2021 දී, උඹලයි අපියි ඉන්නෙ එකම බෝට්ටුවේ ! හැබැයි බෝට්ටුවක් නෑ !

සැමියෙක් තමන්ගෙ ගැබිණි බිරිඳව උස්සගෙන කිලෝමීටර් 22 ක් ගංවතුරක බැහැලා, මහ රෑ, පයින් රෝහලකට ගිය සිදුවීම ගැන පුවත් පළ වෙනවා.
ඒ තරුණයගෙ වීර්‍යයට මේ මල් මිට දෙන ගමන්,
සත්‍ය ප්‍රේමයේ නාමයෙන් කවියක් ලියලා අපිට සතුටු වෙන්න පුලුවන් ද ?
ඒ තරුණයා කියන්නේ හිනිදුම රෝහලට ගියාට පස්සෙ උඩුගම රෝහලට අරගෙන යන්න කිව්වා කියලා. වතුර වැඩි නිසා ඇම්බියුලන්ස් එකක යන්න බැහැ කිව්වලු.
නමුත් අපි මේ රටේ බදු ගෙවන මිනිස්සු විදිහට වතුර වැඩි දවසට ඇම්බියුලන්ස් යන්න බැරි නිසා අපි මැරිලා යන්න ඕනෙ ද ?
බඩදරු අම්මෙක්ට රෝහලකට යන්න කෙහෙල්කොට ඔරුවක්වත් හොයාගන්න බැරිවෙලා තියනවා අපිට.
කෝ අපි බදු ගෙවලා නඩත්තු කරන ආපදා කළමණාකරණය ? ආපදා කළමනාකරණය කියන්නෙ වතුර ගැලුවම ගිහින් හාල් මල්ලක් දෙන එක විතරක් නෙමෙයි කියලා තේරුම් ගන්නෙ කවදද ?
රජය පැත්තක තියමු,
පහුගිය අවුරුදු ගාණෙම ගංවතුර සහන සේවාවල ස්වේච්ඡාවෙන් වැඩකරනකොට මම ඕනතරම් දැකලා තියනවා තමන්ගෙ ජීවිතේ ගැන නොහිතා දෙපාරක් හිතන්නැතුව මිනිස්සු බේරගන්න සැඩපහරට පනින මිනිස්සුන්ව.
ගංවතුරෙ අවතැන් වුණ මිනිස්සුන්ට කන්න දෙන්න ආධාර ඕනෙ කිව්වම කඩවල්වල රාක්ක හිස් කරලා ගෙනල්ලා දෙන, තමන් ගෙදරින් කන්න ගෙනාව බත් එක කෝච්චියෙන් බැහැලා යන ගමන් දීලා යන මිනිස්සුන්ව.
කෝ එයාලා ?
ඇයි දැකපු කවුරුත් පොලීසියටවත් කෝල් එකක් නොදුන්නෙ ?
වීඩියෝ එකේ වතුර තියෙන්නෙ දණහිස තරම්. මහලොකු සැඩ පහරක් නෙමෙයි. උස්සගෙන යනකොට මේ ලෙඩෙක් හෝ ආබාධිතයෙක් කියලා තේරෙනවා. ඒහෙම තත්වයකදි වීඩියෝ එකක් විතරක් ඉතිරිවුණේ කොහොමද ?
කොහෙද අපිට මගහැරුනෙ ?
අවුරුදු දාහකට කලින් බුද්ධදාස රජ්ජුරුවො සත්තුන්ටත් බෙහෙත් කරන්න රෝහල් හැදුවා කියලා ඉතිහාසෙ ඉගෙනගන්න ගමන්,
මනුස්සයෙක් ගංවතුරෙ බැහැලා කිලෝමීටර් 22 ක් බඩදරු අම්මෙක්ව උස්සගෙන රෝහලකට අරන් යන කතාවක් අපි 2021 දිත් අහනවා.
ඔය අතරෙ,
කොරෝනා මැද්දෙ, මන්ත්‍රීලට බිලියන ගාණක් වටින සුඛෝපභෝගී වාහන වගයක් ගේන්න ඕඩරයක් දාලා, මිනිස්සු විරුද්ධ වෙනකොට ඒක අකමැත්තෙන් අවලංගු කරලා, තවත් ඒ වාහන ගෙන්වීමේ යහපත ගැන කරුණු පැහැදිලි කරන කතන්දරත් අපි අහනවා.
ඔය අම්මට ලැබෙන්න ඉන්න පොඩි එකාවත් ලෝකෙට ණය කරපු උන්දැලා, ඒ මිනිස්සු දෙන්නත් හාල් කිලෝ එකකින් සම්මාදම් වුණ බදුවලින් සිංගප්පූරුවට ගිහින් හෙම්බිරිස්සාවටත් බෙහෙත් ගන්නවා අපි දකිනවා.
පියුමි ආරක්ෂක ඇමතිට කෝල් කරලා රෙදියි මේකප් බඩුයි ගෙන්නගන්නවා.
මේ කොල්ලට පුළුවන්ද ආරක්ෂක ඇමතිට කෝල් කරලා උණබට පාරුවක්වත් ගෙන්නගන්න ?
කවි ලියන අය ඒ කොල්ලට අනුකම්පා කරලා වර්ණනා කරලා කවි ලිව්වට අපිට ඔහොම වුණොත් හෙලිකොප්ටරයක් එනවද ? මෝටර් බෝට්ටුවක් දෙනවද ? උඹලට බබා හම්බෙන්න අමාරුවුණාම සිංගප්පූරුවෙ එක්කං යනවද ?
උන්ට කවි ලිව්වට ඒ කොල්ලයි , කෙල්ලයි , ලැබෙන්න ඉන්න දරුවයි, උඹලයි අපියි ඉන්නෙ එකම බෝට්ටුවෙ. !
හැබැයි බෝට්ටුවක් නෑ !
– චමල් අකලංක පොල්වත්තගේ

Leave A Reply

Your email address will not be published.

fifteen + four =