යාපනයේ බුද්ධියේ කැඩපත දැවී අළු වී යනු බලා සිටි නිහඬ සාක්ෂිකරුවකුගේ හෘදයසාක්ෂිය

යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 40කි. 1950 දශකයේ ආසියාවේ තිබූ විශාලතම පුස්තකාලය ලෙස  වැජඹුණු මහා දැනුම් ගබඩාව දැවී අළු වන විට එහි ග්‍රන්ථ ලක්ෂයකට ආසන්න ගණනක් තිබිණ. අනාගත දූ-දරු පරපුරේ ඥාන ගවේෂණය උදෙසා ආරක්ෂා කළ, මිල කළ නොහැකි බුද්ධි සම්භාරයක් ඒ ගිනිදැල් අතරට එක් විය.

දේශපාලන බල ලෝභය විසින් ගිනි තැබූ බුද්ධියේ කැඩපත සිය දැස් ඉදිරිපිට දැවී අළු වී යනු බලා සිටි නිහඬ සාක්ෂිකරුවකුගේ හෘදයසාක්ෂිය විමසන්නට අපට හැකි විය.

අපි දෙන්නා පුස්තකාලෙ පැත්තට යන්න පිටත් වුණා. යාපනයේ වැඩ කරපු නිසා මට ඔය අතුරු පාරවල් ටිකක් හුරුයි. ටික දුරක් යන කොට ඈතින් ලොකු කළු දුමාරයක් පේනවා, කලින් දවසේත් කඩ වීදි ගිනි තියලා තිබුණ නිසා අපි හිතුවේ එහෙම එකක් කියලා. පුස්තකාලය ළඟට යන කොට මිනිස්සු කැගහනවා ඇහෙනවා. සමහර දෙමළ මිනිස්සු පපුවට ගහ ගන්නවා, බිම දණ ගහලා විලාප දෙනවා. දෙයියනේ පුස්තකාලය ගිනි තියලා. අපි පණ වගේ ආදරය කරපු තැන, මහ දැනුම් ගබඩාව එකම ගිනි ජාලාවක්. මගේ හදවත මොහොතකට නැවතුණා වගේ. මට කෑගහලා ඇඬුණා.. ජීවිතේ මම මගේ ඇස් දෙකෙන් දැකපු අවාසනාවන්තම, පව්කාරම දර්ශනය ඒක.

ඔහු ඒ. ඩී. ඩබ්ලිව් සිරිමාන්න මහතා ය. යාපනය මහ නගර සභාවේ සේවය කළ අවසාන සිංහල සේවකයා ය. ඒ නගර සභාවේ ගබඩා භාරකරුවා වශයෙනි. මේ ඔහුගේ කතාවයි.

“මම පළවෙනි වතාවට යාපනයට යන්නෙ 1979 ජුනි 15 වෙනිදා මගෙ පළවෙනි පත්වීම විදියට යාපනය මහ නගර සභාවෙ ගබඩා භාරකරුවෙක් විදියට. ඒ කාලයේ නාගරික කොමසාරිස් හැටියට හිටියෙ සී. වී.  කේ. සිවඥානම් මහත්තයා. ඒ කාලයේ වැඩ කරන්න තිබුණු ඔක්කොම ලියකියවිලි දෙමළ භාෂාවෙන් නිසා මට හරි අමාරු වුණා මුල් කාලයේ වැඩ කරන්න. ඒත් සිවඥානම් මහත්තයා මට හ`ුගක් උදවු කළා. ඒ කාලයේ යාපනයේ සිංහල මිනිස්සුත් සෑහෙන ප්‍රමාණයක් හිටියා, මට මතකයි එහේ තිබුණා මල්ලිකා බේකරිය, ඒ අය වැලිගම මිනිස්සු, රත්තරං බඩු කර්මාන්තය කරපු සිංහල අයත් හිටියා. යාපනයේ දෙමළ මිනිස්සු හරිම අවංකයි, මිත්‍රශීලියි. සිංහල අපිට සැහෙන්න සැලකුවා, ගරු කළා. එළවළු වගාවක්, ගවයන් දෙතුන් දෙනෙක්, කුකුළු කූඩුවක් හැම ගෙදරකම වගේ තිබුණා. එයාලා ජීවත් වුණේ හරි සරලව. නමුත් ස්වයංපෝෂිතව. ඒ කාලයේ යාපනය හරිම සාමකාමීයි. මම නිවාඩු වෙලාවට පුස්තකාලයට නිතර ගියා, මම එහිදීත් දැක්කා යාපනයේ මිනිස්සුන්ගෙ සංවරය.

