ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 රෝගය වැළදුණහොත් ඔබේ ඉරණම කුමක් ද?

අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් හා ශක්තිමත් රෝහල් පද්ධතියක් පවත්නා බැවින් කෝවිඩ් රෝගය වැළඳුණහොත් ඉක්මණින් සුවය ලබා නිවසට පැමිණෙන්නට හැකිවේ යැයි ඔබ සිතා සිටිනවා විය හැක. ඇතැම් විට එසේ නොවන්නට ද ඉඩ තිබේ.
දැනටමත් රෝගය පැතිරෙන සම්භාවිතාව අනුව ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක රෝගය වැළඳීමේ අවදානමක් ඇත. එබැවින් මෙරටදී කොවිඩි 19 රෝගය වැළදුනහොත් ඔබට මුහුණ පාන්නට සිදුවන්නේ කෙබඳු තත්ත්වයකටද යන්න පිළිබඳව සාමාන්‍ය අදහසක් ඇතිකර ගැනීම වැදගත්ය.
කොවිඩ්19 රෝගයට ගොදුරු වූ මා මුහුණ දුන් සත්‍ය අත්දැකීම මෙහි සටහන් තබන්නේ ඔබට යම් අදහසක් ඇතිකර ගැනීම පහසු වනු පිණිසය.
මා පදිංචිව සිටින්නේ කොළඹ කොල්ලුපිටියේය. ජාතික රෝහල ඇතුළු රටේ ප්‍රධාන රෝහල් පද්ධතිය පිහිටා තිබෙන්නේ මා පදිංචි ස්ථානයට අතේ දුරිනි. එය මා ලද භාග්‍යයක් සේ මම සලකමි.
දිනය 2021 අප්‍රේල් 24දාය. එදා සෙනසුරාදාවකි. මට නිවාඩු දිනයකි. දවස ඇරඹුණේම දැඩි තෙහෙට්ටු ගතියෙනි. දවසම ගෙවා දැමුවේ අපහසුවෙනි. මා 25 ඉරිදා අවදිවූයේ රෝගියෙකු මෙනි. ඇඟ රිදෙනවා හැරෙන්නට කියන්නට තරම් රෝග ලක්ෂණයක් තිබුණේ නැත.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ගෙන තිබූනි

