ඉතිහාසය බ්‍රිතාන්‍ය යුගය දක්වා දිවෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පුස්තකාලය

ශත වර්ෂ පුර්ණය (1921-2021)
ශ්‍රී ලංකීය නාමයට සින්නක්කර අයිතිය ලියමින් හිමිවුණු ලංකාවේ ප්‍රථම විශ්ව විද්‍යාලය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි. එසේම විශ්ව විද්‍යාල පවුලේ මව් තාරකාවයි. මෙම මව් තාරකාවේ න්‍යෂ්ටිය, කිරුල හදවත වු මහා පුස්තකාලය තම සියවැනි සංවත්සරය පහුගියදා සැමරුවේය. එහි අභිමානයේ අක්මුල් සොයා යන්නට පෙරමං ඇරඹුවේ මෙලෙසිනි.
පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාල උප සංස්කෘතිය සතු පුදුම හතෙන් පළමුවැන්න වන සත්මහලින් බැඳි පුස්තකාලය හෙවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හදවත සතු ඉතිහාසය බ්‍රිතාන්‍ය යුගය දක්වා දිවෙන්නකි. මෙරට විශ්ව විද්‍යාලයක් ඉල්ලා බ්‍රිතාන්‍යයේ මහ රැජිණට කල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මෙම කොලීජිය ලැබුණු අතර, ඒ සඳහා සැබෑ මානව හිතවාදී හැඟීමකින් හඬ නැඟු පිරිසක් විය පොන්නම්බලම් රාමනාදන්, ‍පොන්නම්බලම් අරුණාචලම්, ඩී. ආර්. විජේවර්ධන , මාර්කස් ප්‍රනාන්දු , ජේම්ස් පීරිස්, ඩී. බී . ජයතිලක ආදී විද්වතුන් පිරිසගේ මහන්සියේ ප්‍රතිඵලය මෙරට අධ්‍යාපන කෙෂ්ත්‍රයේ පහන්තරුව වීමට ඊට වැඩි කළක් ගත නොවුණ අතර, 1921 වසරේ මෙරටට විශ්ව විද්‍යාල කොලීජියක් හිමිවිය. (යුනිවර්සිටි කොලීජිය) එම මහරු සිතුමිණ සෙනෙහසින් පැලපදියම් කරන ලද්දේ කොළඹ 03 කුමාරතුංග මුනිදාස මාවතේ පිහිටි රෙජිනා වලව්ව තුළය. අද වන විට කොලේජ් හවුස් ගත නාමය භාවිතා වන්නේ ද මෙම ගොඩනැගිල්ලටය.
මේ සමඟම රැජිණ පාරේ (Queens Road) හි පිහිටි “විලා මෙන්සියා” නම් දෙමහල් ගොඩනැගිල්ල තුළ ඒ මහා ඉතිහාස කතාවේ මුල සනිටුහන් කරමින් පුස්තකාලය ස්ථාපිත කරන්නට විය.
ඒ සදහා භාග්‍යවත් වු මංගල පොත් පරිත්‍යාගය පොන්නම්බලම් අරුණාචලම් ගේ පුත්‍රයා වු පද්මනාභ ගේ පොත් එකතුවකි. මෙම පොත් එකතුව සංඛ්‍යාත්මකව ගත් කළ 1421 කි. මෙම පරිත්‍යාගය කරන ලද්දේ පද්මනාභ ගේ බාප්පා හෙවත් “ෂින්නප්පා” වු පොන්නම්බලම් රාමනාදන් විසිනි.

(පද්මනාභ)

මෙම පුස්තකාලයේ වාසනාවන්තම පොත ලෙස 1921 වසරේ අප්‍රේල් 08 වැනි දා දිනයෙන් යුතුව පරිග්‍රහණ ලේඛණයේ අංක 01 යටතේ පද්මනාභ ගේ ENCYCLOPEDIA BRITANNICA ( එන්සයි
ක්ලොපීඩියා බ්‍ර්ටැනිකා) විශ්ව කෝෂය ඉතිහාසයට එක්වී ඇත. එම අංක එක සිට එක්දහස් හාරසිය විසි එක අංකය දක්වා පරිග්‍රහණ ලේඛණයේ සඳහන් වන්නේ “පද්මනාභ” එකතුවයි.
මෙම “පද්මනාභ” චරිතය පිළිබඳ පැවතෙන දුක්බර කතාවක් ද වේ.