“ඒ කාලයේ දිසාපතිවරයා වුණේ ලයනල් ප්‍රනාන්දු මහත්තයා. යාපනයේ අවසාන සිංහල දිසාපති එතුමා. ලයනල් මහත්තයාට දෙමළ මිනිස්සු හරිම ආදරෙයි. දෙමළ මිනිස්සු එක්ක බොහොම හොඳින් වැඩ කළා, පුදුම ජනප්‍රසාදයක් තිබුණේ. සිංහල, දෙමළ මිනිස්සු අතරේ එතුමා මිත්‍රත්වයේ පාලමක් හැදුවා. සිංහල චිත්‍රපටි එහේ පෙන්නුවා, ධාතු ප්‍රදර්ශන පවා කළා. ඔය අතරෙ තමයි, එතුමාව හදිසියේ කොළඹට මාරු කළේ. ඒකට උතුරෙ ජනතාවගේ ලොකු විරෝධයක් තිබුණා. ඔහු මාරු වෙලා යන දවසේ වීරසිංහම් ශාලාවෙ ලොකු උත්සවයක් තිබුණා. කලාකරුවො, දෙමළ විද්වතුන් විශාල ප්‍රමාණයක් ඇවිල්ල හිටියා. දෙමළ මිනිස්සු කොඩි දාලා බෙර ගහලා පෙහැරකින් තමයි එතුමාව එක්ක ගියේ, වෙලාවකට පුදුමයි දෙමළ මිනිස්සු සිංහල මිනිහෙකුට මෙච්චර ආදරේ කළා  ද කියල.”

සිරිමාන්න මහතා උතුරේ ජනතාව ගැන කතා කළේ මහත් ආදරයකිනි. “මම මැරෙනකම් දෙමළ මිනිස්සුට ආදරේ කරනවා; ගරු කරනවා. මොකද? ඒ මිනිස්සු තරම් තව මිනිහෙකුට ගරු කරන මිනිස්සු කොටසක් මම දැක්කෙ නෑ”

කොළඹින් ගිය සිංහල මිනිසුන්ට දමිළ මිනිසුන් ආදරෙයෙන් සැලකූ හැටි ගෞරවයෙන් සිහිපත් කරමින් සිරිමාන්න මහතා කියා සිටී.

එකල උතුරේ තිබූ මේ දෙමළ – සිංහල ආදරණීය මිත්‍රත්වයට කණකොකා හැඬූ හැටිත් සිරිමාන්න මහතාට මතක ය.

“මට දවසක් කච්චේරියෙ හිතවතෙක් කතා කරල කිව්වා, අද යාල්දේවි හයහමාරේ කෝච්චියෙන් යන්න ලේස්ති වෙමු, නැත්තන් මැරෙන්නයි වෙන්නෙ. කලබල ඇති වෙලා තියෙන්නෙ කියල.

“කොළඹ දෙමළ අයට කරදර කරන බවත්, ඒ නිසා ‘යාපනයේ ඉන්න එකම සිංහල මිනිහෙක්වත් යහතින් යවන්නෑ’ කියල ගම්වල මිනිස්සු කතා වෙන බව ඔහු කිව්වා. මම එදා රෑ නිඳාගත්තෙ නාගරික කොමසාරිස් සිවඥානම් මහත්තයගෙ නිල නිවසේ. එතුමා මාව ආරක්ෂා කළා. ඊට පහුවෙනිදම යාල්දේවියේ කොළඹ ආවා.”

කොළඹ පැමිණි පසු සිරිමාන්න මහතාගේ මී ළඟ පත්වීම ලැබුණේ, කුරුණෑගල නගර සභාවට ය. ඔය අතරේ 1981 සංවර්ධන සභා මැතිවරණය කැඳවා තිබිණ.