බොහෝ කලක සිට දැඩි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ නිසාත්, කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ගෙන තිබූ නිසාත් කොරෝනා රෝගය වැළඳීම පිළිබඳව බියක් මා හට තිබුණේ නැත.
නමුත් 27 උදෑසන මට උණ ගැණුනි. උණ මැන බැලූ කළ උණ කටුව අංශක 101 පෙන්වීය. තරමක සෙම්ප්‍රතිෂ්‍යා ගතියක් ද වූයෙන් P C R පරීක්ෂණයක් කර ගැනීමට තීරණය කළෙමි.
වැල්ලවත්ත MOH කාර්යාලයට දැන්වීමෙන් අනතුරුව එදිනම P C R පරික්ෂණයකට පෙනී සිටින්නට අවස්ථාව ලැබුණි. මට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව 28 වනදා දහවල් MOH කාර්යාලය විසින් දුරකථනයෙන් දැනුම් දුන්නේය.
නිවැසියන්ගෙන් ඈත් වී සෞඛ්‍ය ආරක්ෂිතව සිටින ලෙසත් නැවත අමතන තුරු අවධානයෙන් පසුවන ලෙසත් ඒ සමගම දන්වන ලදී. එදිනම සවස යළි මට දැනුම් දුන්නේ රෝහල් ගතවීමට සූදානම්ව රාත්‍රී 10.00 ට වැල්ලවත්ත MOH කාර්යාලය අසලට පැමිණෙන ලෙසය.
ඒ අවස්ථාව වන විට මා සිටියේ ඉතා බරපතල ශාරීරික අපහසුතාවකිනි. පැරසිටමෝල්වලට උණ බැස්සේ නැත. සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වී හුස්ම ගැනීමට අපහසු විය. ශරීරයේ වේදනාව නිසා නිවසින් එළියට යාම ගැන හිතන්නටවත් නොහැකිය.
මට වැළදී තිබෙන්නේ ශීඝ්‍රයෙන් අන් අයට ද බෝවන භයානක කොරෝනා රෝගයයි. නිවැසියන් ද, අසල්වැසියන්ද ගැනද සිතා මා ඉක්මණින්ම නිවසින් පිටව යායුතුය. මම රෝහල් ගතවන අපේක්ෂාවෙන් රාත්‍රී 10.00 ට වැල්ලවත්ත MOH කාර්යාලය අසලට ගියෙමි.
PHI මහත්වරු මගේ නම සටහන් කර ගත් අතර ක්ලාන්තය සෑදී ඇද වැටේවිද යන සැකය ඇතිව මම පාර අයිනේ සිටගෙන සිටියෙමි. ඒ අතර තව තවත් කොරෝනා ආසාධිතයෝ එහි පැමිණියහ.
ඔවුන් පැමිණියේ ගාලු පාරේ යන සාමාන්‍ය මගී බස්වලින් හා ත්‍රීරෝද රථ වලිනි. එය සෞඛ්‍ය අංශ රෝගීන් එක්රැස් කරන සාමාන්‍ය ක්‍රමය බව මා තේරුම් ගත්තේ රෝගියා බස්සවාප් ත්‍රී විලරය ගියාට පසු PHI රෝගියාගේ නම සටහන් කරගත් නිසාය.
එම වාහනවල පැමිණි අනෙක් අයට හා දෙවනුව ඊට නගින මගීන්ට රෝගය බෝවීමේ අවදානම ගැන ඔවුන් සැලකිලිමත් වන බවක් නොපෙනිණ. ගිලන්රථ දැන් දැන් පැමිණෙනු ඇත යන අපේක්ෂාව අප හැම දෙනා තුළම විය.
රාත්‍රී 12.00 ද පසුවන තුරු ඇදුම් බෑගය උඩ වාඩිවී දණහිස් අතර හිස ගසාගෙන තද උණෙන් ගැහෙමින් මැදියම් රැයේ ගාලු පාර අයිනේ සිටින්නට සිදුවීම මහා වේදනාවක් විය.
මා මෙන්ම අනෙක් කොරෝනා රෝගීහු ද සිටියේ ඉනික්බිතිව සිදුවන්නේ කුමක්දැයි නොදැනය. සමහරු මා සිටිනවාටද වඩා අසීරු රෝගී තත්වයක සිටිනා බවද ඉතා පැහැදිලිව පෙණුනි.
අප සියල්ලෝම සිටියේ එකිනෙකාගේ තොරතුරු විමසන තරම් යහපත් මානසික තත්වයක නොවේ. මේ මරණයෙන් කෙළවර වන ගමනක ආරම්භයදැයි කම්පනය හැමදෙනා තුළම විය.
බස් රථයක් සහ යුධ හමුදා වෑන් රියක් එහි ළගාවූයේ රාත්‍රී 12.30 ට පමණය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අප එකිනෙකා ඊට නැංවූහ. අන්ධකාර බස්රිය තුළ තවත් ආසාධිතයින් පිරිසක් සිටි අතර ඔවුන් නංවාගෙන තිබුණේ කොළඹ නගරයේ විවිධ ස්ථාන වලිනි.

සත්තකින්ම එය මරබිය දනවන කාරණයක් විය

බසය තුළ රෝගීන් භාරව කිසිවකු සිටියේ නැත. ඉදිරිපස ආසනවලට යා නොහැකි වනසේ ඉටි රෙදි වලින් ආවරණය කර තිබුණි. සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුමක් ඇගලාගත් රියදුරු හුදෙකලාව රියපැදවීය.
ආසාධිතයන් 30 කගෙන් පමණ හා ඔවුන්ගේ ගමන් මලු වලින් බසය පිරී තිබුණි. රෝගීන් ගේ කතා බහ අනුව අප මඩකලපුවට ගෙන යන බව දැන ගන්නට ලැබුණි.

