හොර රහසේම ඛනිජතෙල් බලතල ඇමති අතට ගන්නේ ඇයි?

ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ ඇති ලංකාවට ඛනිජ තෙල් ආනයනය, අපනයනය, විකිණීම, සැපයීම, නිෂ්පාදනය කිරීම, මිශ්‍ර කිරීම හා බෙදාහැරීම සඳහා අවසර දීමේ ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවට ඇති ඒකාධිකාරී බලය අහෝසි කොට විෂය භාර ඇමති යටතට පවරා ගෙන ඇත. රටම කොවිඩ් අවදානමට මුහුණ දී සිටින මොහොතක ආණ්ඩුව හදිසියේ ගෙන ඇති මෙම තීරණය රට බරපතල අනතුරක හෙලීමකි.

1961 පනතේ අරමුණු

මෙහිදී 1961 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව බිහි වූයේ කවර අරමුණුවලින්දැයි සොයා බැලීම වැදගත්ය.
ලංකාවේ සමස්ත ආනයන වියදමෙන් 20%ත් 30%ක් අතර ප්‍රමාණයක් වැය වන්නේ ඛනිජතෙල් ආනයනය සඳහා ය. මින් ඉතා සුළු ලාභ පංගුවක් වුව ද විදේශයට ඇදී ගියහොත්, එය ආර්ථිකයට විශාල වශයෙන් බලපෑම් කරයි.
1961ට පෙර ලංකාවේ තෙල් වෙළෙඳාම ෂෙල්, එසෝ හා කැල්ටෙක්ස් යන විදේශ සමාගම් විසින් සිදුකෙරිණි. සමාගම් 3ක් ක්‍රියාත්මක වුව ද, තරගකාරී වෙළෙඳපොළක් වෙනුවට සමාගම් අතර එකඟතාවෙන් අසාධාරණ ලෙස විශාල ලාභයක් ලබා ගැනිණි. මෙම ලාභය පිටරටට ඇදී යාම ලංකා ආර්ථිකයට දරාගත නොහැකි වීම නිසා පිළියම් ලෙස ඉහත පනත මඟින් තෙල් සංස්ථාව පිහිටුවන ලදී. එමගින් ඛනිජතෙල් වෙළෙඳාම ජනසතු කරන ලදී.
ඉන් ලංකාව ඉතිරි කර ගත් විදේශ විනිමයෙන් 1969දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදි කිරීමෙන් ලංකාවට තෙල් ආනයනය සඳහා ගිය මුදලින් 25%ක් අඩු කර ගැනීමට හැකිවූ අතර, කොළොන්නාවේ ලිහිසි තෙල් යන්ත්‍රාගාරය, කෘෂි රසායන අංශය, ඝන තාර, ඉටිපන්දම් ආදී කම්හල් ඉදි කළා පමණක් නොව තෙල් සංස්ථාව නමට නැව් 3ක් මිලට ගැනීමට ද හැකි විය. 1976 මූල්‍ය වාර්තාවලට අනුව ලංකාවට තෙල් ගෙන ඒමට ගිය වියදමෙන් 45ක් ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයා ඇත.

ජේ. ආර්. ගේ විකිණිල්ල

1980 දශකයේ ශ්‍රී ලංකා රජය කලාපයේ උපායමාර්ගික මර්මස්ථානයක පිහිටි ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඇමෙරිකාවට බදු දීමට උත්සාහ කළේ ය. එය ඉන්දියානු රජයේ ආරක්ෂාවට බලපාන බව පවසා රජීව් ගාන්ධි කළ තර්ජන නොතකා ක්‍රියා කිරීමේ ප්‍රතිපලයක් ලෙස 1987 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කෙරුණු අතර, එහි ප්‍රධාන කොන්දේසියක් වූයේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාව සමඟ පරිහරණය කරන බවයි.
එහි ම දිගුවක් ලෙස 2003 වසරේ දී ඉන්දියාව චීන වරාය තෙල් ටැංකිවලට මෙන්ම ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයට ඇතුළු වූ අතර, ඒ සඳහා 2003දී 1961/28 දරන පනත සංශෝධනය කරන ලදී.
2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත මඟින් 1968/28 පනතේ 5ණල 5ඊල 5ක්‍ල 5ෑල 5ත්‍ල 5ඨල 5ෂ හා 5න්‍ වගන්තිවලින් ඛනිජතෙල් සංස්ථාවට පවරා ඇති ඒකාධිපති බලය නොසලකා කටයුතු කිරීමට 2002 අංක 2 දරන බලශක්ති සැපයුම් (තාවකාලික විධිවිධාන) පනත මඟින් වසර 2ක කාලයක් සඳහා ස්ථාපිත බලශක්ති සැපයුම් කමිටුව වෙත බලය පවරන ලදී.

