පුරවැසියන් දණගැස්වූ හමුදා සෙබළුන් ඉවත් කරයි !

මඩකලපුව, එරාවූර් ප්‍රදේශයේ වැසියන් පිරිසකට හිරිහැර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ යුද හමුදා සෙබළුන් පිරිසක් ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාව පවසයි.

සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ව මහ මාර්ගය අයිනේ දණ ගස්වා ඉහළට අත් ඔසවා සිටින ලෙස මෙම හමුදා භට පිරිස් නියෝග කර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යජාලවල ඉතා වේගයෙන් හුවමාරුවී තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව අද (20) සඳහන් කර සිටියේ සිදුවීමට සම්බන්ධ හමුදා සාමාජිකයන්ව ඉවත් කිරීමට පියවර ගත් බවයි. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නියෝගයක් මත බව එහි වැඩිදුරටත් දැක්විණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් යුද හමුදා පොලිසිය විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද හමුදාව පවසයි.

සම්පූර්ණ විමර්ශන අවසන් වූ පසු සියලුම හමුදා නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද යුද හමුදාව පවසයි.

Leave A Reply

Your email address will not be published.

four × three =