සත්තකින්ම එය මරබිය දනවන කාරණයක් වූයේය. කොරෝනා රෝගීන් නිව්මෝනියා තත්ත්වයට පත්වුවහොත් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය වන Ventilator, Oxygen, ICU Bed තිබෙන්නේ කොළඹ අවට රෝහල්වලය.
මඩකලපුවේ එම පහසුකම් කිසිවක් නැත. මා සිතා සිටියේ ඉක්මණින් කොළඹට ආසන්න අයි ඩී එච්, නෙවිල් ප්‍රනාන්දු හෝ වෙනත් රෝහලකට අපව ගෙනයනු ඇත කියාය.
වසර 20 කට පෙර මා කොල්ලුපිටියේ පදිංචි වූයේ වයස්ගතව රෝගී වනවිට ජාතික රෝහල ආසන්නයේ පදිංචිව සිටීමේ වැදගත්කම පිළිබඳව සලකාය. දැන් මට මාරාන්තික රෝගයක් වැළදී ඇත.
එය නොසලකා රජයේ සෞඛ්‍ය අංශ විසින් මා රටේ අනෙක් කෙළවරට රැගෙන යයි.
එය කිසිසේත්ම මා අපේක්ෂා නොකළ භයානක තත්ත්වයකි. රෝගය අසාධ්‍ය වුවහොත් මේ යන ගමන නිසා ජීවිතය කෙළවර වනු නියතය.

ලෙඩුන්ට මුත්‍රා කිරීමට ගොකරැල්ලේ කොස් කැලේ

කිලෝ මීටර 300 ක ගමනක් යා හැකි ශක්තියක් මා තුළ කොහෙත්ම නැත. ගමන ප්‍රතික්ෂේප කරන්නට හැකියාව ක්ද නැත. බසය පිටත්විය. අසාමාන්‍ය වේගයකින් ගමන් කරන්නට පටන් ගත්තේය.
අප සිටියේ දෙලොවක් අතරය. රූපවාහිනී සාකච්ඡාවල විශේෂ වෛද්‍යවරු පවසන්නේ කොවිඩ් ආසාධිතයන් වහාම රජයේ රෝහලකට හෝ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන ගොස් රැක බලාගන්නා බවය.
මේ යන ගමන එවැනි ප්‍රතිකාර මධ්‍ය ස්ථානයකින් කෙළවර වනු ඇත යන අස්වැසිල්ල සිතේ ඇතිවිය. එහෙත් මෙවැනි රෝගයකට ප්‍රතිකාර එතරම් දුර පළාතක තිබේද යන සැකය වද දුන්නේය.
රෝගීන් එහා මෙහා විසිකරමින් පිම්මේ දිවූ බසය අලුයම. 3.30 ට පමණ ගොකරැල්ලේ කොස් කැලේ නතර කළේය. ඒ ලෙඩුන්ට මුත්‍රා කිරීම සඳහාය. නින්දත් නොනින්දත්, ඇඟ රිදුමත් අතර යන්නේ කොහේද හැගීමක් නොවීය.
හබරණ කැලය පසු වුණා යන්තම් මතකය. වැලිකන්දට එනවිට නැගෙනහිර අහස අරුණාලෝකයෙන් රත් පැහැ ගැන්වී තිබුණි.
උදෑසන 7.00 කනිසමට බස් රථ ය පූනානි ප්‍රදේශයේ බැටිකලෝ කැම්පස් යන ස්ථානයට ඇතුළු විය. එහි පොළොන්නරුව රජයේ රෝහල මගින් පාලනය වන ප්‍රතිකාර මධ්‍යස්ථානයකි යන්න සදහන් පුවරුවක් විය.
කිලෝ මීටර් 300 ක් දිගු ගමන් වෙහෙස හා රැය පුරා නිදිවැරීමත්, රෝග පීඩාවත් නිසා අප සිටියේ අගුපිලක හෝ වැටී නිදන මානසික තත්වයකය.
බසයේ පැමිණි සියල්ලන්ට ගොඩනැගිල්ල ඉදිරිපිට පෝලින් ගැසෙන්නට නියම විය. වීදුරු ආවරණයක් තුළ සිටි අයෙකු නම් සටහන් කොට ගෙන 4 දෙනෙකු බැගින් කාමර වලට යන ලෙස දැන් වීය. ලැබුණු අංකය 59 විය.
මා අසලම සිටි තිදෙනා සමග මම කාමරය සොයා ගියෙමි. දෛවය යහපත් මිනිසුන් තිදෙනෙකු අතරට දමා මට කෘතවේදීත්වය පළකර තිබිණි. අපට නියමිත කාමරය පිහිටා තිබුණේ වැඩ අවසන් නොකළ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේය.

