ෆේල් වීමේ පදනම ආර්ථික අර්බුදයයි

“රසායනික පොහොර ගෙන්වන්න ඩොලර් මෙච්චරක් යනවා. කාබනික පොහොර නිකම් දීලා, අඩු වෙන අස්වැන්නට වන්දි ගෙව්වත් අපිට ලාභයි” මේ නන්දසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයයි. එනම්, පොහොර ගෙන්වීම නතර කරන තින්දුව ගත් මුල් අවස්ථාවේ ප්‍රකාශයයි. ඒ වෙලාවේ ගණන් බැලුවේ, රසායනික පොහොර ගෙන්වන්න යන වියදම ගැන ය. ඩොලර් විශාල ප්‍රමාණයක් රටෙන් පිට යන එක වළක්වා ගැනීම ය. බොහෝ ආනයන සීමා කළේ ඒ නිසා ය. වාහන ඇතුළුව කහ පවා ගෙන්වන එක නතර කළේ ඩොලර් ටික ඉතුරු කර ගන්නට ය. පොහොර තහනම් තීන්දුවට බලපෑවේ ද එයයි. එහෙත් දැන් කියන්නේ, වෙන වෙන කතාවල් ය. වකුගඩු රෝග නිසා මිනිස්සු දහස් ගණනක් මැරෙන එක වළක්වා ගන්න, පිළිකා රෝගයෙන් මිනිස්සු බේරා ගන්න ආදී කතා කියන්නේ දැන් ය. ඇත්ත හේතුව වූයේ ආණ්ඩුවට සල්ලි නැතිකම ය. සල්ලි ඉතුරු කර ගන්න හිතාගෙන ගත්ත තීරණය දැන් දැන් වෙන වෙන ආලවට්ටම්වලින් ඔපමට්ටම් කරමින් සිටියි.

පෙට්‍රෝලියම් නිතිගත සංස්ථාවේ පනත වෙනස් කිරීම ද ඊට සමාන ය. රටේ ආනයන වියදමින් සැලැකිය යුතු ප්‍රමාණයක් යන්නේ තෙල් ගෙන්වන්නට ය. මේ වන විටත් පෙට්‍රෝලියම් එක රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි හැටහය දාහක් ණය වී ඇත. තව දුරටත් බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීමත් ගැටලුවක් ලෙස පැනනැඟී තිබේ. ඒකට උත්තරයක් සොයා ගත යුතුව තිබේ. පහුගිය දවස්වල නාමල් රාජපක්‍ෂ ඩුබායි ගොස් ඇත්තේ ද දිගුකාලීන ණයට තෙල් ගෙන්වා ගන්න පුළුවන් ද කියා බලන්න යැයි ආරංචියක් ඇත. එහෙත්, එය අසාර්ථක වූ බව ද කියයි. තෙල් ගෙන්වන්නත් ඩොලර් අත්‍යවශ්‍ය ය. පොහොර ගෙන්වන්න යන වියදම වගේ තිස්-හතළිස් ගුණයක් තෙල් ගෙන්වන්න වියදම් වේ. ඒ අර්බුදයට විසැඳුම ලෙස තෝරාගෙන ඇත්තේ, ඉන්ධන පිරිපහදුවත් විකුණා දැමීම ය. ඉතිහාසයේ සරදම නම්, ගම්මන්පිලට ම මෙයට කර ගහන්නට සිදු වීම ය.

තෙල් ගෙන්වන්න සල්ලි හොයා ගන්න හදන්නේ, තෙල් ගෙන්වීම, බෙදාහැරීම, පිරිපහදුව ආදී සියල්ල පෞද්ගලික අංශයට පැවරීමෙන් ය. දැනට එය ආණ්ඩුවට මහා බරක් වී තිබේ. එක්කෝ ඉන්දියානු සමාගමකට, චීන සමාගමකට එහෙමත් නැත් නම්, ඒ දෙකට ම එය මුළුමනින් ම පැවරිය හැකි ය. තවත් අවශ්‍ය නම්, වෙනත් පෞද්ගලික බහුජාතික සමාගමකට එය පැවරිය හැකි ය. ඒකට ලයිෂන් එක දෙන එක විතරක් ගම්මන්පිල ළඟ තියා ගත්තා ම හොඳට ම ප්‍රමාණවත් ය. ඒ විකිණෙන පෑන් පාරට ලොකු වටිනාකමක් ගත හැකි ය. එය මුළු ජීවිත කාලයට ම ප්‍රමාණවත් ය.

