ඉන්දීය සැර කොරෝනා ප්‍රබේදය(බී.1.617.2) කොළඹින් හමුවෙයි

මෙරට සමාජයෙන් පළමු වරට ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමු වී තිබේ.

මේ බව කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සනාත කළේය.

මෙම වයිරසය එනම් ඩෙල්ටා ඉන්දීය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මීට පෙර මෙරටින් හමුවූවත් ඔවුන් දෙදෙනාම සොයාගෙන තිබුණේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකක නිරෝධායනය වෙමින් සිටි අය අතරිනි.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ඉන්දීය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.

බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් අලුතින් හමු වී ඇත්තේ කොළඹ 6, කොළඹ8 ,කොළඹ 10 ,මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලිනි .

මේ සැර කොරෝනා වයිරස ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් හමු වීමෙන් පසුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

Leave A Reply

Your email address will not be published.

ten − one =