පොසිටිව් වූ මිනිසුන් ගාල් කරන කඳවුරකි

කාමරයේ ඇඳන් හතරකි. ඒ තුළම වූ Wash Room එකෙහි ආම්පන්න නළ කිසිවක් සවිකර නැත. රෝගීන් එහි මුත්‍රා කිරීම නිසා හමන දුගද දොර විවර කරත්ම නැහැය විනිවිද ගියේය. පෙර දින රාත්‍රියේ පිටව ගිය කොරෝනා රෝගියෙකුගේ ඇදකට වැටුණේ මරණය සැපතක් යයි සිතා ගෙනය.
රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ආසාධිත නම් වහාම ඉදිරිපත් වන ලෙසය. මම ඉදිරිපත් වුණෙමි. ඔවුන් නම ලියා ගත්තා මිස මගේ රෝග තත්ත්වය, වයස, අතුරු ආබාධ, බෝනොවන රෝග, අසාත්මිකතා ගැන කිසිවක් ඇසුවේ නැත. කොළඹ සිටි මා මඩකළපුවට ගෙනැවිත් දැමුවේය.
මෙය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොවේ. කොරෝනා පොසිටිව් වූ මිනිසුන් ගාල් කරන කඳවුරකි. එහි විවිධ වයස් කාණ්ඩවල රෝගීන් 1200ක් පමණ ගාල් කර සිටිති. බෙහෙත් හේත් වෙද හෙදකම් කිසිවක් නැත.
රෝහල් කාර්ය මණ්ඩලයක් සිටී. හත් අට දෙනෙකු ගෙන් සමන්විත එම පිරිසට පැවරී තිබෙනේ බන්ධනාගාරයක නිලධාරීන්ට පැවරෙන රාජකාරිය. වෛද්‍යවරු කිසිවකු නැත.
ප්‍රධාන ගේට්ටුවේ සිට පැමිණෙන සහ පිටව යන රෝගීන් සම්බන්ධ ලේඛන පවත්වා ගැනීමත්, රෝගීන් සඳහා කෑම බෙදා හැරීමත් ඔවුන්ගේ රාජකාරි යයි.
පිටතින් කෑම ගෙන්වා ගැනීම සපුරා තහනම්ය.
රෝගීන් සිටින ඉසව්වට නොයන නිසා විශාල ගොඩනැගිලි සහිත අක්කර 100 ක් පමණ වූ භූමියේ සිදුවන කිසිවක් ඔවුන් නොදකිති. කදවුරේ උණු වතුර තබා බීමට ඇල් වතුරවත් ප්‍රමාණවත් පරිදි නැත.
මීටර් 100 ක් පමණ දුරින් පිහිටි ටකරන් ආවරණය කළ වැසිකිළි පේළිය සියල්ලන් පාවිච්චියට ගතයුතු ය. එයින් ද වැඩි ප්‍රමාණයක් පාවිච්චි කළ නොහැක. ඒවා අමු අපායකි. ගලි උතුරා අසූචි දොරේ ගලයි. බොහෝ විට ජලය නැත.

