නදී රඟන සිඩ්නි චෙරි උයන

රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර රංගනයෙන් දායකවු බෙල්වා (Belvoir St Theatre) නාට්‍ය සමාගමේ The Cherry Orchard නිෂ්පාදන කෘතිය ගැන සටහනක්.
මීට පෙරද මෙම නාට්‍ය සමාගම විසින්ම නිෂ්පාදනය කරපු Counting and Cracking නම් නාට්‍යයේ නදී රඟපාන විට මම ඒ ගැන ලියූ හදිසි සටහන මූලික වශයෙන් වෙන්කර තිබුණේ නදීගේ හැකියාව ගැන කතා කොට ඇයට සුබ පැතීමටයි. කෙසේ හෝ මේ සටහන එවැන්නක් හෝ මෙම චෙරි උයන නාට්‍ය පිළිබඳ විචාරයක්වත් නොව, ශ්‍රී ලාංකික රංග ශිල්පිනියක ලෙස නදී එහි රඟපෑම නිසා ශ්‍රී ලාංකික රසිකයින් ඒ පිළිබඳව උනන්දු වූ බැවින් මෙය නදී සමග එම රංග ව්‍යාපෘතිය හඳුනා ගැනීමට ගත් යම් උත්සාහයක් ලෙස සලකන්න.
බෙල්වා, සිඩ්නි නගරයේ පදනම් වෙලා තියෙන නිරන්තරයෙන් වෘත්තීය මට්ටමෙන් නාට්‍ය නිෂ්පාදනය කර රඟ දක්වන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නාට්‍ය සමාගමක්. එය අපි බොහෝ කාලෙක ඉඳන් නිතර නාට්‍ය නරඹන අපට,අප වැනි වැනි විකල්ප නාට්‍ය කණ්ඩායම් වලට විශේෂ සහයෝගයක් ලබාදෙන විවිධ වර්ගයේ නාට්‍ය නිෂ්පාදනය කරන සහ ගෙන්වා පෙන්වන කාර්යබහුල නාට්‍ය සමාගමක් විදිහට හඳුන්වන්න පුළුවන්.
පසුගිය කාලයේ ලෝක නාට්‍ය කලාවේ වඩාත් කැපී පෙනුණු ප්‍රවණතාවයක් තමයි පැරණි නාට්‍ය පිටපත් වලට නව අර්ථකථන ලබාදීම. එවැනි අර්ථකථන වලදී මුළු පිටපතම නැවත රචනය කිරීමේ සිට විවිධාකාර සංස්කරණ සහ වෙනස් කිරීම් වලට ලක්කරනවා. මෑත සහ සමකාලීන බොහෝ නාට්‍ය රචකයින් ,උදා සැමුවෙල් බෙකට් එඩ්වඩ් ඇල්බී වැන්නන්, නාට්‍ය පිටපත් එසේ වෙනස් කිරීම්වලට ලක් කිරීමට නීත්‍යානුකූල අවසරය ලබා නොදෙන බැවින් සාමාන්‍යයෙන් බොහෝ විට මෙවැනි අර්ථකථන වලට ලක්වන්නේ එම අවසරය ගැනීමට අවශ්‍යනැති වඩා පැරණි නාට්‍ය පිටපත්. අප කතා කරන මෙම චෙරි උයන නිෂ්පාදනය සඳහා පාදක වන්නේ ලෝක නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන ඇන්ටන් චෙකෝෆ්ගේ අවසාන නාට්‍යය වන සුප්‍රකට The Cherry Orchard ( චෙරි උයන) නම් 1904 දී මුලින්ම රුසියානු බසින් ලියවී රංගගතවූ සම්භාවනීය නාට්‍යයයි. එය අනුවර්තනය කර අධ්‍යක්ෂණය කළේ ඒමොන් ෆ්ලැක්( Eamon Flack) විසින්.