කොරෝනා වසංගතය මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වෙද්දීත්, රට වහන්නේ නැත්තේ ආර්ථික අර්බුදය නිසා ම ය. රට වහලා ව්‍යාපාර නතර වුණා ම ආණ්ඩුවට පාඩුයි යන්න මෙහි ප්‍රධාන හේතුව ය. ඒකටත් බොරුවට කියන්නේ, එදිනෙදා ආදායම් හොයා ගන්න අය අමාරුවේ වැටෙනවා, ඒ නිසා රට වහන්නෙ නැති බව ය. දැනට පනවා ඇති සංචරණ සීමා නිසා තැළෙන්නේත් පොඩි මිනිසා ම ය. මහා පරිමාණ කර්මාන්ත ශාලා, ව්‍යාපාර සියල්ල වැඩ ය. සුපිරි හෝටල්වල මත්පැන් අලෙවියට ද ඉඩ දී ඇත. ලොකු ලොකු හෝටල්වල ලොකු ලොකු අයගේ පාටි දැමිල්ල දිගට ම සිද්ධ වේ. ඒවායේ නතරවිල්ලක් නැත. පාරට බැස්සොත්, වෙනදා වාගේ ම වාහන එහෙ මෙහෙ යන්නේ ය. අඩුවට ඇත්තේ, පොදු බස්රථ ධාවනය සහ දුම්රිය ධාවනය පමණි.  ඒ පොඩි මිනිහාගේ වාහන ය.

නීතිය ක්‍රියාත්මක වන්නේ ද එලෙස ම ය. කුරුණෑගල නගරාධිපතිගේ උපන් දින පාටියට නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ සිද්ධිය ඡායාරූපගත කළ මාධ්‍යවේදියා පොලිසියට කැඳවූයේ ය. නගරාධිපති තවමත් නිදැල්ලේ ය. පියුමි හංසමාලිලාට ක්‍රියාත්මක වූ නීතිය මුළු රට ම දැක්කේ ය. එහෙත්, වයසක අම්මලා මුව ආවරණය හරියට දාගෙන ගියේ නැති වුණා ම ඔවුහු නිරෝධායනයට යැව්වෝ ය. යාපනය නගරය පුරා පොලිසිය මැදිහත් වෙලා එවැනි අය උස්සාගෙන ගිහින් පොලිස් බස්රථවලට පටවනු ලැබී ය. එවැනි සිද්ධි එමට ය. මෙච්චර තහනම් නීති පනවලා තියෙද්දී, රාවණා බලයේ සද්ධාතිස්ස හාමුදුරුවන්ගේ මවගේ මළගෙදරට ඔය නීති කිසිවක් අදාළ වූයේ නැත. අජිත් රෝහණ ද නිහඬ ය. අවුරුදු දෙකක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින් ම කඩාවැටී ඇත. මෙච්චර කාලයක් ගිහිල්ලත් ආණ්ඩුව හරිහමන් උත්තරයක් ඒ වෙනුවෙන් ලබා දුන්නේ නැත. හැම දරුවකු ම, හැම දෙමවුපියකු ම ඔන්ලයින් අධයාපනයෙන් හොඳට ම හෙම්බත් වෙලා ය. ඉන් මතුව ඇති අසමානතාව ඉතාමත් බරපතළ ය. එක රූපවාහිනී නාළිකාවක් ඒ වෙනුවෙන් වෙන් කරලා අධ්‍යාපනය ලබා දෙන්න සල්ලි ටිකක් වියදම් කරන්න ආණ්ඩුව සූදානම් නැත. ඒ වුණාට මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන්න නම්, රුපියල් කෝටි තුන්සියහැට ගණන් සල්ලි වියදම් කරන්නේ ය. ආර්ථිකය බංකොළොත් කතාව ඒකට අදාළ නැත. බැංකුවට ණය වෙලා හරි ඒවා නම්, කඩිමුඩියේ කරන්නේ ය.

පොහොර කතාවේ ප්‍රතිපත්තිය ගත්තොත්, හරි පැහැදිලි ය. නන්දසේනගේ ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිස්නව වැනි පිටුවේ ඇත්තේ මෙසේය:

“ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අතර, ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කළ යුතු ය.” “ක්‍රමානුකූලව ගොවියා පූර්ණ වශයෙන් කාබනික පොහොර භාවිත කරන තත්ත්වයට දිරිගන්වනු ලැබේ.” ඒ අනුව අවුරුදු දහයක කාලයක් පුරා ක්‍රමානුකූලව පියවර ගන්නා බව පැහැදිලිව සඳහන් ය. එය එසේ තිබිය දී, හදිසියේ පොහොර ගෙන්වීම නතර කළේ සල්ලි වියදම් කරන්නට ඇති අකැමැත්තට ය. ක්‍ෂණික ලාභය ඇත්තේ, කොයි තීරණයෙන් ද යන්න මත ය. එහෙත්, ඉන් අද රටට සිදු වී තිබෙන හානිය ආණ්ඩුවට අදාළ ම නැත.