හිට්ලර් ගේ අවුෂ්විට්ස් වද කදවුර සිහිගන්වන පූනානි කදවුර

පූනානි කදවුර හිට්ලර් ගේ අවුෂ්විට්ස් වද කදවුර සිහිගන්වයි. අප මුහුණ දුන්නේ 20වන සියවස මුල අපේ රටේ වසූරිය රෝගීන් කැලේ ගැසුවා වැනි ඉරණමකටය. සුව වුවහොත් දින 14 කින් නැවත ගෙදර යා හැකිය. සුව නොවුණොත් වැලිකන්දේ ගෑස් උදුනේ පිහිටය.
දිවා කල පූනානි මහපොළොව ගිනි ගෙන දැවේ. බැලු බැලූ අත කොරෝනා ලෙඩ්ඩුය. තාප්ප මත වාඩිවී ආතක් පාතක් නැතිව බලා සිටින ඇතමෙකුගේ පපුවේ රූං රූං හඬ අවට සිටින්නන්ට ද ඇසේ.
උණුසුම දරාගත නොහැකි සමහරු වතුර එන වෙලාවට කරාමවලට ඔළුව අල්ලා නා ගනිති. උපදෙස් දෙන්නට කිසිවකු නැත. කෑම දෙන බව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැන් වූ විට කාර්යාලයට ගොස් කෑම රැගෙන එන්නේ ද ලෙඩුන්මය.

