මාස 10ක් තිස්සේ රිමාන්ඩ් කරනු ලැබ සිටි ශානි අබේසේකරට ඇප

මාස 10ක් තිස්සේ රිමාන්ඩ් කරනු ලැබ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය. තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.

ඊයේ (15) ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා සහ සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල මහතා ද අධිකරණයේ දී කරුණු දැක්වීය.
ශානි අබේසේකර මහතාට හෘදයාබාධයක් සහ තවත් රෝග කිහිපයක් තිබෙන බව කී ඒ මහතා, මීට පෙර බන්ධනාගාරයේ සිටියදී කොවිඩ් 19 වෛරසය ද ආසාදනය වූ බව සඳහන් කළේය. සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහුට ජීවිත අවදානමක් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි සඳහන් කළ නීතිඥ කොරයා, ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
බන්ධනාගාරයේ සිටින සාමාන්‍ය සැකකරුවන්ට පවා ඇප ලබා දෙන ලෙස දැනුම් දී තිබෙන බවත්, අසනීප තත්ත්වයේ පසුවන අබේසේකර මහතාට ඇප ලබා නොදීමට හේතුවක් නැති බවත් ඔහු කීවේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටි අතර, ඔහු ප්‍රකාශ කළේ ඇප ලබාදීමට විරෝධතාව දක්වන බවයි.
කෙසේ නමුත් ඇප ලබා දීම සම්බන්ධ තීන්දුව අද (16) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීන්දු කළේය.
ඒ අනුව ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂකට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය

Leave A Reply

Your email address will not be published.

five + 4 =