තෙල් ගෙන්වන්න සල්ලි හොයා ගන්න හදන්නේ, තෙල් ගෙන්වීම, බෙදාහැරීම, පිරිපහදුව ආදී සියල්ල පෞද්ගලික අංශයට පැවරීමෙන් ය. දැනට එය ආණ්ඩුවට මහා බරක් වී තිබේ. එක්කෝ ඉන්දියානු සමාගමකට, චීන සමාගමකට එහෙමත් නැත් නම්, ඒ දෙකට ම එය මුළුමනින් ම පැවරිය හැකි ය. තවත් අවශ්‍ය නම්, වෙනත් පෞද්ගලික බහුජාතික සමාගමකට එය පැවරිය හැකි ය. ඒකට ලයිෂන් එක දෙන එක විතරක් ගම්මන්පිල ළඟ තියා ගත්තා ම හොඳට ම ප්‍රමාණවත් ය. ඒ විකිණෙන පෑන් පාරට ලොකු වටිනාකමක් ගත හැකි ය. එය මුළු ජීවිත කාලයට ම ප්‍රමාණවත් ය.

මේ විදියට බැලුවා ම රටේ සම්පත් විකුණන්නේ නැහැ කියපු කතාව පට්ටපල් බොරුවක් ය. දැන් අමු අමුවේ එළිපිට ම විකුණා දමනු ලබයි. එක ම වෙනස ඇත්තේ, හැම එකකට ම ‘ආයෝජනය’ කියන බොරු  බෝඩ් ලෑල්ල අලවා ගැනීම ය.

පොහොර තීන්දුවත්, පෙට්‍රෝලියම් තීන්දුවත්, කොළඹ නගරයේ ප්‍රධාන ඉඩම් විකුණා දැමීමත්, පෝට් සිටිය චීනයට දීමත්, කොරෝනාවලට මැදිහත් නොවීමත්, අධ්‍යාපනයට මැදිහත් නොවීමත් මේ හැම එකකට ම බලපාලා තියෙන්නේ, ආර්ථික බංකොළොත්කම ය. ආර්ථිකයේ සැබෑ අර්බුදය ම ය. එය වහන්නට කොතරම් උත්සාහ කළත්, පතුලේ ම ඇති ඇත්ත හේතුව එයයි. අවුරුදු හැත්තෑතුනක රටේ ආර්ථිකයේ ශේෂ පත්‍රය එයට ප්‍රධාන හේතුව ය එන්න එන්න ම හැම ආණ්ඩුවක් ම කළේ තිබුණාට වඩා පහළට ආර්ථිකය ඇදවැට්ටවීම ය. අද කරන්නේත් ඒක ම ය. තව කොච්චර කාලයක් මේ වළෙන් ගොඩ එන්න හැදුවත්, ගොඩ එන්න ලැබෙන්නේ නැත. ඒ ආණ්ඩු මෙහෙයවන පුද්ගලයන්ගේ වැරැද්ද ම නොවේ ය. ආණ්ඩු අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්ද ය. දැන්වත් එය හරියට තේරුම් ගත යුතු ය. රටක ආර්ථිකයේ හදවත වන්නේ කෘෂිකර්මාන්තයයි. එය ඒ බරින් ම තේරුම් අරගෙන මැදිහත් වන්නට මහා සැලැසුමක් අත්‍යවශ්‍ය ය. එන එන බෝලයට පයින් ගහන්නා සේ එය කළ නොහැක්කකි. බලශක්තිය කියන්නේ ද කාර්මික සංවර්ධනයේ හදවත ය. අනෙක් පැත්තට රටක ජාතික ආරක්‍ෂාව ප්‍රධානතම සාධකයයි. එවැන්නක් පිළිබඳව මැදිහත් විය යුත්තේ ද දිගුකාලීන සැලැස්මකට අනුව ය. මේ සියල්ල ගත් විට හරි පැහැදිලිව දැනෙන්නේ, එවැනි අරමුණක් කරා යා හැකි සාමුහික ක්‍රියාකාරීත්වයක් ඇති පාලනයක අවශ්‍යතාවයි. ඒ වෙනුවෙන් මැදිහත් වීම රට ගොඩනැංවීමේ ප්‍රධාන ම කාර්යභාරයයි.

ජගදාක්‍ෂි
Leave A Reply

Your email address will not be published.

1 × 2 =