වයසක මිනිසුන් නගන විලාප හඩ රැය පුරාවට

දකින විටත් පිරිය නැතිව යන පූනානි බත්මුල මතක් වන විටත් සසර ගමන කෙටි වේ. අප කදවුරට ගෙනැවිත් දින දෙකකට පසු දැන් වූයේ රෝගීන් බැලීම සදහා පොළොන්නරුවෙන් වෛද්‍යවරයෙකු පැමිණ සිටින බවය.
කාමරයේ සිටි අප සිව් දෙනාගෙන් වයස්ගතම තැනැත්තා මා වූයේය. අපි සිව් දෙනාම වෛද්‍ය වරයා හමුවීමට ගියෙමු. අපද ඇතූළුව කොරෝනා රෝගීන් හාර පන්සියයක පෝලිමක් එහි විය.
පෙරවරු 10.00 ට පෝලිමට එක්වූ අපට වෛද්‍ය වරයා හමුවූයේ පස්වරු 3.30 ටය. ඒත් මිනිත්තුවකට පමණි. මගේ අමාරුවලට සවන් දුන් ඔහු විටමින් සී පෙති 20 ක් දූන්නේය. එදින දිවා ආහාරය ද නොලැබුණි.
වසංගතයට රට ගොදුරු වූ තැන් සිට දිනපතා සිදුකළ දුම් ඇල්ලීම සහ කොත්තමල්ලි පානය ඇනහිටියේය. ලෙඩක් දුකක් කියන්නට කිසිවකු නැත. කදවුරු පාලනය භාර අය කාර්යාලයෙන් පිටතට එන්නේ නැත.
ඇසු දුටු මානයේ සිටින්නේ රෝගීන්ය. ඇතැම් වයසක මිනිසුන් නගන විලාප හඩ රැය මුළුල්ලේම ඇසේ. අසරණව හිතුමතේ ඇතුළු පාරවල් ඇවිද යන්නෝ රෑ දවල් දෙකේම දක්නට ලැබේ.
ආණ්ඩුව කියන්නේ කොවිඩ් රෝගය දින කීපයකින් නිව්මෝනියාව ට හැරෙන බවය. ඒ නිසා රෝගීන් වෛද්‍ය අධීක්ෂණයේ සිටිය යුතු බවය. ඒ නිසා ම අතර මැද ප්‍රතිකාර මධ්‍යස්ථානයක තබා රැකබලා ගන්නා බවය.
විශේෂඥ වෛද්‍යවරුන් මාධ්‍යයට කියනදේ සහ මහපොළොවේ යථාර්ථය අහසට පොළොව මෙනි. සෑම දිනකම උදෑසන ආසාධිතයන් රැගත් බස්රථ කොළඹ සිට පූනානි කඳවුරට පැමිණේ.
ඔවුන් අතර ඉන්දියානු, පිලිපින්, අප්‍රිකානු, ජාතීන්ද සිටිති. කොරෝනා ප්‍රභේද සියල්ලම පාහේ මෙහි තිබෙනවාට සැකනැත. පන්ති භේදයක් නැත. සමාජයේ විවිධ තරාතිරම්වල උදවිය මරණය අබියස දුක බෙදා ගනිති.
දින හතරක් ගතවූ පසු මගේ තත්ත්වය අයහපත් විය. රැය මුළුල්ලේම කැස්සත් පපුවේ වේදනාවත් නිසා මට නින්දක් නොවීය. මරණය භාර ගැනීමට හිත සකස් වෙමින් තිබේ.
අපේ කාමරයේ සුසන්ත මල්ලී ප්‍රධාන ගේට්ටුවේ මධ්‍යස්ථානය වෙත මා කැටුව ගියේය. ඇයි? මොකද අද ඩොක්ට එන්නෙ නෑ මෙතන ඉන්න එපා. අපට ලැබුණු පිළිතුර විය.
රෝගීන් මරු පැරදවිය යුත්තේ ස්වශක්තියෙනි. රෝගියකුට අසාධ්‍ය බව කිහිපවරක් දැන්වුවහොත් ඔහු රැගෙන යාමට එන්නේ දවස පුරා කඳවුරේ කසල අදින ට්‍රැක්ටරය යි. ලෙඩා එහි තට්ටුවට නැගිය යුතුය.
59 කාමරයට මා සමග වැටුණු කිරිබත්ගොඩ සුසන්ත, දෙනියාය වරල්ලේ ලලිත්, බිබිලේ බින්දු, මල්ලිලා ඉටු දෙවිවරු වූහ. ඔවුන් හමුවීම දෛවෝපගත සිදුවීමකි.
ඔව්හු කොරෝනාව තඹයකට මායිම් නොකර සියල්ලන්ටම උදව් කරමින් මනුෂ්‍යත්වයෙන් ක්‍රියා කළහ. එවැනි සැබෑ මිනිසුන් නිසා බොහෝ අයගේ දිවි රැකුනි.
අප මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නය. සෞඛ්‍ය අංශ රෝගීන්ගේ ශාරීරික තත්ත්වයන් ගැන කිසිදු සොයා බැලීමක් නොකොට බසයට පැටවීමයි. මාරාන්තික රෝගයකින් පෙළෙන්නවුන් සෞඛ්‍ය පහසුකම් නැති මෙතරම් දුරක ගාල් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොපෙනේ.
දේශපාලන සබදතා ඇති පුද්ගලික බස් හිමියන්ට හයර් ලබා දෙනු පිණිස මඩකළපුව, මන්නාරම යාපනය වැනි ඉතා දුර බැහැර පළාත් වලට ලෙඩුන් ප්‍රවාහනය කරන බව සමහරු කියති.
ජීවිතයේ පළමු වතාවට කොරෝනා රෝගීන්ගේ ක්‍රිකට් තරගයක් දුටුවේ පූනානි කදවුරේ දීය. තරුණ රෝගීහු සන්ධ්‍යා කාලයේ ක්‍රිකට් ගැසූහ. රෝගය සුව වුවත් නැතත් දින 10 න් ආපසු යාහැකිය.
එහෙත් නිවසට ගොස් තවත් දින 4 ක් නිරෝධායනය විය යුතුය. දින 14 ම වද කඳවුරේ ගෙවා යන්නට සුසන්තත් මමත් තීරණය කළෙමු. ලෙඩුන් රැගෙන කොළඹින් පැමිණි බස් රථයක අපි ආපසු ආවෙමු. අප හැරුණු විට එහි සිටි 38 දෙනාම දින 10 සපුරා නැවත දින 04 ක් සඳහා නිරෝධායනය වෙනුවෙන් නිවෙස්වලට යන පිරිස්ය.