පද්මනාභ තරුණයා එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් හිඳ ඇත. මේ කාලය තුළ ඔහු විදේශික තරුණියක් සමඟ පෙමින් බැඳී කාලය ගත කරන්නට වු අතර , එය ලංකාවේ සිටින දෙමාපියන්ට දැනගන්නට ලැබී ඇත. ඒ පිළිබඳ කලබලයට පත් වු පද්මනාභගේ පියා වු පොන්නම්බලම් අරුණාචලම් තම පුත්‍රයා වු මෙම සම්බන්ධයෙන් ඔහු මුදවාගෙන ලංකාවට රැගෙන ඒමට සුදානම් ව එංගලන්තයට ගියේය. එහෙත්, අවාසනාව යනු ඔහුට දැකගත හැකි වුයේ තම පුත්‍රයාගේ ප්‍රාණය නිරුද්ධ වු සිරුරය. තම පියාගේ ආගමනයේ ප්‍රතිඵලය කල්තියා අනුමාන කළ ඔහු සිය දිවි නසා ගත්තේය. මේ කටවහරින් පැවත එන කතාවක් වුවද, අවසන “පද්මනාභ එකතුව” මෙරට විශාලතම පුස්තකාලයට හුස්ම දුන්නේය. එය අදටත් පරම්පරා ගණනකට මිම්මක් , කොන්දේසියකින් තොරව නැණ නුවණ තෑගි කරමින් හිඳි.

(සර් අයිවර් ජෙනිංග්ස්)

කෙසේ වුවද 1931 වන තුරුද ලංකාව තම අනන්‍යතාව සනිටුහන් වන විශ්ව විද්‍යාලයක් නොවිය. යුනිවර්සිටි කොලීජිය මගින් ලබාදෙන ලද්දේ ලන්ඩන් විභාග සමත් වීම හරහා ලැබෙන උපාධියකි. එසේත් නොමැති නම් ඉන්දියාවට ගොස් උපාධියක් ලබාගත යුතුව තිබිණි.
නැවතත් මෙරට විසු අධ්‍යාපන හිතකාමී ප්‍රභූන්ට සිදුවුයේ යුනිවර්සිටි කොලීජියේ ලන්ඩන් පහන අත්හැර ලංකාවේම උපාධි අධ්‍යාපන පහන් සිළුවක් දැල්වීමට අරගල කරන්නටය. ඒ අනුව 1942 වසරේදී මෙරටට ලංකා විශ්ව විද්‍යාලය හෙවත් යුනිවර්සිටි ඔෆ් සිලෝන් ලැබුණේය. ඒ වන විට එහි විදුහල්පති ධූරය හෙබවීමටත්, ලංකාවේ දේශපාලන, අධ්‍යාපන යන ප්‍රමුඛ වපසරියන් සඳහ උපදේශනය උදෙසාත් බ්‍රිතාන්‍යය විසින් සර් අයිවර් ජෙනිංග්ස් මෙරටට එවන ලදි.
එතැන් පටන් ලංකා විශ්ව විද්‍යාලය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කෙරිණි. මුලිකවම කොළඹ හෝ කොළඹින් බැහැර මෙම සරසවිය ස්ථාපනය කරන්නේ ද යන්නට වාද පැවතුනද අවසන කොළඹින් බැහැර තැනක එම අධ්‍යාපන මල්වරය සිදුකරන්ට තීරණය විය. ඒ අනුව “පේරාදෙණිය”ද මහනුවර “අරුප්පල” යන ස්ථාන දෙක යෝජනා වු අතර අවසන් තීරණය ඒ පුන්‍ය භූමියට හිමිවිය.
ඒ අද පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටා ඇති පින්බිමයි. පේරාදෙණිය තේ වත්ත ඉතා කඩිනමින් විශ්ව විද්‍යාල භූමියකට උපත දෙන්නට සුදානම් විය. එහෙත් ප්‍රධාන බාධාවන් ද්විත්වයක් හේතු කොටගෙන එම කටයුත්ත නිම කිරීමට 1951 වසර දක්වා කාලයක් බලා සිටින්නට සිදුවිය. එහි පළමු අභාග්‍ය සම්පන්න හේතුව නම් විශාල ගංවතුරකින් මේ ප්‍රදේශය යට වීමය. දෙවැනි හේතුව නම් දෙවන ලෝක යුද්ධයයි.
කෙසේ වුවද , සර් ජෝන් කොතලාවල, ඩී. ආර්. විජේවර්ධන, ඩී. එස්. සේනානායක ආදීන් මේ කර්තව්‍යයට දැක් වු සහය අතිමහත් විය. විශ්ව විද්‍යාලය මෙහි ස්ථාපනය කිරීමට කල කැපවීම කොතෙක් ද යත් ඩී. ආර්. විජය විජේවර්ධන තමන් සතු වු නිවාසයක් සංඝාවාසයක් ලෙසට නම් කොට මෙහි අධ්‍යාපනය ලබන භික්ෂුන්ට පිදුවේය.
අවසන සියළු බාධාවන් දුරු වී 1951 වසරේදී කොළඹ සිට පේරාදෙණිය බලා ගමන් අරඹන්නට ලංකා විශ්ව විද්‍යාලයට හැකියාව ලැබුණි. විශ්ව විද්‍යාලය නම් වු කුටුම්භයේ මව් පදවිය දරූ පුස්තකාලය 1951 වසරේ දී නවාතැන් ගනු ලැබුවේ ප්‍රධාන කලාගාර ගොඩනැගිල්ලේ කාමර දෙකකය.

