු ඇඟවූයෙමි.පලක් නොවීය.
මේ සැම විටකම ෆොන්ටමාරාවේ සිදුවීම් උපුටනු ලැබුවේ මාලිනී ගෝවින්නගේ ෆොන්ටමාරා පරිවර්තනයෙනි.
රාවයේ ඉන්න කාලයේ ඈ බණ්ඩාගේ වාක්කිය රසිකාවකි.මා ඇගේ පාඨකයෙකි.
ඇය කලක් ජීවත් වූ තලංගම මාධ්‍ය නිවාස ජනපදයට ගිය අවස්ථා කීපයක,ඇගේ නිවසටද ගොඩවැදීමේ භාග්‍යය ලදිමි.ඈ බණ්ඩාට ආදරය කළ පරිද්දෙන්ම මම ෆොන්ටමාරා මහිමය සිරිලක දනට කියවන්නට දුන් මාලිනීට ආදරය කළෙමි.
මට තේරෙන පරිදි නම් කවුරු පරිවර්තනය කළත් ෆොන්ටමාරා කියවන පාඨකයා අපේ රට ද කියවා ගනී.
ෆොන්ටමාරාව නොතේරෙන තරුණ,වැඩිහිටි දන විදේශ ආක්රමන, කුමන්ත්රන,රටට ඇති තර්ජන යනාදී උසිගැන්වීම්වලින් ලොව පුරා කප් ගැසූ අවස්ථාවාදී ,මිනීමරු පාලකයන්ගේ ග්රහනයෙහි විඳවති……
තවත් දෙයක් කිව යුතුය.අපේ රටේ අපට මතක මාලනී නාමාවලියෙහි ඇයද ඇත.නන්දා මාලනී,මාලනී ෆොන්සේකා,මාලනී බුලත්සිංහල,මාලනී ඇඳගම යනාදී වශයෙනි.කවුරුත් සිනාසිය යුතු නැත.ඒ ඒ ක්ෂේත්රවල නිපුණත්වයට පැමිණි අයයි….මාලනී ගෝවින්නගේ නම ඒ කෙටි නාමාවලියෙහි සදා සටහන් වනු නිසැක ය.
– තිඹිරියාගම බණ්ඩාර

ෆොන්ටමාරාවේ ගොවියන් – ඒ කතා තුළ උන් වීරයන් අපට සම්බන්ධ කළ මිනිසුන් එකා දෙන්නා දැන් අප අතහැර යමින් සිටී

ඉකුත් සියවස මුල් භාගයේ දී ෆොන්ටමාරා නම් වූ එම ප්‍රත්‍යන්ත ඉතාලි ගම්මානයෙහි වැසියන් අත් විඳි සූරාකෑම, රැවටීම හා ඔවුන්ගේ ජීවිත තුළින් ඉවත නොයන සේ කිඳා බැස ගත්තා වූ දුගී භාවය මෙම විසි එක්වන සියවසට ආගන්තුක වූ සංසිද්ධියක් නොවේ; එම සූරාකෑම හා රැවටීම ඉතා සූක්ෂ්ම ලෙස, සුමට ක්‍රෑරත්වයකින් යුතුව වත්මනෙහි ද සිදුවෙමින් පවතී.වත්මන් රාජ්‍ය පාලකයෝ ද, අසාධාරණ හා කූට උපා මං මගින් අපරිමිත ධන සම්පත් භුක්ති විඳින්නෝ ද ඇතැම් ආගමික නායකයෝ ද මෙම කල්පිත ගම්මානයෙහි දිවි ගෙවූ ඇතැමුන්ගේ ප්‍රතිරූප ම නොවන්නෝ ද? වත්මන් ගොවි – කම්කරු ජනතාව හා එම ෆොන්ටමාරා වැසියන් අතර සමානතා බොහොමයකි.මොවුහු ද ෆොන්ටමාරා වැසියන් මෙන් රැවටෙති, යළි යළිත් රැවටෙති.- ෆොන්ටමාරා පසු සටහන – මාලිනි ගොවින්නගේ –

තරුණ කල අප ජීවිත විලාසිතාව වෙනස් කිරිමට බල පෑ පොත් අතර, ෆොන්ටමාරා ඉමහත් බලපෑමක් කළ පොතක් විය. එය නවකතාවකට එහා ගිය ජීවිතය සමඟ බද්ධ වූ කතාවකි. පොලොන්නරුවේ කවුඩුල්ලේ ගොවියන් විසින් අමුණක් හරස් කර ආරම්භ කළ ගොවි අරගලය ගැන හිරු පත්තරයට ලිපියක් ලියන්නට අතුල නන්දනත් සමඟ එහි ගිය පසු මතකයට ආවේ ෆොන්ටමාරාවේ ගොවියන්ගේ අරගලයයි. ඒ ගැන අපි මහත් ආස්වාදයකින් යුතුව සටහන් කළෙමු.
කාලය ගෙවි ගොසිනි. අතීත මතකයන් තුළ අප හැමෝම ගිලි යමින් පවතී. ඒ කතා තුළ උන් වීරයන් අපට සම්බන්ධ කළ මිනිසුන් එකා දෙන්නා දැන් අප අතහැර යමින් සිටී. මාලිනි අක්කා ෆොන්ටමාරා නැවත මුද්‍රණය කිරීමට යන බව පැවසුවේ රංජි අයියයි. එහි කවරය කරන්න පැවරුනේ මටයි. එය අහඹු සිහිනයකි. කවරයට තෝරාගත් චිත්‍රය ගැන මාලිනි අක්කා සිටියේ තෘප්තියෙනි. පොත මුද්‍රණය වූ පසු කිහිපවරක් ඈ කතා කළාය. ජීවය නොසිඳුනු ඇගේ වචන තුළ තරුණ සටන්කාමිනියක ජීවත්ව සිටියාය. අරාජික කාලයකදී වුව අප පසු නොබා වැඩ කළ යුතු බව ඈ කීවාය. ඈ උපරිමයෙන් වැඩ කළාය. දැන් ඈ නික්ම ගොසිණි. ඒ අපට ළංවිය නොහැකි දුරකිනි.
ඒ තෘප්තිමත් යෞවනියට හිස නමා ආචාර කරමි.
– මො. ල.සෙනවිරත්න

