යුරෝපා පාර්ලිමේන්තු යෝජනාව හා ආණ්ඩුව

ලංකාවට දී තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය තාවකාලිකව නතර කිරීමේ යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් පසුගිය ජූනි 10 වැනිදා සම්මත කරනු ලැබීය. එයට පක්ෂව ඡන්ද 628ක්ද, විරුද්ධව ඡන්ද 15ක්ද ලැබුණු අතර 40ක් ඡන්දය දීමෙන් වැළැකී සිට ඇත. මෙය ලංකාව ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ලැබූ දැවැන්ත පරාජයකි. මේ තත්ත්වය සමඟ ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමේ අනතුරක් නිර්මාණය වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තුව මෙම යෝජනාව ගෙන එන්නේ ප්‍රධාන කරුණු 03ක් පදනම් කරගෙනය. එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සංශෝධනය නොකිරීම, එම පනත භාවිතා කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවලට හමුදා නිලධාරීන් පත් කර සිවිල් පාලනයට බාධා කිරීම යන කරුණුය.

යුරෝපා සංගමය, යුරෝපය සහ අධිරාජ්‍යවාදීන් අප වැනි රටවලට මානව හිමිකම් ප්‍රශ්නය භාවිත කර බලපෑම් කරන බව සත්‍යයකි. නමුත්, මෙහි යුරෝපා සංගමය යෝජනා කර ඇති කරුණු ඔවුන් විසින් අපට පෙන්වා දී නිවැරැදි කරගත යුතු කරුණු නොවේ. අප ඒවා රට තුළම නිවැරැදි කර ගත යුතු කරුණුය. නමුත්, ආණ්ඩුව දිගින් දිගටම ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් උදුරා ගනිමින් පෙන්වන හැසිරීම යුරෝපා සංගමය අප රටට බලපෑම් කිරීමට යොදාගෙන ඇත. 19වන සංශෝධනය අහෝසි කර 20වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් රට තුළ පැවැති අවම ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය ද සම්පූර්ණයෙන්ම පාහේ වළලා දමනු ලැබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන අතර, තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් එය යොදා ගන්නා බව පැහැදිලි ය. 1979දී මෙම පනත හඳුන්වා දෙනු ලැබුවේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. එමඟින් අධිකරණයට ඉදිරිපත් නොකර ඕනෑම පුද්ගලයකු ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශ මත මාස 18ක් ඕනෑම තැනක රඳවාගෙන සිටිය හැකිය. ජේ. ආර්. තම විරුද්ධවාදීන් මර්දනයට මේවා යොදා ගත් අන්දමත්, ඒ හරහා කෙතරම් විනාශයක් රටටත්, ජනතාවටත් සිදු කළා ද යන්නත් මෙරට කිසිවකුට අමතක විය නොහැකි ය.

වත්මන් ආණ්ඩුව බංගලිදේශයෙනුත් ණය ලබා ගන්නා තත්ත්වයකට පත්ව සිටී. තෙල් මිල, බඩු මිල දැරිය නොහැකි ලෙස ඉහළ දමා ජනතාව විශාල පීඩාවකට පත් කර ඇත. ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වුවහොත් රටට වාර්ෂිකව ලැබෙන යුරෝ මිලියන 400ක පමණ ආර්ථික වාසිය අහිමි වනවා පමණක් නොව ඇඟලුම්, මාළු ඇතුළු අපේ අපනයන භාණ්ඩ 6,600කට පමණ වෙළෙඳපොළ අහිමි වන බරපතළ තත්ත්වයක් ඇති වේ. 

2010 වසරේ දී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කිරීමෙන් පසුව 2017දී නැවත එම සහනය ලබා දෙන ලදී. ඒ ලංකාවේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වීම නිසා ය. නමුත්, රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු කළේ නැත. ඒ වෙනුවට ඊට වඩා බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උත්සාහ කළත් මතු වූ විරෝධතා නිසා එය වැළැකිණි.

මේ පනත යොදාගෙන විරුද්ධවාදීන් මර්දනය කිරීම සම්බන්ධව යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවේ නම් 03ක් සඳහන් කර ඇත. ඒ නීතිඥ හිජාස් හිස්බුල්ලා, අනාෆ් ජසීම් සහ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන තිදෙනා රඳවා තබා ගැනීමයි. මේ අයට විරුද්ධව විධිමත් ලෙස නඩු පැවරීම හෝ නැත්නම් නිදහස් කිරීම කරන ලෙස ඔවුන් යෝජනා කරනවා. යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවෙන් දින දෙකකට පසු අනාෆ් ජසීම් නම් කවියා කඩිමුඩියේම පසුගිය ජුනි 12දා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. ඒ වන විට ඔහු අධිකරණයකට ඉදිරිපත් නොකර රඳවා තබා ගත් කාලය වසරක් ඉක්මවා තිබිණි. මාස 10ක් තිස්සේ ඇප ලබා නොදී රඳවාගෙන සිටි ශානි අබේසේකරටද ඇප ලබා දීමට අධිකරණ තීන්දුව ලැබුණේ පසුගිය ජුනි 16දාය. නමුත් ඔහු යළිත් ලබන ජුනි 30 දක්වා රඳවා තබා ගැනීමට එහි දී යළි අධිකරණය නියෝග කර ඇත. නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මාස 08ක් පමණ රඳවා තබා ගැනීමෙන් පසුවය.

අදවන විට ආණ්ඩුව ජනතා විරෝධතා යටපත් කිරීමට ‘සංචරණ සීමා නීති’ පවා යොදාගෙන තිබෙන බව පැහැදිළි ය. ඒ අතර වත්මන් ආණ්ඩුව බංගලිදේශයෙනුත් ණය ලබා ගන්නා තත්ත්වයකට පත්ව සිටී. තෙල් මිල, බඩු මිල දැරිය නොහැකි ලෙස ඉහළ දමා ජනතාව විශාල පීඩාවකට පත් කර ඇත. ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වුවහොත් රටට වාර්ෂිකව ලැබෙන යුරෝ මිලියන 400ක පමණ ආර්ථික වාසිය අහිමි වනවා පමණක් නොව ඇඟලුම්, මාළු ඇතුළු අපේ අපනයන භාණ්ඩ 6,600කට පමණ වෙළෙඳපොළ අහිමි වන බරපතළ තත්ත්වයක් ඇති වේ.

මේ හරහා රටට සිදු වන ආර්ථික හානියට  වගකිව යුත්තේ, මෙරට ජනතාව නොව මෙවන් අන්ත තකතීරු එමෙන්ම ජනතා විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කළ හා කරමින් සිටින පාලකයන්ය. අධිරාජ්‍යවාදයට අපේ රටට අත පෙවීමට වටාපිටාව සකසා දෙන්නේ ද ඔවුන්මය. ජනතා අයිතීන් සැබෑ ලෙසම රැකිය හැක්කේ අධිරාජ්‍යවාදයටත්, මේ ජනතා විරෝධී පාලකයන්ටත් එරෙහි ප්‍රගතිශීලි ජනතා බලවේගයකට පමණි●

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

nine − 3 =