එවකට එහි පුස්තකාලයාධිපති වුවේ බ්‍රිතාන්‍ය ජාතික ආර්. ඒ. එන්රයිට් මහතාය. ඔහු 1941 වසරේ සිට 1951 වසර වන තෙක් මෙහි කටයුතු සිදුකළේය. පුස්තකාල එකතුව කොළඹ සිට පේරාදෙණියට රැගෙන එන විට ඔහු විසින් කොළ කැබැල්ලකුදු එහි ඉතිරි කර ආවේ නැත. අධික වෙහෙසකින්, කැපවීමකින් රාජකාරී කිරීම හේතුකොට ගෙන පේරාදෙණියට පැමිණි සුළු කාලයකින් මෙම පුස්තකාලයාධිපතිවරයා ජීවිතයෙන් සමුගෙන තිබිණ. ඔහුට සත්මහලින් බැඳි ලංකාවේ විශාලතම පුස්තකාලයට පය තබන්නට දෛවය විසින් වාසනාව තිළිණ නොකළේය.

ආර්. ඒ. එන්රයිට්

පේරාදෙණිය සරසවියේ සත්මහලින් යුත් පුස්තකාලය ඉදිකරන විට ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් නම් විශිෂ්ඨ නිර්මාපකයා මෙම ගොඩනැගිල්ල මේ තරම් විශාලව නිර්මාණය කරන ලද්දේ පුස්තකාලයක් යනු වර්ධනය වන ආයතනයක් බව අවබෝධකොට ගෙන සිටීම හේතු කොටගෙනය. එසේම එම මහල්හත අවුරුදු පනහකට පමණක් සෑහේ යැයි අනුමාන කරන්නට විය. ඉන් අනතුරුව තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනාගතයේ දිනක සිදුවන බවටද ඔහු අනාවැකි පළකළේය.

(එස්. සී බ්ලොක්)(කේ. ඩී. සෝමදාස)

මල් ලියකම්, පිරි සොඳුරුතම පොත්ගුල් ගොඩනැගිල්ලට 1960 වසරේ ගෙවදින ලද අතර ඒ වන විට එස්. සී බ්ලොක් නමැති පුස්තකාලයාධිපති වරයා එහි වාසනාව නම් තරඟයේ ජයග්‍රහකයා වී උන්නේය. ඉන් අනතුරුව කේ. ඩී. සෝමදාස පුස්තකාලයාධිපති වු අතර ඔහු ප්‍රථම ශ්‍රී ලාංකික පුස්තකාලයාධිපතිවරයා ද විය. ඔහු ලංකාවේ අහුමුළු සිසාරා ඇවිදිමින් වටිනා පුස්කොළ පොත් එකතුවක් ඇති කරන්නට විය. අදටද ලංකාවේ දෙවැනියට විශාලතම පුස්කොළ පොත් එකතුව ලෙස පේරාදෙණිය පුස්තකාලයට සාඩම්බර අභිමානයක් උරුම වන්නේ ඔහුගේ අප්‍රතිහත කැපවීමට මේ ප්‍රතිඵලයක් ලෙසිනි.

