වීරවංශ ෆේස් බුක් ගිණුමෙන් විරෝධය – “මේ වෙලාවේ අපිට පොස්පේට් නිෂ්පාදනය ඉතාම වටිනවා”- මහින්දානන්ද

කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශයට පවරා ගැනීමත් සමඟ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සිය ෆේස් බුක් ගිණුමේ ලංකා පොස්පේට් සමාගම පිළිබඳ සටහනක් තබා තිබේ.

වසර ගණනාවක් පාඩු ලැබූ තමා විසින් ලාභ ලබන තත්ත්වයකට පත්කළ පසු එය වෙනත් අමාත්‍යාංශයක් යටතට පවරා ඇති බව එම සටහනේ දැක්වේ.

කෙසේ නමුත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යටතේ පැවති සිමාසහිත ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යටතට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2015 සිට 2020 දක්වා පාඩු ලබන තත්ත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට තමා අමාත්‍යධුරය හෙබවූ කර්මාන්ත අමාත්‍යාංශයට පැවරීමත් සමග වාර්තාගත මෙහෙයුම් ලාභයක් උපයා ඇති බවත් පොස්පේට් සමාගම නිෂ්පාදනය කරන පොහොර වැඩසටහනක් එප්පාවල පොහොර නමින් ජනගත කිරීමටද පසුගිය කාලයේ කටයුතු කළ බවද අමාත්‍ය විමල් වීරවංශ සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබේ.

ඊයේ විමල් වීරවංශගේ අමත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට එම තනතුරින් ඉවත් කර තමාව විශ්‍රාම ගැන්වීමට අවසර දෙන ලෙස ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබූ අතර එම පුරප්පාඩුවට හිටපු වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක පත් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසුවේ,

“ලංකා පොස්පේට් ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට තමයි පහුගිය කාලයේ තිබුණේ. මේ වන විට රජය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරලා තියෙන මේ වෙලාවේ අපිට පොස්පේට් නිෂ්පාදනය ඉතාම වටිනවා. පොස්පේට් නිෂ්පාදනය කිරීමේ වැඩකටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“

 

Leave A Reply

Your email address will not be published.

13 + fourteen =