“සංවර්ධන සභා ඡන්දෙ යෙදිලා තිබුණෙ ජුනි 4 වෙනිදා, ජුනි 2 රෑ නාගරික කොමසාරිස්වරයා මට කිව්වා, “ඡන්ද රාජකාරිවලට යාපනේ යන්න ලේස්ති වෙන්න” කියලා, යාපනේ කලබල නේද කියලා මම ඇහුවම එතුමා කිව්වා, බය වෙන්නෙපා ආමි එක ඉන්නවා ආරක්ෂාව දෙනවා ඔයාට අනික යාපනේ හුරුයි නේ” කියලා,  පස්සෙ අපිව බස්වලින් ගිහින් ස්ටේෂන් එකට එක්කගෙන ගියා, කෝච්චියේ යාපනේ යන්න.

“කෝච්චියෙ අපිට වෙන වෙනම මැදිරි වෙන් කරලා තිබුණා. අපි දැන් කෝච්චියෙ නැඟලා ඉන්නවා. ඔය අතරෙ ස්ටේෂන් එකේ ලවුඩ්ස්පීකරෙන් කතා කළා, ගාමිණී ජයවික්‍රම පෙරේරා. එයා මයික් එකෙන් කිව්වා ‘මේ යන්නෙ ජාතික වීර ගමනක්, අවශ්‍ය උපදෙස්, සියලු පහසුකම් එහෙන් ලැබෙයි, ඒ අනුව කටයුතු කරන්න’ කියලා.

“දුම්රියේ මැදිරි ඇතුළේ රජයේ සේවකයන් වගේම අමුතු අමුතු මිනිස්සු හිටියා. පච්ච කොටපු අය, සරොන් ඇඳලා කොණ්ඩ වවපු අය එහෙම. ඒ හිටියේ මැරයෝ. අපිත් මුකුත් හිතාගන්න බැරුව ගමන ගියා.”

සිරිමාන්න මහතා ඇතුළු පිරිස යාපනයට ළඟා වන විට යාපනයේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබිණි. කඩ වීදියේ ගිනිදැල් නැඟෙමින් දුමාරයෙන් වැසී ගොසිනි. යාපනයේ තිබූ ස්මාරක කඩා බිම දමා තිබිණි. භයංකර යුද පිටියක ස්වරූපයක් පැවැතිණි.

යාපනයේ හින්දු විද්‍යාලයේ බංකු උඩ රැය ගත කළ පිරිස හිමිදිරියේ අවදි වන විට එතැනට ගාමිණී දිසානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. ඡන්දය පවත්වන හැටි ගාමිණි දිසානායක පැහැදිලි කළේ ය.

“ඔයාල හැමෝටම දැන් ඡන්ද මධ්‍යස්ථනවලට යන්න පත්වීම් ලිපිය ලැබෙනවා, ආරක්ෂාව හමුදාවෙන් ලැබෙනවා, ඡන්දය උදේ 7.00ට පටන් ගෙන 10.00ට නවත්තන්න, ඒ වෙන කොට ඡන්දේ දාන්න පෝලිම්වල ඉන්න පිරිස හමුදාව දම්මලා විසුරුවා හරිනවා, ඉතිරි වෙලා තියෙන බැලට් පේපර්ස්වල ඔයාල කතිරෙ ගහලා පෙට්ටියට දාන්න”

“කෙනෙක් ඇහුවා ‘කාටද කතිරෙ ගහන්න ඕන සර්…’ කියලා, ගාමිණී දිසානායකගෙ උත්තරේ වුණේ, ‘දන්නවනේ සතා… සතාට කතිරෙ ගහන්න.

“අපි ඔක්කොම මූණට මූණ බලා ගත්තා මේ මොකද්ද මේ වෙන්නෙ කියලා, අපි වමේ මිනිස්සු, අපිට හෘදයසාක්‍ෂියක් තියෙනවා, මේක කරන්න මගේ හෘදයසාක්‍ෂිය ඉඩ දෙන්නෙ නෑ. මම මගේ යාළුවා හෙට්ටිගේට කිව්වා, මම මේක කරන්නෑ. අපි කොහොමද මේ අපරාධය කරන්නෙ, අපි මංකොල්ලකාරයො නෙමෙයි නේ… අපි දෙන්නා මේක මඟ අරිමු කියලා. ඊ ළඟට අපිට පත්වීම් ලිපි ගන්න පෝලිමේ එන්න කිව්වා. අපි දෙන්නා මඟඇරලා හිටියා. ඒත් පස්සේ ආයෙම අපිව පෝලිම් කරලා බලෙන්ම පත්වීම් ලිපියක් දුන්නා, ඇත්තටම ඒ ලිපියේ අපෙ නම තිබුණෙත් නෑ. කාගෙ දෝ නමක් තියෙන එකක් මට හම්බු වුණේ.

