දකුණු ආසියාතික සමාජය විනිවිද යන ‘යාත්‍රාහාරි’

නේපාල ජාතික කවියෙකු වන භීෂ්ම උප්‍රෙති ‘Paaila Paaila’ යන නාමකායෙන් යුතුව, නේපාල බසින් ලියන ලද කෘතිය වසන්තා කේ මිහිඳුකුලසූරිය විසින් යාත්‍රාහාරී ලෙස සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. PEN ජාත්‍යන්තර සංවිධානයේ නේපාල ශාඛාවේ ලේකම්වරයා වන භීෂ්ම විවිධ සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇති ප්‍රවීණ ලේඛකයෙකි.
නවකතාවේ ශානරය
මෙම නවකතාවේ ශානරය ගැන විවිධ මත පළවී ඇති අතර බොහෝ විට සංචාරක නවකතා ශානරයට ආසන්න බවක් දැක්වුවද, මෙම කෘතිය සාහිත්‍ය ශානර කිහිපයක අපූර්ව මිශ්‍රණයකි. විශේෂයෙන් 2021 ජාත්‍යන්තර බුකර් සම්මාන විනිශ්චය මණ්ඩල ප්‍රධානි වූ ලුසී හැලට් විසින් පවසා සිටි එක් කාරණයක් මෙම කෘතියටද වලංගු බව පෙනි යයි. එනම්, නූතන ප්‍රබන්ධ රචකයන්, ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති අතර ඇති සීමාව බොඳකරමින් සිටින බවය. මෙම කෘතිය දෙස බැලීමේදී ද එම ප්‍රකාශය තහවුරු වේ. එබැවින් මෙය සංචාරක ආඛ්‍යානයකින් ලියැවුණු ප්‍රබන්ධ කෘතියක් ලෙස දැක්විය හැකිය. මෙම එමෙන්ම Fragmentary Novel ලෙස වර්ගත කෙරෙන නවකතාවක ලක්ෂණ ද මෙම නවකතාව තුළ විද්‍යාමාන වේ.

කොටස් නවකතා හෙවත් Fragmentary Novel

ඛණ්ඩිත හෝ කොටස්මය නවකතා ලෙස හැඳින්වෙන නවකතා තුළ දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඒවා නවකතාවක් ලෙස පමණක් නොව කෙටි කතා වශයෙන් හෝ පරිච්ඡේද වෙන වෙනම වුවද කියැවිය හැකි වීමය. මුල මැද අග සම්බන්ධිත නවකතා නොවන මෙම වර්ගයේ නවකතාවලදි මෙම ඛණ්ඩිත කොටස් මගින් කතාන්දරමය අත්දැකීමකට වඩා පාඨකයා දාර්ශනික කියැවීමකට රැගෙන යයි. කොටස් නවකතාව, fragments, vignettes, segments, documents ආදි කොටස් වලින් සමන්විතය. මෙම කාණ්ඩයේ නවකතාවකට උදාහරණයක් ලෙස ඉතාලෝ කැල්විනෝ ගේ සිසිරයේ රැයක ඔබ මගියෙකු නම් නවකතාව සැලකිය හැකිය. තවත් එවැනි ලොව ප්‍රකට නවකතා ගණනාවක් මෙම කාණ්ඩයට අයත් වේ.
යාත්‍රාහාරී කෘතිය සැලකීමේදි ද ඉහත කී ලක්ෂණ අපට හඳුනාගත හැකිය. මෙම නවකතාව තුළ විටෙක කතානායකයා සිය දියණිය වෙත යවන විද්‍යුත් තැපැල් පණිවිඩය් දකින්නට ලැබෙයි. (91 පිටුව) තවත් විටෙක කාන්තාවක් විසින් ඇයගේ ජීවිත කතාව ලියා දුන් සටහනක් එයට ඇතුළත් වෙයි. (111 පිටුව) තවත් විටෙක ඔහුගේ මිතුරෙකුගේ පර්යේෂණ පත්‍රිකාවක කොටස් දකින්නට ලැබෙයි. (205 පිටුව) එමෙන්ම මෙම කෘතියේ පරිච්ඡේදයන් එහි අවසානය හෝ ආරම්භයට සම්බන්ධ නොකර වෙන වෙනම කියවාගත හැකි අතර ඒවා තුළින් පාඨකයා නම් දාර්ශනික කියැවීමකට ගෙන යයි. මේ සියලු කාරණා කොටස් නවකතාවක ලක්ෂණ වේ. ගුප්තාගේ තේ කඩය. සබීතාගේ කතාව, ජීවන් කුමාරිගේ කතාව, ලාමා කාන්තාවගේ කතාව ලෙස මේවා නම් කල හැකිය. එමෙන්ම මෙම නවකතාව රේඛීය කාලරාමුවකට (Linear timeline) සීමා නොවී අතීතය සහ වර්තමානය වරින්වර සීරුමාරු වන යම් ඛණ්ඩිත කාලරාමුවක් ඇතිකරයි.