 

ඉන්පසු 1972 වසරේ දී ඉයන් ග්‍රණතිලක මෙහි පුස්තකාලයාධිපතිධුරයට පත් වු අතර ඔහු ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථ නාමවලියක් නිර්මාණය කලේය. ඔහුගේ පශ්චාත් උපාධි පර්යේෂණ කේන්ද්‍රෙකාට ගනිමින් ලංකාව පිළිබඳ දහසය ශත වර්ෂයේ සිට ඒ දක්වා ලංකාවේ සියලුම ක්ෂේත්‍රයන් පිළිබඳ රචිත පොත්පත් සඳහා වන ග්‍රන්ථනාමාවලියක් වෙලුම් ගණනාවකින් යුක්තව සකසනු ලැබිණ.

(ආර්. ඒ. එන්රයිට්)

 

හැරිසන් පෙරේරාප්‍රදීපා විජේතුංග

ඉන්පසු 1980 වසරේදී එන්. ටී. එස්. සේනාධීර, 2003 වසරේදී හැරිසන් පෙරේරා, 2012 වසරේ සිට 2015 දක්වා ප්‍රදීපා විජේතුංග යන පුස්තකාලයාධිපති වරුන් වැඩ කටයුතු කළ අතර මේ මහා පරම්පරාවේ අටවන පුරුක වන වත්මන් පුස්කාලයාධිපතිවරයා ආර්. මහේෂ්වරන්ය.

(ආර්. මහේෂ්වරන්)

