බොහෝ සාහිත්‍යය භූමිකා රඟ දැක්වූ නයනසේන වන්නිනායකයන් දිවියෙන් සමුගනියි

කවියෙකු, ගීත රචකයෙකු, තීරු ලිපි රචකයෙකු ආදී බොහෝ සාහිත්‍යය භූමිකා රඟ දැක්වූ නයනසේන වන්නිනායක Nayanasena Wanninayake මහතා මාස ගණනාවක් රෝගාතුරව  සිට අද(14) මෙලොවින් සමුගත්තේය.

නයනසේන වන්නිනායක මහතා රටින් බැහැරව සිටියද අන්තර්ජාලය විශේෂයෙන් facebook ඔස්සේ සියලු සාහිත්‍යකාමීන් සමඟ නිරන්තරයෙන් කටයුතු කළේය. මේ පහත පළවන්නේ මීට මාස එකහමාරකට ප්‍රථම තම facebook පිටුවට එක්කරන ලද සටහනකි. බොහෝ විට මෙය වන්නිනායක මහතා විසින් තබන ලද අවසන් facebook සටහනද වේ.

“පසුහිය තෙමසක් පුරා මහේ අසනීප තත්ත්වය ගැන සොයා බලා උදව් උපකාර කළ, කරන හැමෝටම ගොඩක් ස්තූතියි 🙏🏻
ඉක්මණින් හමුවෙමු.
එතෙක් දුරකතන ඇමතීමෙන් වැළකීම මහේ අසනීපයෙන් ගොඩ ඒමට කරන ලොකුම උපකාරයක්.. අසීරුතා මැද දියණිත්, මිණිබිරියත් මා ළඟ සිටිම මට හුස්ම පවන් පොදකි.
නැවතත් ආදරයෙන් කියමි. දුරකතන ඇමතුම් දෙන්න එපා.
මේ වසර සුබ නව වසරක් කිරීම අපේ අතේ.
මට ඕනේ ජීවිතය නොවේ,
ආදරයයි…”

මේ අතර පහත පළවන්නේ lanka news web වෙබ් අඩවිය වෙනුවෙන් කසුන් සමරතුංග නයනසේන වන්නිනායක සමඟ කළ සංවාදයක කොටසකි.

ජනතාව ගේ හුස්ම නොදැනෙන කිසිදු කලාවක් ප්‍රබල නැහැ ! – නයනසේන වන්නිනායක

#. රටෙන් පිට ඉඳගෙන වුණත් ඔබ ලිවීම අත හැරියෙ නැහැ?

කලින් කිව්වා වගේම මා ලියන්න පටන් ගත්තේ කුඩා කාලේ ඉඳන්. මෙහෙ ආවම නිර්මාණ කරල ඒවා පල කරන්න තැපැල් කරන්න පට්ට කාන්තාරේ අපහසු නිසා මුහුණු පොතට ඇබ්බැහි වුණා. මිතුරන් ගේ දිරිමත් කිරීම නිසා කවිත්, පසුව ඒවා ගී බවටත් පත්වුණා. මේ සිමෙන්ති, කම්බි, වැලි, කොන්ක්‍රීට් අතරේ හිරවෙච්ච මට හිතට දැනුන දේවල් ඔහේ ලිව්වා. හම්බ කරන්න මේ කාන්තාරේ ලොකු කැපකිරීමක් කරන්න ඕන. ලියන්නේ මට දරාගෙන ඉන්න බැරි වුණාමයි.

#. සාහිත්‍යය ගමනේ මෙතෙක් ආ දුර ගැන කෙටියෙන් යමක් කිව්වොත්?

මා ලියූ කවි එකතුවක් ‘අකුරක් හොයමි’ නමින් 2016 දී පළ කළා. ඒ වගේම ගී පද රචනා 83 ක් එකතු කොට ‘තිසාවැව ළඟ රළපනාවේ’ කෘතිය 2018 දී පළකළා. පහුගිය කාලෙ ‘සත්හඬ’ පුවත්පතට ‘වන්නිගේ කොලම’ නමින් තීරු ලිපි මාලවක් ලිව්වා. ඒ තමා ඉතාම කෙටියෙන් විස්තර.

#. කවියද ගීතයද වඩා ප්‍රබල?