2002/33 පනතේ 5 වගන්තිය මඟින් බලශක්ති සැපයුම් කමිටුවේ නිර්දේශ මත ඛනිජතෙල් ආනයනය කිරීම, අපනයනය කිරීම, විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට පවරන ලදී. මුල් අවස්ථාවේ දී බලපත්‍ර 3ක් නිකුත් කිරීමට බලය ලබා දුන් අතර, ඉන් එක් බලපත්‍රයක් ලංකා ඉන්දියානු තෙල් සමාගමට හිමි විය. මෙම බලපත්‍රයේ වලංගු කාලය 2023න් අවසන් වේ.
වසර දෙකකින් එනම් 2005 සිට බලශක්ති සැපයුම් කමිටුව අහෝසි වූ අතර, ඇමතිවරයාට නිර්දේශ දීමට නීතිමය කමිටුවක් නොමැතිකමින් නැවත 1968/28 පනතට අනුව තෙල් සංස්ථාව සතු ඒකාධිකාරී බලය එලෙස ම බලාත්මක විය.
ඇමතිවරයාට බලපත් නිකුත් කිරීමේ බලය පවරීමේ අවශ්‍යතාවය කුමක්දැයි මීලඟට විමසා බලමු.
ඉන්දියානු තෙල් සමාගමට ලබා දී ඇති බලපත්‍රයේ කාලය දීර්ඝ කිරීමට දැන් ඇමතිවරයාට බලය නැත. ඉන්දියානු තෙල් සමාගම ලංකාවට විශාල පාඩුවක් සිදු කොට ඇත. එම නිසා එල්. අයි. ඕ. සී.යට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු දෙකක් විභාග වෙමින් පවතී.

තවද මේ වන විට ත්‍රිකුණාමලේ චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවැරීමේ කාර්යය වේගවත් කොට ඇත. එහි දී යෝජිත නව සමාගමට බලපත් ලබා දීමට අවශ්‍යව ඇත.

උනෙක් කරුණ මෙසේය. හම්බන්තොට වරාය අයත් ‘හම්බන්තොට අන්තර්ජාතික වරාය සමාගම’ (්‍යෂඡඨ) දැනට නැව් තෙල් වෙළෙඳාම සඳහා රටට තෙල් ගෙන්වනු ලබයි. මේ වන විට තෙල් සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත. රාජ්‍ය බැංකු දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,300ක් ණය වී ඇති අතර, තෙල් ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දැඩි අර්බුදයක සිටී. ඇමතිවරයාට බලය ලබාගත්විට ්‍යෂඡඨ හරහා චීනයේ සිනොපෙක් සමාගමට තෙල් ගෙන්වා හම්බන්තොට හරහා තෙල් බෙදාහැරීමට බලය ලබා දීමට හැකියාව ලැබේ. වෙනත් බාහිර පාර්ශ්වයන්ට තෙල් ගෙන්වීමටත් බෙදාහැරීමටත් බලය ලබා දීමද මෙහි තවත් අරමුණකි.

ඇමති කියන බොරු

ඇමතිවරයා රටටත්, වෘත්තීය සමිතිවලටත් මෙම ඇත්ත ප්‍රකාශ නොකරයි. ඔහු මාධ්‍ය සංදර්ශන තබා ප්‍රකාශ ක්‍රන්නේ, අබලන්ව ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය සඳහා මුදල් නොමැතිකමින් එයට ආයෝජකයකු ගෙන්වා ගැනීමට මෙම පනත වෙනස් කරන බවයි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3,000ක හෙවත් රුපියල් බිලියන 600ක ලංකාවේ මෙතෙක් විශාලතම ආයෝජනය බව පවසයි. එයට එක විටම කිසිවකුටත් විරුද්ධ විය නොහැකි යෝජනාවක් මෙන්ම විරුද්ධ වන්නන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසිය හැකිය.
පිරිපහදුව සැදීම සත්‍යයයක්දැයි විමසා බැලිය යුතුවේ.
ප්‍රථමයෙන්ම පිරිපහදුව සැදීමට 1968/28 පනත කඩිමුඩියේ වෙනස් කිරීම අත්‍යවශ්‍ය නොවේ. එය සිදු කළ යුත්තේ ආයෝජකයා සොයා ගත් පසු නිශ්චිත අවශ්‍යතාව අනුව පමණී. තවම ශක්‍යතා අධ්‍යයන ඇරඹුවා පමණි. එය අවසන්කොට ටෙන්ඩර් කැඳවා ආයෝජකයකු සොයා ගැනීමට අඩුම තරමින් තවත් වසරකට වැඩි කාලයක් ගත වන්නේය.
මෙම යෝජිත පිරිපහදුව ඉදි වන්නේ තෙල් සංස්ථාව යටතේ නොවේ. පෞද්ගලික අංශය විසින් ඉදි කොට ඔවුන්ගේ සම්පූර්ණ වියදමත්, තවත් අපේක්ෂිත ලාභයකුත් උපයා ගන්නා තෙක් වසර ගණනාවක් (මෙය වසර 20කට වැඩි විය හැකි අතර, එය බලාපොරොත්තු වන ලාභය හා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අනුව තීරණය වන්නකි) ඔවුන් පරිහරණය කොට තෙල් සංස්ථාවට පැවරීමේ එකඟතාව අනුව ඉදි වන්නකි. ජනාධිපතිවරයා පසුගිය 07දා අන්තර්ජාතික ආයෝජක සමුළුවේ දී ප්‍රකාශ කළේ, 2030 වන විට ලංකාව සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියට මාරු වන බවයි. ජපානය මෙම වසරේ සිට නිපදවන්නේ දෙමුහුන් මෝටර් රථ පමණී. එනම් වසර 20කින් මේවායේ උපයෝගිතාවය කවරාකාර වේ යන ප්‍රශ්නය පවතී.
පිරිපහදුව පෞද්ගලික අංශය සතු නම්, පනතත් වෙනස් කොට ඔවුනට තෙල් ආනයනය, අපනයනය, බෙදාහැරීම ඇතුළු සියලු බලතල හිමි නම් දැනට පවතින අබලන් පිරිපහදුවට එය සමඟ තරග කොට පවත්වාගෙන යා හැකි ද? ඉන්දියාව, චීනය හා තවත් පෞද්ගලික පිරිපහදුවකුත් සමඟත් තරග කොට තෙල් සංස්ථාව පවත්වාගෙන යන අයුරු ප්‍රථමයෙන් ඇමතිවරයා පැහැදිලි කර දිය යුතු ය. තෙල් සංස්ථාව විකුණන්නේ නැත. එහි වෙළඳාම අනෙක් අයට විකිණූ පසු තෙල් සංස්ථාවේ විකිණීමට දෙයක් ඉතුරු වන්නේ ද නැත.
පිරිපහදුව පෞද්ගලික අංශයේ නම්, ඇමති කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වාර්ෂික ලාහය වසර 20ක් පමණ යන තෙක් ලැබෙන්නේ ඔවුන්ට නම්, අපට ඉතිරි වන්නේ පරිසර හානිය පමණක් ද? පිරිපහදු තෙල් ගෙන්වා විකිණීම මීට නරක ද යන ප්‍රශ්නය නිරාකරණය කළ යුතු නොවේ ද?