මෙම නාට්‍ය ඇසුරුකර ඇති ඕනෑම රසිකයෙක් දන්නා පරිදි චෙකෝෆ්ගේ මුල් නාට්‍යයට පසුබිම වී තිබුණේ රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවය එළිපත්තේ සිදුවෙමින් පැවතුනු පැරණි සම්ප්‍රදායික වැඩවසම් දේපොල සම්බන්ධතා බිඳ වැටෙමින් නව ධනපති – වාණිජවාදී සමාජ ක්‍රමය බිහිවීමයි. මෙම තීරණාත්මක සහ නොවැළැක්විය හැකි දේශපාලන පරිවර්තනය ගැන කිසිදු අදහසකින් තොරව තමන්ව නඩත්තු කළ දැවැන්ත දේපළ උරුමය වූ විශාල චෙරිවත්ත වෙන්දේසි වීමට නියමිත මොහොතක සුපුරුදු සම්ප්‍රදායික වගකීම් විරහිත හරසුන් ජීවන රටාවම පවත්වාගනිමින් අමනෝඥ ලෙස හැසිරෙන ලූබෝෆ් රැන්වෙස්කයා (Lyubov Ranevskaya) ආර්යාව මුල්කරගත් ප්‍රභූ පවුලක් වටා චෙකෝෆ් තම කතාව ඉතා ශූර ලෙස නාට්‍යයක් ලෙසට ගොතා තිබුණා. අවසානයේ එම චෙරිවත්ත එහිම ප්‍රවේණිදාස ගොවියෙකුගේ පුතෙකු වු වඩා වාණිජවාදී දැක්මක් ඇති යෙර්මලායි ලොපාකින්ට (Yermolay Lopakhin) හිමි වෙනවා. බෙල්වා නිෂ්පාදනයේ දී මෙය අර්ථකථනයට ලක් කරන ආකාරය අතිශයින් රසවත්. එනම්, අද වර්තමාන මිනිසා ද ඉදිරියේ එන මහා විනාශය ගැන කිසිදු අදහසකින් හෝ වගකීමකින් තොරව මේ මොහොතේ ස්වභාවික පරිසරයේ සිට සමාජ පරිසරය දක්වා කා දමමින් ගෙවන පරිභෝජනවාදී සමාජයේ ඛේදවාචක ලෙසටයි. මුල් කතාවේ තිබුණු වැඩවසම් සාම්ප්‍රදායික සම්බන්ධතා වෙනුවට මෙම කෘතියේදී වර්ගවාදය,ලිංගවාදය, නව පංති වාදය, පරිභෝජනවාදයේ මෙම කාර්තුවේ හරසුන් මිනිස් සම්බන්ධතාවල ඛේදවාචකය මතු කරන්න උත්සාහ කරල තියෙනවා. කතාව සිදුවෙන සන්දර්භය විදිහට ගොඩනඟන්නේ චෙකෝෆ්ගේ මුල් පිටපතේ තිබුණු සමාජ පරිසරයේ ඉඳන් වර්තමාන පරිසරය දක්වා කාලපරාසය තුළ ඇති කිසියම් අපැහැදිලි ගෝලීය අවකාශයක්. ඒ කාලාවකාශය තුළ ඇති ඇදුම් සම්ප්‍රදායන් වල සිට සංගීතය සහ භාෂාව ආදිය දක්වා ඕනෑම අමුද්‍රව්‍යයක් නාට්‍යකරුවා තම අර්ථයට කැමති පරිදි යොදා ගන්නට කැමති වෙලා තියෙනවා. එක් පැත්තකින් මුල් පිටපතේ නම්ගම් සහ සංවාද එයාකාරයෙන්ම තියන අතර ඒ සමගම අලුත් සංවාදද තියනවා.උදා මුල් කෘතියේ ලොපාකින් ප්‍රභූ පවුලේ මිනිසුන්ව විවේචනය කරන තැනක් මෙම නිෂ්පාදනයේ දී කලු ජාතික නළුවෙකු ලවා කියවන්නේ ‘පරණ සුද්දො එක්ක වැඩ කරන එකනම් හරිම අමාරුයි’ ලෙසටයි. එවිට එය වර්තමාන ඔස්ට්‍රේලියානු සන්දර්භය තුළ ඇතිකරන උත්ප්‍රාසාත්මක දේශපාලන අර්ථය ඔබට හිතාගන්න පුළුවන්. එම ගෝලීය සන්දර්භයට අනුව චරිත සඳහා තෝරාගෙන තියෙන්නෙ ලෝකය පුරාම විවිධ ජාතීන් නියෝජනා වෙන ලෙස ගත් රංග ශිල්පීන් කණ්ඩායමක්.( Multicultural cast) ඒ ඒ චරිතය සමග නළුවා ගේ ජාතික පසුබිමට උදාහරණයක් දෙනවානම් රැනව්ස්කයා : කැනේඩියානු, පෙට්යා: ලෙබනන්, ෂාර්ලටා: ඉතාලි, අන්යා : දකුණු අප්‍රිකානු, ලොපාකින්: දකුණු සුඩාන්, යාෂා : චීන, දුන්යාෂා ,පියර්ස්,සයිමන් සහ ගයේව් ඔස්ට්‍රේලියානු, වර්යා : ශ්‍රී ලාංකික. මීට අමතරව නාට්‍යයට දායක වූ පසු වේදිකාවේ සමහර ශිල්පීන්ද විවිධ ජාතීන් නියෝජනය කරන්නන් නමුත් අවශ්‍යයෙන්ම එය තේමාවට සම්බන්ධයක් නෑ.