ඒක නම් කෙටියෙන් කියන්න අමාරුයි. මං මෙහෙම කියන්නම්. අපේ රටේ කවිය තමා ප්‍රබලව පොදු ජනතාව අතර ගැවසුණේ. ජනකවි හරහා නිරායාසයෙන්ම ජනතාවගේ හදවත ගැහෙන රාවය කවිය තුල ප්‍රබලව දක්නට ලැබුණා. මේ ජනකවි තුළ පොදු ජනතාවගේ දාඩිය සුවඳ වගේම අව්‍යාජ සැබෑ චින්තනය නියෝජනය වුණා. මේවා කටවහරින් පරම්පරාවෙන් පරම්පරාවට සමාජගත වුණා. ඒත් පසුකාලීනව සාක්ෂරතාවය මත පුස්කොල පොත් හා සම්භාව්‍ය කාව්‍ය හරහා ලියැවුණේ එක්තරා ප්‍රභූ කුලකයක අදහස් පමණයි. මේ කවිවල රාජ උෂ්ණය, නාරි ලාලිත්‍යය, ආගමික ප්‍රවර්ධනය හා පරිසර වර්ණනා හැරුනුකොට දාඩිය සුවඳ නම් දැනුණේ නෑ. කොළඹ යුගයේ කුමාරගම ආදී කවියන්, ඊටපසුව සේකර, රත්න ශ්‍රී ආදී කවියන් මේ හයිජැක් කල කවිය වගේම ගීතයත් ආපහු ජනතාවට පවරාදෙන්න බොහෝ නිර්මාණ කළා. අද අප ගමන් කරන්නේ ඔවුන් හෙළිපෙහෙළි කළ මාවතේ. ගීත කලාව නම් අද පවතින්නේ මාධ්‍ය මාෆියාව අතේ. මේ යුගයේ ගී නිර්මාණ කෙසේ වෙතත් කලින් කළ හොඳ නිර්මාණවලට පවා දැඩි අසාධාරණයක් වෙලා. ජනතාවට ආමන්ත්‍රණය නොකරන, ජනතාවගේ හුස්ම නොදැනෙන කිසිදු කලාවක් ප්‍රබල වෙන්නේ නෑ .

#. නයනසේන වන්නිනායක කියන්නේ ජේවිපිකාරයෙක්ද?

මා කුඩාකල සිටම සමාජ සූරාකෑම හා අසාධාරණ ක්‍රමයේ ගොදුරක්. පැරණි වාමාංශය දියවී ගියපසු ජවිපෙ විතරයි මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න ‘සක්‍රීයව’ දායක වුණේ. ඒ වෙනුවෙන් ඔවුනට මගේ ගෞරවය එදත් තිබුණා, අදත් තියෙනවා. මා ජවිපෙ සාමාජිකයෙක් වෙලා නෑ. හැබැයි හදවතින්ම ඔවුන්ට ආදරය හා ගරු කරනවා. මේ ටික කියන්නේ මා දුටු හා අත්විඳි කටුක අත්දැකීම් මත පදනම් කරගෙන. ගාමක බලයක් හැටියට ජවිපෙ ඇති ශක්තිය හා ජවය අමතක කරන කිසිදු දේශපාලන ක්‍රියාවලියකට අනාගතයක් නැහැ කියන එක මා දැඩිව විශ්වාස කරනවා.

#. පොදුවේ ශ්‍රී ලංකාව කියන රට ගැන ඔබේ කියැවීම මොකද්ද?

තක්කඩි, චෞර දේශපාලකයින් විසින් මංකොල්ල කාපු නෞකාවක්.

#. එතැනින් ගොඩඑන්න කුමක් කළ යුතුද, මොකද්ද ඔබේ යෝජනාව?

රට මේ අගාධයෙන් ගොඩ ගන්න දැක්මක්, සැලසුමක්, ප්‍රතිපත්තියක් ඇති විනය ගරුක පාලනයක් ඇති කරන එක ඇරෙන්න විසඳුමක් නැහැ. කලින් කලට පුම්බන පුද්ගලයන්ට හා මේ පැරණි කාලකන්නි ක්‍රමය රකින උන්ටම පුදන චින්තනය වෙනස් විය යුතුයි. වෙනස් කළ යුතුයි. අමාරුයි තමා. ඒත් එය කළ යුතුමයි. කළ හැකියි. ඒ සඳහා අවම කොන්දේසි යටතේ එකඟවිය හැකි පොදු පෙරමුණක අවශ්‍යතාවය දැඩිව තියෙනවා.

 

මා මියගිය තැන
– නයනසේන වන්නිනායක

අහිතක් නැත්තම්
මොහොතක් එනවද
ගමනක් ඇරඹුණ
බස් නැවතුම වෙත.

ආන්න අතනයි
සෙරෙප්පු අඩියෙන්
කඳුළු පාගමින්
නුඹ හිටගත් තැන..

එදත් හිටියේ මම
මේන්න මෙතනම
සිගරට් කොටයක්
බිම පෑගුන තැන…

වැහිබර ඇස්වල
විදුලි පහරකින්
මා හද හළු වී
මගේම මළකඳ
මිහිදන් කළ තැන..

අපත’ර තිබුණා
සිමෙන්ති බංකුව
කවදාවත්
ඉඳගන්නට බැරිවුන..

අහිතක් නැත්තම්
එනවද එතනට
ගමනක් නැවතුණ
බස් නැවතුම වෙත

Leave A Reply

Your email address will not be published.

4 + four =