ඔහුගේ කැපවීම හා නොපසුබට ධෛර්ය හේතුකොට ගෙන මීට වසර හැත්තෑපහකට එහා ගිය දිනෙක ලංකා විශ්ව විද්‍යාල පරපුරේ නිර්මාතෘ වන සර් අයිවර් ජෙනිංග්ස් පැවසු පරිදි පුස්තකාලයට නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය තේරුම් ගෙන පුස්තකාලයට නිවුන් ගොඩනැගිල්ලක් දායාද කරන්නට හැකිවිය. සර් අයිවර් ජෙනිංග්ස්ගේ මුලිකත්වයෙන් හා ෂර්ලි ද අල්විස් නමැති අසහාය ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැලසුම් අනුව මෙහි සියළුම ගොඩනැගිලි තුලින් පැරණි කලා, සංස්කෘතික අංග නිරූපනය වන්නට ඉඩකඩ සැපයු අතර මහා පොත්ගුල් සැලසුම් සඳහා ද එම දර්ශනය, න්‍යාය එකසේ යොදාගන්නට විය. ඒ අනුව පුස්තකාලයේ පිටුපස බිත්තියෙහි ඇඹීමට තීරණය කොට තිබී ඇත්තේ පොළොන්නරුවේ පොත්ගුල් වෙහෙරේ ඇති මහා පරාක්‍රමබාහු පිළිරුව ලෙස සැළකෙන ප්‍රතිමාවේ අනුරුවක් ඉදිකිරීමටය. ඒ සඳහා අදින ලද සැලසුම් අදටද දැකබලා ගත හැකි අතර, ඒ සඳහා තැනු වේදිකාව හා සලකුණු තවමත් දර්ශනය වේ. එදා එම ප්‍රතිමාව ඉදිකළේ නම් ගම්පොළ නුවර පාරට එය මනාව දර්ශනය වන්නට තිබිණ.
ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි පුස්තකාල වෙබ් ශ්‍රේණිගත කිරීම් අංශ ත්‍රිත්වයට අනුව පසුගිය වසර කීපය පුරාම පේරාදෙණිය විශ්ව විද්‍යාලය පළමු ස්ථානය හොබවන්නට සුදුසුකම් සපිරුවේය. ලක්ෂ දහතුනකට එහා ගිය පොත් එකතුවකින් සමන්විත පුස්කාල මන්දිරය අද වන විට ඩිජිටල් කරණය වු ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු ගබඩාවක් වී අවසන්ය. ‍ මෙම අග්‍රගණ්‍ය පොත්ගුල් මව සතු ශාඛා පොත්ගුල් සංඛ්‍යාව අටකි.
එදා සර් අයිවර් ජෙනිංග්ස් සැළසුම් කරන ලද්දේ පොත් ලක්ෂ හතරකට හා අධ්‍යයන පහසුකම් (Seating facilitate) සිසුන් 625 දෙනෙකුට වුවත් අදවන විට විශ්ව විද්‍යාලය තුල සිසුන් ප්‍රමාණය 12,000ක් පමණ ද අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය 3000ක් පමණය. එහෙයින් නව ගොඩනැගිල්ලක් අත්‍යවශ්‍ය විය. එසේම අද වන විට පුස්තකාල වෘක්ෂය සතු කාර්ය මණ්ඩලය 138 දෙනෙකි.
පුස්තකාලය සතු විශේෂ එකතූන් රැසක් වන අතර, ඒ මෙම පුස්තකාලය සතු දුර්ලභ ආභරණ වන ලෙස්ලි ද සේරම්, හෙන්රි ද මෙල්, ඩී . ආර්. විජයවර්ධන , රිචඩ් අබේසේකර , එච්. අයි. ගුණතිලක, උපාලි ගුණතිලක ආදී විද්වතුන් සතු වු ග්‍රන්ථ එකතූන්ය. එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පුස්තකාලය වු කලී ලංකාවේ මුද්‍රණය වන සියලු පත පොත්හි පිටපත් ලැබෙන ප්‍රධාන පුස්තකාල පහෙන් එකකි. 1955 වසරේදී පොත් ප්‍රකාශකයන්ගේ හා මුද්‍රණකරුවන්ගේ පනත් අනුව මුද්‍රණය වන සෑම පොත පතකින්ම පිටපත් පහක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට, පේරාදෙණිය විශ්ව විද්‍යාල පුස්තකාලය , ජාතික කෞතුකාගාර පුස්තකාලය, ජාතික පුස්තාකලය හා බ්‍රිතාන්‍ය පුස්තකාලයට ලබාදිය යුතුවිය. වර්තමානය වන විට ද මෙම නීතිය එලෙසම ක්‍රියාත්මක වන අතර බ්‍රිතාන්‍ය පුස්තකාලයට යවන ලබන කෘතිය මේ වන විට එම පුස්තකාලය විසින් ප්‍රතික්ෂේප වීම නිසා රුහුණු විශ්ව විද්‍යාල පුස්තකාලයට යවනු ලබයි.
පේරාදෙණිය පුස්තකාලය සතු පුස්කොළ පොත් ප්‍රමාණය පන්දහසක් වන අතර, ලංකාවේ පළමු පුස්කොළ පොත වන විශුද්ධි මග්ගයේ පළමු පිටපත ද මෙහි වේ. පුස්කොළ පොත් සංරක්ෂණය හා පොත් බැදීම ආදී සියළු අංශවලින් පරිපුර්ණ වු පුස්තකාලය තුල වන අමිලමය අංශ අතර “සිලෝන් කාමරය” හෙවත් Ceylon Room අමතක කළ නොහැකි අතර දෙස් විදෙස් කතුවරු විසින් ලංකාව පිළිබඳ රචිත ග්‍රන්ථයන් හැත්තෑ දහසකට වඩා ප්‍රමාණයක් මෙහි වේ.
ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වු මහාමාන්‍ය ඩී. එස් සේනානායකයන්ට විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධි උත්සවයේදී ගෞරව උපාධියක් පිරිනමනු ලැබු අතර එම උපාධි සහතිකය අදටද නිරුපද්‍රිතව දැක ගැනීමට හැකියාව ඇත.
ලංකාවේ පැරණිතම සිතියමට එකතු වන ෆර්ගියුසන් එකතුවද, ඊට අමතරව වෙස් මුහුණු, චිත්‍ර, ලෝහ ප්‍රතිමා එකතුවක් ද වේ. ලංකාවේ පැරණිතම විදුලි සෝපාන දෙකකින් එකක් ඇත්තේ මෙම පුස්තකාල ගොඩනැගිල්ල තුරුළේය.
මහල් හතකින් යුත් පොත් ගුලේ දුර්ලභ නිර්මාණ තාක්ෂණික ලක්ෂණ අතර මෙහි ශබ්ද පිටතට යෑමෙන් වළකින ලෙස නිමවුම් තාක්ෂණය යොදා ගැනීම මෙන්ම ස්වභාවික වායු සමීකරණ පහසුකම්ද, එසේම එකවර සිසුන් අටසියයකට ප්‍රමාණයකට අධ්‍යයන කටයුතු කළහැකි අවකාශයද, ඉතා දියුණු තාක්ෂණයෙන් යුක්ත සම්මන්ත්‍රණාගාරයක්ද, නවීන තාක්ෂණ දේශන ශාලා, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා දේශන ශාලා මෙහි වේ. එසේම මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් වෙනුවෙන් ඉදිකළ කෞතුකාගාරයක් ද වේ.
විශේෂිතම ලක්ෂණ අතර මෙම මහල් හතින් බිම්මහළ සතුව ඇති සේෆ්ටි වොලට් (Safety Vault ) හෙවත් පොත් සුරකිනු සඳහා මයික්‍රෝ ෆිල්ම් (Micro Film) ගතකොට තැන්පත් කළ කුටියකි. වායු සමීකරණය කරන ලද මෙම කුටිය ඉතා දියුණූ සංවේදී උපාංග (Censer) භාවිතා කොට ඉදිකොට ඇත්තේ හදිසි ගිනිගැනීම් ආදී උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම උදෙසාය.
අද වන විට පේරාදෙණිය සරසවි පුස්තකාලය වසර සීයක් සමරමින්, තම දිවියේ විශිෂ්ඨ හැරවුම් ලක්ෂයට ළඟාවෙමින් හිඳි. ඒ පේරාදෙණිය සරසවිය සතු ලංකාවේ ඉතිහාසය සම්බන්ධ ප්‍රධානම ප්‍රාථමික මුලාශ්‍රයක් වන “මහාවංශය” ලෝක උරුමයක් බවට පත්කිරීමට මේ දිනවල අවශ්‍ය නිර්ණායක ඉතා සාර්ථකව සම්පුර්ණ කරමින් තිබීමය. පේරාදෙණිය සරසවියේ ඉතිහාස අංශයේ ප්‍රධානි ආචාර්ය රෝහිත දසනායකයන් පවසන පරිදි ‘’අනුමාන වශයෙන් පිළිගන්නා පරිදි මහානාම හිමියන් විසින් පළමු කොටසද ධර්මකීර්ති හිමියන් විසින් ලියන ලද දෙවන කොටසද, තෙවන කොටසේ කතෘ පිළිබඳ සටහනක් නොමැති මෙහි අවසන් කොටස තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමි විසින් රචනා කොට ඇත. ක්‍රි. ව. 1815 බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීම දක්වා රචිත මෙම මහාවංශය 1815 හෝ 1816 වසරේ රචනා කර ඇතැයි අනුමාන කරන අතර , මේ දැනට හමු ව ඇති පැරණිතම හා සම්පුර්ණ මහා වංශය වේ. ‘’


