මා සිත තදින් පැහැර ගත් ‘චේ ගුවේරා බොලීවියානු දිනපොත’ හා ‘මගේ පිකාසෝ’ පරිවර්තිකාව යන්නම ගිහිං

මාලනී ගෝවින්නගේ මිතුරිය අද දින ඇගේ ජීවන චාරිකාව නිම කළ පුවත මහට දැන්වූයේ ඈ සමග ලේක් හවුසියේ එකට සේවය කළ තිලකරත්න කුරුවිට බණඩාර මිතුරා ය.ඈ සිලෝන් ඩේලි නිව්ස් හා සිළුමිණ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනියක ලෙස සේවය කොට විශ්‍රාම ගියාය. ඉංග්‍රීසි විෂය තම ගෞරව උපාධිය සඳහා තෝරාගත් මාලනී විද්‍යාංලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.
පුවත්පත් කලාවේදිනියක ලෙස හා සාහිත්‍ය ක්ෂෙත්‍රයේ පරිවර්තිකාවක හා විචාරිකාවක ලෙස ද දීර්ඝ කාලීන අත්දැකීම් හා නිර්මාණ සම්ප්‍රදානයකට හිමිකම් සතු මාලිනී විසින් සිංහල පාඨකයනට දායාද කොට ඇති පරිවර්තන ග්‍රන්ථ රැසකි.ෆොන්ටමාරා ( ඉග්නාට්සියෝ සිලෝනෙ ) තැනිතලාවේ දේවතාවිය ( The First Lady EVA Peron by John Barnes) අර්නෙස්ටෝ චේ ගුවේරා, මෝටර් බයිසිකල් දිනපොත, බොලීවියානු දිනපොත, මා හද සඟවන් (Burry my Heart at Wounded Knee) මගේ පිකාසෝ (Life with Piccaso ) හා තවත් පරිවර්තන හා අනුවර්තන රැසක් මාලනීගේ කෘති අතර කැපී පෙනේ. මගේ පිකාසෝ හා චේ ගුවේරා බොලීවියානු දිනපොත මා සිත තදින් පැහර ගත් පරිවර්තන කෘති වේ.
දිගු කාලයක් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩල සාමාජිකාවක ලෙස ද අප සමග අසුන් ගත් ඈ අශෝක හඳගමගේ අක්ෂරය චිත්‍රපටයට එදවස සංස්කෘතික කැලෑ පොලීසිය විසින් දඬුවම් දී අධිකරණයට ගිය මොහොතේ ගාමිණී සුමනසේකර හා අප සමග තනතුරු අත්හැර ඊට විරෝධය පාන්නට ඉදිරිපත් වූ අවස්ථාව මේ මොහොතේ මගේ මතකයට නැගේ.අසාධාරණයට එරෙහි ඇගේ සටන්කාමිත්වය ක්‍රියාවෙන් පෙන්වන්නට ඈ කිසි විටෙක පසුබට නොවූවාය.
පසුගිය වසර තුන හතර තුළ පිළිකා රෝගයෙන් බැට කමින් වුව තම ලේඛන කටයුතු අත් නොහළාය.පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාරය (Chemotherapy) ප්‍රතික්ෂේප කරමින් ඈ මා සමග කියා සිටියේ ඔය තෙරපිය කළා කියල මට සුවවෙන්නෙ නෑ, ඕනනම් තව ටික කාලයක් මම ජීවත් වේවි, ඒ ටිකට ඔය ප්‍රතිකාර අරගෙන දුක් විඳින්නෙ මොකටද කියායි.ඒ ඈ සිතූ පැතූ ආකාරයයි. ගිලන්ව සිටි සමයේ දී සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ හා පිරිසක් ඇගේ සුවදුක් විමසමින් ඈ බලන්නට ඇගේ නිවසට පවා ගියාය. අන් අයුරින් ද ඇයට උපකාර කළාය.කොළඹ ජීවත් වූ ඇගේ හුදකලා ජීවිතයට සමු දී කලකට පෙර ඈ තම පවුලේ ඥාතීන් වෙතට ගියාය. ඈ දිවි සැරිය නිමකරන්නී ඇගේ උපන් ගම, උපන් නිවසේදී ය.
නොසිතූ මොහොතක කළ යුතු බොහෝ දේ ඉතිරිකොට ඈ යන්නට ගොසිනි.
සුවබර ගමනක් වේවා මාලනී හදට ළං ව සිටි ළෙන්ගතු මිතුරිය.
– බුද්ධදාස ගලප්පත්ති

Leave A Reply

Your email address will not be published.

five × 3 =