නවකතාවේ සමාජ දේශපාලනමය කියැවීම

නවකතාව ඇරඹෙන්නේ එක් නිශ්චිත කොටසකිනි. එනම් මෙහි එන කතානායකයා වන භාෂ්කාර් ෂර්මා ගෞතම් නැමැති මධ්‍යම පාන්තික නේපාලි ජාතිකයා තමන්ගේ සියලු සැප, පවුල තාවකාලිකව අත්හරිමින් නේපාලයේ බටහිර දෙසට දුෂ්කර සංචාරය ආරම්භ කිරීමෙනි. එය එක්තරා විදියට දුෂ්කර ප්‍රයාණයක් ලෙස දැක්විය හැකිය. නව අර්ථකනයකින් ගිහිගෙයින් නික්මීමක් ලෙස ද සැලකිය හැකිය. නවකතාව පුරාම ඔහු යම් බොහීමියානු ජීවිතයක් ගෙවන බවක් පෙනෙයි. පුරාතනයේ සිටම සංචාරය පුද්ගලයෙකුගේ දැනුම, ප්‍රඥාව වඩවන්නක් බව පෙනියයි. හෝමර් ගේ ඔඩිසි වැනි වීර සංචාරක නවකතාවක, වාල්මිකීගේ රාමායණයේ සිට, ටොලමි, ඉබන් බතුතාගේ සංචාරක සටහන් වලින් පවා සංචාරය පුද්ගලයෙකු තුළ ඇති කරන ඥානය සහ ආධ්‍යාත්මීය බව දැකිය හැකිය. විශේෂයෙන්ම සිද්ධාර්ථ, ගෝතම ලෙස නිර්වාණාවබෝධය ලබාගන්නේද සංචාරය කරමින් දැනුම ගවේසණය කිරීම හරහා ය. එනයින් කතුවරයා සූක්ෂමව මෙම නවකතාව ආරම්භ කරන්නේ එවැනි සංචාරයක් කෙරෙහි පාඨකයා තුළ ලාලාසාව දල්වමිනි.
“ඉදින්, මෙතැන් පටන් මා ළඟාවන ස්ථාන, මුණ ගැසෙනදර්ශන සහ මිනිසුන් දෙස මගේ පියැවි ඇසින් බලන්නට මම තීරණය කළෙමි. වීදුරු කාචයක් නොමැතිව නිරීක්ෂනය කරන දසුනක් නිසැකවම අත්දැකීම් මට්ටම ඉහළ නංවනු ඇත” පිටුව 13
කතුවරයා මෙම සංචාරයේදී තම උපැස් යුවලට සමුදී නිරුවත් දෑසින් ලෝකය දෙස බලන්නට සැරසෙන බවක් පාඨකයාට ඉඟි කරයි. මෙය සංකේතාත්මකව ඔහු තමන්ගේ මධ්‍යම පාන්තික දිවිය සහ ඒ තුළින් ගොඩනගාගත් ව්‍යාජ සමාජ වටපිටාව අභියෝගයට ලක්කරමින් නව දැනුමක් සොයා යන බවක් ඉඟි කෙරෙයි. කෘතිය පුරාම ඔහුට මුණගැසෙන නේපාල ජනතාව තුළින් ඔහු ජීවිතයේ නව මානයන් අත්දකී.
කතානායකයාට ගමන ආරම්භයේදීම හමුවන මව සහ දියණිය තුළින් නේපාල ගැමි ජනතාව, නාගරිකත්වය දක්වන බය පක්ෂපාතීකම සහ සැකය සටහන් කරයි. එහිදී මව සහ කතානායකයා අතර සිදුවන සංවාදය මෙලෙසය.
“තමුන්නාන්සේ ටවුමෙන් ආපු වැදගත් මහත්තයෙක්. අපි වගේ දුප්පතුන්ට ආචාර කරන්නේ ඇයි!”
“ඔයත් මං වගේම මනුස්සයෙක්. හැම මනුස්සයෙක්ම එක සමානයි” පිටුව 20
එහිදී පරම්පරා දෙකක කාන්තාවන් දෙදෙනාගේ ප්‍රතිචාර සලකා බැලීම වටී. දියණියගේ ප්‍රතිචාරය මව මෙන් මටසිලිටු, බය පක්ෂපාති එකක් නොවේ.
“ඔයා ඉස්කෝලේ යනවද?” ඇයව කතාවට අල්ලා ගැනිමේ අටියෙන් මම ඇසුවෙමි.