“ඊට පස්සෙ හමුදාව ගේට්ටු ඇරියා, ඡන්ද මධ්‍යස්ථනවලට යන්න කියලා. බලෙන්ම බස්වලට පැටෙව්වා. වෙලාව උදේ 9.00ට විතර ඇති. තවමත් ඡන්දේ පටන් ගෙන නෑ. එතැන අවුල් ජාලාවක්. අපි දෙන්නා හිමීට එතැනින් පැනගත්තා. මං කිව්වා, අපිට මේ අපරාදෙට හවුල් වෙන්න බෑ. අපි පුස්තකාලේ පැත්තට ගිහින් පත්තරයක් බල බල ඉඳල හවසට එමු කියලා.

“එහෙම කියල අපි දෙන්නා පුස්තකාලෙ පැත්තට යන්න පිටත් වුණා. යාපනයේ වැඩ කරපු නිසා මට ඔය අතුරු පාරවල් ටිකක් හුරුයි. ටික දුරක් යන කොට ඈතින් ලොකු කළු දුමාරයක් පේනවා, කලින් දවසේත් කඩ වීදි ගිනි තියලා තිබුණ නිසා අපි හිතුවේ එහෙම එකක් කියලා. පුස්තකාලය ළඟට යන කොට මිනිස්සු කැගහනවා ඇහෙනවා. සමහර දෙමළ මිනිස්සු පපුවට ගහ ගන්නවා, බිම දණ ගහලා විලාප දෙනවා. දෙයියනේ පුස්තකාලය ගිනි තියලා. අපි පණ වගේ ආදරය කරපු තැන, මහ දැනුම් ගබඩාව එකම ගිනි ජාලාවක්. මගේ හදවත මොහොතකට නැවතුණා වගේ. මට කෑගහලා ඇඬුණා.. ජීවිතේ මම මගේ ඇස් දෙකෙන් දැකපු අවාසනාවන්තම, පව්කාරම දර්ශනය ඒක.”

සිරිමාන්න මහතා එම සිදුවීම අදත් සිහිපත් කරන්නේ කඳුළුපිරි දෑසිනි. දේශපාලන බලලෝභය විසින් ඒ ගිනි තැබුවේ දමිල බුද්ධියට පමණක් නොවේ, මේ රටට, පොතට පතට ආදරය කළ සිංහලයාගේ ද හදවතට ය.

“එදා ඡන්දය මංකොල්ල කන්න හදපු උත්සාහය පරාජය වුණා. මැතිවරණ කොමසාරිස්තුමා කොළඹින් වෙනම නිලධාරීන් පිරිසක් යවලා හරියාකාරවම ඡන්දය පවත්තලා තිබුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් යාපනනෙන් ලැබුණෙ. ඇපත් රාජසන්තක වුණා. ඒත් ඒ කරපු මහා අපරාධයට වගකිව යුත්තන්ට ස්වභාවධර්මය පස්සෙ කාලෙක දඬුවම් දුන්නා. සිරුර කෑලි කෑලිවලට කැඩිලා ගියේ. ඉතිරි අයටත් අනිවාර්යයෙන්ම ස්වහාවධර්මය දඬුවම් කරනවා, ඒක මට විශ්වාසයි.”

සිරිමාන්න මහතා පැවසී ය.

දමිළ හදවතට ගිනි තබා මහා ඊළාම් යුද්ධයකට පෙරමඟ තැනූ අවාසනාවන්ත කතාව එසේ ය.

සටහන සහ ඡායාරූප:
ගෙහාන් සචින්ද ජයසිංහ
Leave A Reply

Your email address will not be published.

seven − three =