නාට්‍ය රංග ගත කරන්නේ තුන්පැත්තකින් පමණ ප්‍රේක්ෂකයින් සමීපව හිඳ නරඹන නාට්‍යයෙන් නාට්‍යයට වෙනස් කළ හැකි සමකාලීන නම්‍යශීලී රංග අවකාශයක (Flexble Theatre Space). සාමාන්‍යයෙන් එම රංග ශාලාවේ මූලික හැඩයද ඒකයි. මුල් කෘතියෙන් ඉල්ලා සිටින පැරණි සම්ප්‍රදායේ විශාල බිත්ති දැවැන්ත ගෘහ උපකරණ කිසිවක් නැති එය තරමක නිදහස් රංග ආකෘතියකින් සමහරවිට බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ රංග උපකරණ භාවිතය අපිට මතක් කරනවා.
චෙකෝෆ්ගේ චෙරි උයන මෙන්ම තවත් විවිධ පැරණි නාට්‍ය පිටපත් සමකාලීන අර්ථයෙන් මේ විදියට අනුවර්තනය කරපු මම දැක ඇති බොහෝ නිර්මාණ හා සසඳනවිට මෙය දේශපාලනික කලාත්මක සහ නාටකීය යන බොහෝ අර්ථවලින් සාර්ථක වු අනුවර්ථනයක් කියා කියන්න පුළුවන්. මම ප්‍රේක්ෂකයෙකු ලෙස වඩා අඩුවෙන් සෑහිමකට පත් වුණු දෙයක් ඇත්නම්, සමහර විචාරකයින් ද නිවැරදිව පෙන්වා දී තිබුණු පරිදි, නදී ද ඇතුළු එහි සිටි දක්ෂ නළු නිළියන්ගේ රංගනය උපරිමය ගැනීමට එය සමත් වුණා ද යන කාරණයයි. සමහර අවස්ථාවල නළු නිළියන් නිශ්චිත රංග ශෛලියක් නැතුව අතරමං වෙච්ච ලක්ෂණයක් පෙනුනා. ඒ වගේම මුල් කෘතිය ගත්තත් මෙම අනුවර්තන පිටපත ගත්තත් එහි තිබුණු ප්‍රබල මානුෂික සංවේදී අවස්ථාවන් එහි ඇති ප්‍රසාංගික ක්‍රියාකාරකම්වලින් යට ගිය බවක් පෙනුනා.
මෙතැනදී ඕස්ට්‍රේලියානු නාට්‍ය කලාවේ එක්තරා ප්‍රවණතාවයක් ද අපට මතක් වෙනවා. විශේෂයෙන් පසුගිය අවුරුදු 10 ක වැනි කාලය තුළ වඩා ශීඝ්‍රයෙන් මතුවුණු මේ වෙනකොට තරමක පොදු තත්ත්වයක් විදිහට දකින්නට ඇති මේ ප්‍රවණතාවයේ නම් නාට්‍ය නිෂ්පාදනවල මෙන්ම නාට්‍ය සමාගම් වල වැඩ කරන අධ්‍යක්ෂකවරු ඇතුළු කාර්ය මණ්ඩලය ද සුදු ජාතිකයින්ට පමණක් සීමා නොවී තිබීම. මගේ අදහස නම් මෙය විවිධ ජාතීන්ගේ ජනගහණය වැඩිවීමට අනූව සිදුවුනු දෙයකට වඩා නාට්‍ය සමාගම් වඩා දේශපාලනික අර්ථයෙන් සබුද්ධිකව ක්‍රියාත්මක කරපු තත්වයක් බවයි. ඔවුන් බොහෝ විට පවතින අධිපතිවාදී, වර්ගවාදී ලිංගවාදී සහ පන්තිවාදී ආකල්ප වලට එරෙහිව හැකි හැම විටම ක්‍රියාත්මක වන ලක්ෂණයක් පෙන්නුම් කරනවා. නාට්‍ය වළට තෝරාගන්නා තේමාවන් වල ද වැඩි වැඩියෙන් එම ලක්ෂණය දැන් පෙනෙනවා. ඒ වගේම විවිධ ජාතීන්ගේ නාට්‍ය සහ කලා ව්‍යාපෘතිවලට එවන් තේමාවන් වලට විශේෂයෙන් මූල්‍යමය අනුග්‍රහය දක්වන සංවිධාන සහ ව්‍යාපාර පවා අලුතින් මතු වෙලා තියෙනවා.