රෝගී පිරිසද සෙසු මගීන් සමග නයිට් කඩේ ආහාර ගත්තා 

හමුදා ආරක්ෂාව යටතේ කොළඹ එමින් තිබූ බසය වේවැල්දෙනියේදී සාමාන්‍ය මගී බස්රථ නවත්වන හෝටලයක නවත්වන ලදී. අප සමඟ පැමිණි රෝගී පිරිසද සෙසු මගීන් සමග රාත්‍රී ආහාර ගත්හ.
රියදුරු මහතා ඔහු හැඳ සිටි සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම ගලවා ශීට් එක අස්සේ ගසා හෝටලය තුළට ගියේය. බසයේ පැමිණියේ කොරෝනා රෝගීන් බව කිසිවකු දැනසිටියේ නැත.
මරණය වූකලී ඉතා අසීරුවෙන් දිනාගත් යුතු ධර්මතාවකි. දින 14 ක් ඇවෑමෙන් නැවත දිවි ගලවා ගෙන නිවසට පැමිණෙන්නට හැකි වූයේ නූතන වෛද්‍යවිද්‍යාවේ පිහිටෙන් හෝ අප මහත් ගෞරවයෙන් සලකන නිදහස් සෞඛ්‍ය සේවයේ පිහිටෙන් නොවේ.
නිදහස් සෞඛ්‍ය සේවාව ඇති හැකි අය කොළඹ අවට රෝහල්වල රඳවා, නැති බැරි අය රටේ අනෙක් කෙළවරේ ගාල්වලට දක්කති.
බලවතුන් සමග සම්බන්ධකම් නැත්තෝ සෞඛ්‍ය නිරෝධායන නීති වලට අවනතව රැකෙම්වා මියෙම්වා කියා ආණ්ඩුවේ බලධාරීන් යොමු කරන ඉසව්වකට යායුතුය.
ඇතැම් ප්‍රතිකාර මධ්‍යස්ථානවල තත්ත්වය මීට වඩා වෙනස් බව සමහරු පවසති. එය එසේ වන්නට පුළුවන. මෙහි සඳහන් කළේ අප විදි සත්‍ය අත්දැකීමය.
කොරෝනා වසංගතයට ගොදුරු වූ මම කිලෝ මීටර් 600ක දුෂ්කර ගමනක් නිමාකොට දින 14 කට පසු නිවසට ආවෙමි. මා විදි කටුක වේදනාකාරී අත්දැකීම කිසිවකුට විදීමට සිදු නොවේවා යැයි මම පතමි.
අකල් මරණයක ගොදුරක් නොවන්නට වයිරසයෙන් හැකිතාක් පරෙස්සම් වන ලෙස මම ඔබෙන් ඉල්ලමි. මේ දිනවල දිනකට 50 බැගින් මිය යන්නේ මෙසේ දහ අතේ වද දෙන ලෙඩ්ඩු විය හැකිය.
පසුගිය පරම්පරාව ආදරයෙන් රැකගත් නිදහස් සෞඛ්‍ය සේවාව හෝ අනෙකුත් රාජ්‍ය සංස්ථා මේ මොහොතේ ඔබේ හෝ ඔබේ පවුලේ ආරක්ෂාව උදෙසා පෙනී සිටිනු ඇතැයි විශ්වාස නොකරන්න.
ඔබේත් පවුලේ සාමාජිකයන්ගේත් රැකවරණය ඔබ අත බව සිතා පරෙස්සමෙන් කටයුතු කරන්න.
– උදේනි සමන් කුමාර.(fb) 

(AP Photo)

Leave A Reply

Your email address will not be published.

two × 5 =