”ඔයා සීතව බලන්න යන ගමන්, අපේ ගෙදරත් එන්න…”

”මාලිනී ගෝවින්නගේ ද ඉතා වැදගත් පරිවර්තන කෘති ගණනාවක් සිංහල පාඨකයන් වෙත තිළිණ කළ ලේඛිකාවකි. 1972 වසරේ සරසවි සිසුවියක ලෙස සිටියදී ඉග්නාත්සියෝ සිලෝනේගේ “ෆොන්ටමාරා” කෘතිය පරිවර්තනය කරමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය, විප්ලවීය සාහිත්‍යය කෙරෙහි වැඩි නැඹුරුවකින් සහ ස්වකීය සමාජ, දේශපාලන මැදිහත්වීම පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයකින් යුතුව පරිවර්තනය සඳහා කෘති තෝරා ගත් ලේඛිකාවකි.

චේ චරිතය කෙරෙහි ඈ තුළ වන ඇල්ම මනාව පිළිබිඹු කළ චේ චරිතාපදානය මෙන්ම ඈ විසින් පරිවර්තනය කළ “අර්නෙස්ටෝ චේගුවේරා මෝටර් සයිකල් දිනපොත”, “බොලීවියානු දිනපොත”, අලෙයිඩා මාච් ලියූ “එක්ව අපි ඇවිද යමු” වැනි කෘතීන් “චේ” ගැඹුරින් හඳුනා ගැනීමටත්, විප්ලවීය සිහින දුටු චේ ප්‍රේමවන්තයින්ගේ හද මනස් දල්වාලීමටත් දායක වූ බව නිසැක ය. වර්ණභේදවාදයේ අමානුෂික මුහුණුවර හෙළිදරව් කරන “හඬනු පෙම්බර දේශය”, සමාජ විෂමතාවයේ සදාකාලික ගොදුරු වන ඉතාලියේ ගම්පියසක දිළිඳු, නූගත් ගැමියන් පිළිබඳව වන කම්පනීය කතා පුවත “ෆොන්ටමාරා” කෘතිය, ස්වදේශීය ජනතාව අමානුෂික ලෙස ඝාතනය කරමින් ඇමරිකාව සුදු ඇමරිකාවක් වූ ඉතිහාස කතාව “මා හද සඟවන්” වැනි කෘති ඇගේ පරිවර්තන කාර්යයන් අතර සුවිශේෂ වේ. ‘මතක පූජාව’ නමින් පරිවර්තන කවි එකතුවක් ද පළ කර ඇති මාලිනිය, රයිනර් මරියා රිල්කගේ ‘Letters to a young Poet’ කෘතිය “කිවිඳ හදට එබී බලන්” ලෙස කළ පරිවර්තනය ද ලාංකේය කාව්‍ය ක්ෂේත්‍රයට පරිවර්තන සාහිත්‍යයේ ප්‍රභාව සහ පන්නරය එක්කළ අවස්ථා ලෙස දැක්විය හැකිය.”

(තිඹිරියාගම බණ්ඩාර සහෝදරයාගේ ඇරයුමින් ‘ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය’ මැයෙන්, හෂිත අබේවර්ධන සොයුරාගේද සහය ලබා ගනිමින් ලියූ ලිපියක මාලනී ගෝවින්නගේ ප්‍රවීණ පරිවර්තිකාව පිළිබඳව තැබූ කෙටි සටහන… මේ ලිපිය කොතැනක හෝ පළ වීදැයි නොදනිමි.)

ඇගේ පරිවර්තන සාහිත්‍යය නව යෞවනයේ සිට අපගේ ජීවිතවලට කොතරම් බලපෑමක් කළාදැයි ඇයට කියන්නට හැකි වීම, අවස්ථා කිහිපයකදීම ඇයගේ කෘති පිළිබඳව අදහස් බෙදා ගන්නට හැකි වීම සතුටකි. නමුත් ඇගේ එක ඉල්ලීමක් ඉටුකරන්නට මට නොහැකි විය.
”ඔයා සීතව බලන්න යන ගමන්, අපේ ගෙදරත් එන්න…”
– තරුරසි ප්‍රනාන්දු

මොනිකා වගේම ඔබත් ගිහිං

ඔබ ඉතින් සිහිනයක්
නොවේ
ඇස් අගින්
අයින් වුණ
අන්තිමට අපි
හමු වුණේ
බොහෝ දේවල්
දෙඩෙව්ව දවසක
ගේ දොරකඩ ටත්
ඇවිත්
තකහනියේ දිව්වේ
තේ ඩිංගක්
බොන්න එනබව
කියාගෙන
මොනිකා වගේම
ඔබත් ගිහිං
මගේ අතින්
අල්ලා හිනා නොවිම
ඊවත් එහෙම යි
ගියේ
පූස් රොත්ත
පාර ළග බලන්
ඉද්දිම
දැන් ඔයත්
මාලනී අක්කේ….
මඤ්ඤොක්කා පදුර
කටුපිළ පැළය
ඔබට හිටපු
ගේ ඉස්සරහ
මේ දැනුත්
හිටගෙන
– තරංගා රණසිංහ

 

 

Leave A Reply

Your email address will not be published.

fifteen + three =