මීට අමතරව සුදු ජාතික නළුවන් අන්‍ය ජාතික චරිත නිරූපණය කිරීම සම්බන්ධයෙන් දැනට දශක කීපයකට උඩදී ඕස්ට්‍රේලියානු රංග කලා ක්ෂේත්‍රයේ එක්තරා ආන්දෝලනයක් ඇතිවුණා. ඒ තමයි සුදු ජාතිකයින් නොවන අනිකුත් අප්‍රිකානු ආසියානු ආදී කළු ජාතිකයින් චරිත ලෙස සුදු ජාතික නිෂ්පාදන වල ඉන්න විට එම චරිත සඳහා සුදු ජාතික නළුවන්ම ‘කෘතිමව’ පාට කරලා කතා හුරුව වෙනස් කරලා ගැනීම සම්බන්ධයෙන්. එවිට ඒ අන්‍ය ජාතිකයින්ගේ නියම ස්වභාවය යම් විකෘතියකට ලක් කරලා වැරදි විදියට හඳුන්වාදීමක් සිද්ධ වෙනවා කියලා කිව්වා. බොහෝ අය එහි ඇති දේශපාලනික අගතිය සහ සදාචාරාත්මක ප්‍රශ්නය මතු කිරීමත් සමග ඒ විදිහට වෙනත් ජාතිකයෙක් සුදු ජාතිකයින් විසින් ‘ඔඩ්’ විදහට ඉදිරිපත් කිරීම නැවතුනා. මෙම කාරණයට න්‍යායික පදනම ශාස්ත්‍රාලීය පසුබිමකින් එන අතර මගේ අදහස නම් ඊට බොහෝ විට හේතු වුණේ අසූ ගණන්වල අවසාන භාගයේ ඕස්ට්‍රේලියාවේ උණුසුම් කතිකාවක් ඇති කළ Cultural Appropriation( සංස්කෘතික යොදාගැන්ම) පිළිබඳ අදහසයි. ඉන් කියන්නේ වෙනත් සංස්කෘතියකට හෝ ජාතියකට උරුම දේවල් අන්‍ය ජාතීන්, මෙම සන්දර්භයේ දී බලයලත් සුදු ජාතීන්, මුල් සන්දර්භයෙන් ඉවත් කර තමන්ට ඇවැසි පරිදි අර්ථකථනය කිරීමේ දී හා භාවිතා කිරීමේදී ඇතිවන දේශපාලන අගතිය සහ සදාචාරමය අර්බුදයයි. කෙසේ හෝ,මීට තවත් බලපාපු හේතුවක් වුණේ ප්‍රේක්ෂකයින් වඩ වඩා සමාජය සංස්කෘතිය ගැන අත්දැකීම් ඇති අය බවට පත්වෙනකොට රංගෙද වඩා සියුම් ළඟ ඉදන් නරඹන දෙයක් බවට පත්වෙනකොට කෘතිමව හදපු සුදු ජාතිකයෙක් කියන එක ඔවුන්ට හඳුනගන්න පුළුවන් වීම රසවින්දනයට බාධා වීමයි. දැන් ඕස්ට්‍රේලියානු වේදිකාවේ කිසියම් ශ්‍රී ලාංකිකයෙක් අප්‍රිකානුවෙක් චරිතයකට අවශ්‍ය නම් ඒ සඳහා ඒ නියමිත ජාතියෙන්ම කෙනෙක් ගැනීමයි කරන්නේ.