රට මුහුණ දෙන අනතුර

ඛනිජ තෙල් පිළිබඳ සියල්ල විකුණා දැමීම අනෙක් විකිණුම් මෙන් නොවේ. විකිණෙන්නේ රටම මෙහෙයැවිය හැකි බලශක්තියයි.
ඇමතිවරයාට බලය පැවරීමත් සමඟ හම්බන්තොටින් චීනයටත්, ත්‍රිකුණාමලයෙන් ඉන්දියාවටත් ලබා දුන් පසු ඇමති දිවුරා කියන ලෙස තෙල් සංස්ථාව නොවික්කත් ඉබේම වැසී යාම වැළැක්විය නොහැකි ය.
දැනට රාජ්‍ය ආයතනවලින් තෙල් සංස්ථාවට ඇති ණය ප්‍රමාන සුළුපටු නැත. විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 79,410ක්, ශ්‍රී ලන්කන් එයාර් ලයින් මිලියන 57,418ක්, විදුලි බලාගාර මිලියන 10,693ක්, ත්‍රිවිධ හමුදාව මිලියන 1,371ක්, දුම්රිය දෙපාර්තමේන්තුව මිලියන 479ක් ආදී තවත් ආයතන තෙල් සංස්ථාවට ගෙවීමට ඇත.

පෞද්ගලික සමාගම් මෙලෙස ණයට දෙනු ඇද්ද?

2004 වසරේ තෙල් සංස්ථාවේ පිරවුම් හල් ඇතුළු කොටස් ‘ඉන්දියානු භාරත් පෙට්රෝලියම්’ වෙත විකිණීමට චන්ද්‍රිකා ආණ්ඩුව දරූ උත්සාහය ජ.වී.පෙ. ඇමතිවරු කැබිනට් රැස්වීම් වර්ජනය කොට, වෘත්තීය සමිති එක්ව ගෙන ගිය සටනෙන් පරාජය නොකළේ නම්, එදා ඉන්දියාවට සම්පූර්ණ තෙල් පාලනය් හිමි වීමට ඉඩ තිබිණ.
දැනට තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 13.00ක්, ඩීසල් ලීටරයකින් රු. 11.00ක් ලෙස ජනතාව වෙනුවෙන් පාඩු ලබයි. මින් ඉදිරියට පෞද්ගලික සමාගම්වල ලාභය ද සමඟ මීට වැඩි මුදලක් තෙල් වෙනුවෙන් ගෙවීමට ජනතාවට සිදුවනු ඇත. එපමණක් නොව 1961ට පෙර තිබූ තත්වයට රට ගමන් කරනු ඇත. එසේම බලශක්තිය හැසිරවීම හරහා චීනය හා ඉන්දියාව ලංකාවේ දේශපාලනය ඔවුන්ට අවශ්‍ය පරිදි හසුරුවනු ඇත.

-දුෂ්‍යන්ත ඉරුගල්බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

16 + 11 =