තිසා වැව ළඟ රළපනාවේ, සැබෑ නොවනා හීන හරි මිහිරි යැයි කියමින් නයනසේනයන් බලා ඉන්නවා ඇති

නයනසේන වන්නිනායක නම් ඒ ප්‍රතිභාපූර්ණ ගීපද රචකයා සහ මානව හිතවාදියා ඊයේ මෙලොවින් සමුගත් බවට ඊයේ සවන්පත් පුරා පැතිර යන විට එය ගීත ක්ෂේත්‍රයේ එක් පුරුක් ගිලිහී ගිය බවක් මට දැනුණි. නයනසේනයන් මට මුලින්ම හමුවන්නේ මීට වසර හය හතකට උඩදී මා අංකුර ගි පද රචකයෙකු ලෙස ගීතයක් හෝ දෙකක් ලියා තිබූ කාලයේදී ය. බොහෝ විට අලුත් ගී පද රචනයක් කළ විට නයනසේනන් වෙත යැවීමේ පුරුද්දක් මට තිබුණු අතර ඒ හැමවිටම ඒ ගැන ඔහුගේ නිර්ව්‍යාජ අදහස් ඉදිරිපත් කරන්නට තරම් නිහතමානී චරිතයක් විය.

සිංහල ගීත සාහිතයය තුළ නයසේන සලකුණ තැබූ ගීත ගණනාවකි. ඒ අතුරින් ඔහුගේ තිසා වැව ළඟ රළ පනාවේ, සැබෑ නොවනා හීන හරි මිහිරිය, ගං ඉවුරට කියා යන්න, ගල්ලැහැ පන් මිටිය, නොඑනා බව ආයේ වැනි ගීත ඉන් මගේ හදවත ස්පර්ශ කළ ගීතයන් අතර ඉහළින්ම සටහන් වේ. රජරටින් බිහිවූ හෙතෙම බොහෝ විට තම නිර්මාණයන් සඳහා ඒ ජීවිතය සහ සංකේතයන් භාවිත කළ ආකාරය සඳහන් කළ හැකිය. තිසා වැව ළඟ රළපනාවේ සහ ගං ඉවුරට කියා යන්න වැනි ගීත තුළ ඔහු අත්විඳි ඒ පරිසරය මිනිස් ජීවිතය සමඟ ඒකාබද්ධ කර තිබූ අයුරු සැබවින්ම විශිෂ්ටය.

තමන් ජීවත්වන සමාජය ගැන සැබෑ අවධානයකින් කටයුතු කළ ඔහු හැමවිටම සමාජීය වෙනසක් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි මානව හිතවාදියෙකි. ලංකාවේ බැහැර ජීවත් වුවද, හැමවිටම ලංකාව යහපත් රටක් කරගැනීමේ අරමුණින් හැමවිටම කටයුතු කළ ඔහුට සිය ජීවිත කාලය තුලදී එවැනි වෙනසක් දකින්නටවත් නොලැබීම නම් අප සැම දෙන ඛේදවාචකයයි. කෙසේ වුවද, නයනසේනයන් දැන් අපෙන් සමුගෙන ඇත. ගං ඉවුරට කියායන්න නොඑනා බව ආයේ යැයි ලියූ ඔහු නොකියාම ගොස් තිබේ. ඉතින් ඔහුට සුබ ගමන් පතමි.
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

16 + eighteen =