නදී වැනි ශ්‍රී ලංකික නිළියක් මෙවැනි ජාත්‍යන්තර රංග ව්‍යාපෘතියක නිළියක් ලෙස වැඩ කිරීම මම යම් ආඩම්බරකාරී පුද්ගලික හෝ ‘අපේ’ කියන සතුටකට වඩා එහා ගිය දේශපාලන අර්ථයකින් දකින්න කැමතියි. ඇතේන්ම නදී මගේ නාට්‍ය ව්‍යාපෘතිවල ඉන්න කෙනෙක් වගේම සමීප මිතුරියක් වීම කියන කිසිදු කාරණයක් මට මේ සටහන ලියන්නටවත් අදාළ නැහැ. මෙවැනි වැඩවල අප ඊට එහා ගිය අර්ථය හඳුනා ගත යුතුයි. අපගේ පශ්චාත් යටත්විජිත වාදී ජාතිකවාදී දූපත්වාදී දේශපාලන ව්‍යාපෘතිය තුළ අපි විශ්ව නාට්‍ය කලාවෙන් අපේ නාට්‍ය කලාවට දේවල් ගත්ත තරමට පෙරළා අපි විශ්ව නාට්‍ය කලාවට එතරම් දෙයක් දායක කරගත් නැතිවීම නිසා එක පැත්තකින් මෙවැනි අවස්ථාවන් ඒ අර්ථයෙන් අතිශය වැදගත්. අනික් බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගත් කල සමහර විට නාට්‍ය සහ කලාව විය යුතුයි අපි අඩුවෙන් විශ්ව නාට්‍ය කලාවට දායක වෙලා ඇති ක්ෂේත්‍රය. ඒ වගේම ඕනම කලාවක් මෙන් නාට්‍ය කලාව ද දියුණු වන්නේ එය විවිධාකාර ප්‍රවණතා භාවිතාවන් දහරාවන් හා සම්බන්ධවී සංකීර්ණ වේ පුළුල් වන විටයි. ඕනෑම ක්ෂේත්‍රයක ‘දූපත් අගතිය’ ක්‍රියාත්මක වෙන්නට ඉඩ ඇත්තේ ඒ ක්ෂේත්‍රය ලෝකයේ විවිධාකාර ප්‍රවණතාවයන්ට විනිශ්චයන්ට සහ හරයන්ට, ආභාෂයන්ට සහ අභියෝග වලට මුහුණ දීමට අවස්ථාව අඩුවෙන තරමටයි. ඒ වගේම නදී වැනි දක්ෂයින් ජාත්‍යන්තර වේදිකාව තුළ හඳුනා ගැනීමත් සමඟ එවැනි තවත් දක්ෂයෙන් අපට සිටින බවත් අවශ්‍ය නම් ඔවුන්වත් සොයා ඔබට පැමිණිය හැකි බවත් යන පණිවිඩය ද මේ සමග ජාත්‍යන්තර වේදිකාවට යනවා.
ඔස්ට්‍රේලියාව වගේ රටක නාට්‍ය කලාව ගත්තත් සමාජය ගත්තත් ඔවුන්ගේ දියුණුව පිටුපස ඇති එක වැදගත් දෙයක් නම් සියලුම දෙනාගේ යහපත ගැන කල්පනා කරපු දියුණු පොදු ක්‍රමයක් නිර්මාණය කරගෙන එයින් පුද්ගලික ලාභය ලැබීමට සැලැස්වීමයි. ශ්‍රී ලංකාවේ ගතහොත් අපට පෙනෙන්නේ එවැනි පොදු ක්‍රමයක් වර්ධනය කරගන්නැතුව පුද්ගලික ලාභය ගැනීමට යෑමයි. අපගේ ඇතිවීම හෝ නැතිවීම යනු පුද්ගලයායි, අපට දියුණු ක්ෂේත්‍රයක් හෝ සමාජයක් නෑ. එතකොට අපි මෙවන්නක් දකින්නේ දකින්නේ පුද්ගල ජය පරාජයන් පිලිබද කතාවක් විදිහට පමණයි. ඊට එරෙහිව,නදී ඉන්න ව්‍යාපෘතියද අප දැකිය යුත්තේ පොදු යහපතට ක්ෂේත්‍රයට ඇති වැදගත්කම හරහායි.
අවසානයේ විය යුත්තේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල විවිධ ජාතීන් හමුවී හුවමාරු වී කරන රංග කලාව අපේ රංග කලාවේ ද සාමාන්‍ය තත්වය බවට පත්වීමයි. එවිට එය අවසන් වන්නේ හුදෙක් පුළුල් රංගකලාවකින් පමණක් නෙමෙයි පුළුල් දේශපාලනික සංස්කෘතික ජීවිතයකින්.
-ධනංජය කරුණාරත්න (fb)

Leave A Reply

Your email address will not be published.

nineteen − nine =