“ජාතික සම්පත්, අධ්‍යාපනය විකුණන්නේ නෑ කියල ආපු ගෝටාබය සංචරණ සීමා කාලයේම වැඩ අල්ලලා”

ජාතික සම්පත් විකුණන්නේ නෑ, අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්නේ නෑ එක්සත් ජාතික පක්ෂය කරපු දේවල් අයෙත් හරවනවා කියමින් බලයට ආපු ගෝටාබය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මුළුමනින්ම පෞද්ගලික අධ්‍යාපනයට පාර කපන කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට සැරසෙන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් ප්‍රකාශ කරනු ලැබූවේ ජුනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනය වෙනුවෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ සැමරුමෙහි සමරු දේශනය පවත්වමිනි. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී මෙරට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවම දැවැන්ත කැපකිරීමක් කරනු ලැබූ බවත්, ඔවුන් සිදුකරනු ලැබූ අරගලය නිසා වත්මන් පරම්පරාවට භූක්තිවිඳීම සඳහා මෙරට නිදහස් අධ්‍යාපනය මේ තරමින් හෝ රැකගැනීමට හැකිව තිබෙන බවත්, එ් සටනේදී ජීවිත පරිත්‍යාග කරනු ලැබූ සිසු විරුවන් සැමරීම වත්මන් පරපුරේ වගකීමක් බවත් ඔහු පැවසීය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ මාර්ග ගත ක්‍රමයට පවත්වනු ලැබූ මෙම සමරුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා “අපේ රටේ පාසල් 10,168 ක් තිබුණට දරුවෙකුට ඉගෙන ගන්න අවශ්‍ය කරන අවම පහසුකම්වත් ඒ බහුතරයක් පාසල්වල නැහැ. ජාතික පාසල් 374ක් තිබෙනවා සමහර ජාතික පාසල් බෝඩ් ලෑලි විතරයි. ඔන් ලයින් අධ්‍යාපනය ගැන කතා කරන අපේ පාලකයෝ ඉන්නේ. හැබැයි අපේ රටේ සමස්ත පාසල් වලින් 3%කට විදුලිය නැහැ. පාසල් 1,627 බොන්න වතුරවත් නැහැ ඒ ප්‍රමාණය සමස්ථයෙන් 16%ක්. අවුරුදු 73ක් රට පාලනය කරපු පාලකයෝ තමයි මෙහෙම කරලා තිබෙන්නේ. වැසිකිළි, කැසිකිලි පහසුක්ම් නැති පාසල් 26% තියෙනවා. ඒ කියන්නේ පාසල් 2644ක ගුරුවරයාට, පාසල් දරු දැරියන්ට යන්න වැසිකිලි පහසුකම් නෑ. මේක තමයි පාලකයන්ගේ ආකල්පය. මහා දේශපාලන තුරුම්පුවක් දානවා දැන් ජාතික පාසල් 1000ක් කඩිනමින් ඇති කරනවා කියලා මේක සංදර්ශනයක්. එක පාසලකට ලක්ෂ දහයක් දීලා කියනාවා ජාතික පාසලක් කරන්න කියලා. ඒකෙන් පාසලේ බෝඩ් එක ගහලා තීන්ත ගාන්න විතරයි පුළුවන්. එක තමයි මේ ජාතික පාසල් සංදර්ශනය. මේ කොවිඩ් සංචරණ සීමා පනවාලා තියෙද්දිත් මේ ආණ්ඩුව මේ රටේ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවන්න ඕන කරන අණපනත් සම්මත කරමින් ඉන්නවා.” යනුවෙන් පැවසීය.

මෙම සමරුව සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය ඇතුළු ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙක් එක්ව සිටියහ.

රංගන දේවප්‍රිය – සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක

 

Leave A Reply

Your email address will not be published.

nineteen + two =