සියවස සැමරීම උදෙසා ක්‍රියාත්මක වන්නාවු සමරු ක්‍රියාවලීන් පිළිබඳ පුස්තකාලයාධිපති ආර්. මහේෂ්වරන් පවසන පරිදි ‘’අපි පුස්තකාලයේ සියවස සැමරුම වෙනුවෙන් සමරු තැපැල් මුද්දරයක් නිකුත් කරන්න සැලසුම් කරනව, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රයක් පැවැත්වීමටත් හිටපු පුස්තකාලයාධිපති වරයෙක් වුනු එන්. ටී. එස්. සේනාධීර වෙනුවෙන් අභිනන්ද ග්‍රන්ථයක් පළ කිරීමටත් අදහස් කරනවා. ඒ වගේම මානව පුස්තකාල සංකල්ප හෙවත් (Human Library Concept) යටතේ දැනුම බෙදා හදා ගැනීමේ නවමු ක්‍රියාවලියකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ලෙසිනි.
ගල්කණු එකසිය හැට හතරක් මත පිහිටි විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල සමඟ ප්‍රේමයෙන් වෙලී, ලක්ෂ ගණනක් විද්‍යාර්ථින්ටද නැණ ගුණ දොවන මේ මහා පොත්ගුල ලංකාවේ අධ්‍යාපනය නම් කිරුළේ මරකත මාණික්‍යය බව අවිවාදිතය.
– සඳරැසී සුදුසිංහ (fb)
ඡායාරූප – අජන්ත ධර්මරත්න
( ඇතම් චායාරූප අන්තර්ජාලයෙනි)

Leave A Reply

Your email address will not be published.

five × 2 =