දයා රත්නායක වරායෙන් ඉවතට – මහින්දගේ කැප්පෙටිපොළ යළිත් එයි !

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක ඉවත් කර තිබේ.

ඒ වෙනුවට නිහාල් කැප්පෙටිපොළ පත්කර ඇත. නිහාල් කැප්පෙටිපොළ යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවති 2013 -2014 කාලයේ වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ පුද්ගලයා ය. ඔහු මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සමීප හිතවතෙකු ලෙස ද ප්‍රකට ය.

විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන දයා රත්නායක ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස ප්‍රසිද්ධ ය. කෙසේ වෙතත් පසුගිය කාලය පුරා වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන සහ දයා රත්නායක අතර ගැටුමක් තිබූ බවත්, අවස්ථා ගණනාවකදී මේ ගැටුම් විසඳීමට ජනාධිපතිවරයාද මැදිහත් වී ඇති බවත් වරාය වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

සභාපති ධුරය අහිමි වීම සම්බන්ධයෙන් විමසීමට දයා රත්නායක සම්බන්ධ කර ගැනීමට අප අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහුගේ ජංගම දුරකතනය දිගටම ක්‍රියා විරහිත කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

thirteen + five =