ආයුබොවන්ඩ සාගර,

කලිං පාර්ලිමේන්තු ගැලරියටවත් අඩිය තියලා නැති හාදයො එකපාරටම පැරසුට්කාරයො වෙලා මන්තිරි පුටුවක වාඩි වුණාම මොළේ කචල් වෙන එක අහන්ඩ දෙයක්යැ. ක`ඵ කෝට් බෑ එල්ලගෙන උසාවි ගානෙ රස්තියාදු ගහපු කස්ටියයි, ටියුසන් ක්ලාස් දාගෙන පොඩි උන්ට කුණුහරුප උගන්නපු පොතේ ගුරාලයි වියත් පොරවල් වෙච්ච රටක වැහි වතුර පිරුණ ටිං බෙලෙක්කත් සාගර බවට පත් වෙන එකත් අරුමයක් වෙන්ඩ බැහැ තමා ආයිබෝවන්ඩ.
ඉන්ධන මිල ඉහළ ගියේ ගම්මන්පිල ගොයියගෙ වරදින් හන්දා උන්නැහැ ඉල්ලා අස්වෙන්ඩ ඕනාය කියලා සාගර දීපු පොර ටෝකෙ හැටියට අපේ ගමේ පොහොට්ටු වන්දනාකාරයො ටික නං පාරම්බෑවෙ ගම්මනයා විතරක් නෙවේ මෑන්ස්ගෙ කපාපු පලුව වගේ ඉන්න විමලයාත් කන්කෙටිවලින් ඇදලා සක්වළ ගලෙනුත් එහාටම උසික්ක කොරල දානව කියලයි. හැබැයි ඉතිං යමක්-කමක් දන්න කියන උදවිය තෝරා-පාදා දුන්නෙ තෙල් මිල උස්සපු එක ගැන සාගරයයි-, ගම්මනයයි අතරෙ ඇති වුණ ගෝරිය වියත්මගේ අවියත් ඇත්තන්ගෙ අලුත්ම නාටකේ කියලයි. චන්දෙ කාලෙ රඟ දක්කපු කල්යාන නාග රාජයාගේ කෝලමේ පටන් වඳ සැත්කම් නාඩගම ආදි ආටක-නාටක හරහා පාස්කු කඳු`ඵ විකුණාගෙන කෑම හා වෙසක් සමයේ කරළියට ගෙනා ගිලුණ නැවේ කතා වස්තුව වැනි නාට්ටිය පෙරහැර දිහා බලනකොට සාගර-, ගම්මන් මහා විවාදය පොසොන් සමය වෙනුවෙන් නිස්පාදනය කොරපු එකක් බව පේනවා.
පහුණු දවස්වල පැට්රොල් – ඩීසල් මිල බැහැපු වෙලාවේ බන්දුල මහා ආර්තික ඔස්තාර් පිහිටවපු ඉස්තායිකොරන අරමුදලද මොකක්ද කියන එකට මක්ක වුණාද කියල හුදී ජනතාව පුරස්න කොරන්ඩ පටන් ගන්නකොටම නේද සාගර මහත්තයෝ ඔය සාගර-ගම්මන් නාටකේට මුල පිරුණෙ. ඔය විගඩං නාටකේ කතා සංකල්පෙනං බැසිල් සෑර්ගෙ වෙන්ඩ ඕනා කියලයි ආරංචිය. සංකල්පෙ ටොපේ-ටොප් වුණත් පිටපතයි, අද්දියක්සනෙයි නම් පුල් අවුල් නේද? ප්‍රධාන න`ඵවො දෙන්න අතරින් ගම්මනයා සාගරේට වඩා ඉදිරියෙන් ඉන්න බව පේනවා. විමලෙත් එක්ක හොඳ හොඳ ඇක්ටිං පයිටින් දාලා- උඩ පිනුං යටි පිනුං ගහලා පුරුදු ගම්මන් වගේ හාදයෙක් එක්ක රංගනයකට බහිනකොට ඔයිට වඩා සිල්ප-සාස්තර දැනං හිටියනං තමා හොඳ.
හතුරො ඉන්නෙ ආණ්ඩුව අස්සෙමයි කියල ගම්මනේ අත දිග ඇර දීපු ෂොට් එකට නං ඔහේ නොකවුට් වුණා නේද ආයිබොවන්ඩ. දැන් බලාගෙන යන විදිහට පිටපතේ නැති දෙබසුත් ගම්මනයාගෙ කටින් පනින සයිස් එකක් නේද තියෙන්නෙ. ඒ මදිවට උංගෙ කුරුමිටි පක්ස ටික එකතු වෙලා පෙත්සමකුත් අත්සන් කොරපු බව මාද්දියකාරයෝ කියන්නෙ හරියට ආණ්ඩු පෙරළියක් සිද්ද වෙන්ඩ යන ගානට නෙ. නරකද සාගර අර කල් දාපු මාද්දිය හමුව ආයෙත් කැඳවලා පොහොට්ටුවෙ මහලේකන් උතුමා හැටියට තමුන්නැහැට තියෙන හයිය-හත්තිය පෙන්නන්ඩ මේක තමා හොඳම වෙලාව. හැබැයි පුතෝ මේ වෙලාවෙ රිවස් ගැහුවොත් නං ඉතිං මහලේකන් කොමටත් දෙයියන්ගෙම පිහිටයි.
මේ දවස්වල බුකියට ලියන එවුන්ටත් අර මාද්දියකාරයන්ට වගේම වෙන රාජකාරියක් නැති එක නෙ වැඩේ සාගර. බුකියෙ උන් කියන හැටියට නං සාගර කියන නම කොරෝනාවටත් වඩා බයංකාරලු. අහක යන නැවක් උනත් අපේ මුහුදු සීමාවට ඇදල අරං ගිලින්ඩ ඇහැකි තරමට සාගර ප්‍රොචණ්ඩ වෙලාලු දැන්. එහෙව් එකේ ඊළඟට රට රකින්ඩ එන අපේ බැසිල් විරුවාට කකුල්මාට්ටු දාන්ඩ හදන ගම්මනේ, විමලේ, වාසු වගේ හාල්මැස්සො ගැන කවර කතා ද.? ගම්මන් – සාගර නාඩගමේ දෙවෙනි කොටස බැසිල් ආවට පස්සෙ වෙන්ඩැති නේද සාගර?●
විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

one × 3 =