මම කලින් එකකට ගියා. ඒත් ඒක අතෑරියා…”
“ඒ මොකද?”
“ඉස්කෝලේ අපට ගඟෙන් වතුර ගෙනත් දෙන්නෑ; අපේ කැම උයන්නෙවත්, අපට ඇඳුම් ගන්ඩ සල්ලි දෙන්නෙවත් නෑනේ, ඒකට අපි සල්ලි ගෙවනවා මිසක්…”
මම ඇය දෙස පුදුමයෙන් බලා සිටියෙමි. මෙතරම් කුඩා දරුවෙක් මෙතරම් බැරෑරුම් දේවල් උගත්තේ කානේද? මේවා ඇය පාසලෙන් ඉගෙන ගත්තා විය නොහැකි ය.
පිටුව 22
මෙහිදි කතුවරයා සියුම් ලෙස නේපාලයේ අධ්‍යාපන ක්‍රමය තුළින් ප්‍රශ්න කරන, විනිවිද දකින දරුවන් බිහි නොකරන බවට යම් විවේචනයක් මතු කරයි. එය දකුණු ආසියාතික කලාපයේ මෙන්ම විශේෂයෙන් ලංකාවේ ද නොඅඩුව දකින්නට ලැබෙන කාරණයකි. එසේ වුවද, අධ්‍යාපනය ඔවුන් පෙළන දරිද්‍රතාවය සහ කුල ක්‍රමයෙන් යම් පමණකට ගැලවීමට මඟක් වුවද කතුවරයා ඉඟි කරන්නේ ඒ සඳහා ප්‍රවේශයක් මේ ජනතාවට නොමැති බව ය. ධීවර ගම්මානයේදී ඔහු මුණගැසෙන දරුවන්ගේ කතාව තුළින් එය පැහැදිලි වෙයි. අවසානයේදී ඔහු මෙවැනි වැකියක් ලියයි.
“විඤ්ඤානයක් හෝ අධ්‍යාපනයක් නොමැති පුද්ගලයෙකුගේ ජීවිතය දහවල් කාලයේදි පවා අඳුරු ය. මෙය ධීවරයන්ගෙන් මා ඉගෙනගත් පාඩමකි.”
පිටුව 164
කතුවරයා විසින් අධ්‍යාපනය ගැන මවන මේ පරස්පරතාවය පාඨකයාට නැවත නැවතත් සිතා බලන්නට යමක් ඉතිරි කරන්නකි. පෙර අවස්ථාවේදී වඩා විචක්ෂණශීලි වූ කුඩා දියණිය තරම් මේ ධිවරයන්ගේ දරුවන් විචක්ෂණහීලි නොවේ. ඔවුහු බොහෝ දකුණු ආසියාතික ජාතිකයන් මෙන් සියල්ල කර්මයට නැතහොත් දෙවියන්ට පවරා ජීවත් වන්නෝ ය.
මෙවැනිම පරස්පරතාවයක් කතුවරයා විසින් එකගෙයි කෑම නැමැති චාරිත්‍රය සම්බන්ධව ගොඩනගයි. නවකතාවේ දහහතරවන පරිච්ඡේදයේදි ඔහු විස්තර කරන වයස්ගත ලාමා කාන්තාව සහෝදරයන් තිදෙනෙකුට බිරිඳක් වූ කාන්තාවකි. එහෙත් එය ඇගේ කැමැත්තෙන් සිදුවූවක් නොවන මුත් ඇය එයට ප්‍රතිරෝධයක් ද නොදක්වයි. තමන්ට උරුම වුනු දිවිය ගෙවා අවසන් කර ඇති ඇය, එය සමනය කරගන්නේ තමන් වෙත වෙන විකල්ප නැති බව පෙන්වමිනි.
ලංකාවේ පවා ක්‍රියාත්මක වූ එකගෙයි කෑමේ චාරිත්‍රය පුරුෂ මූලික සංකල්පයකින් බිහිව, පවුලේ දේපළ සහ ආධිපත්‍ය රඳවා ගැනීමේ අරමුණ ඉදිරියට තබමින්, එහි ගොදුර ලෙසට කාන්තාව භාවිත කිරීමේ අමනෝඥ ක්‍රියාදාමයකි. ඒ සඳහා බලපෑ දේශපාලනය කතුවරයාට යම් පමණකින් මඟ හැරී ඇති බවක් පෙනෙයි. විශේෂයෙන් මෙම ක්‍රමය ලංකාවේද රාජාණ්ඩු ක්‍රමය යටතේ උත්කර්ෂයට නැංවූ ක්‍රමයකි. නේපාලයේද එය එසේම ය. කෙසේ වුවද කෘතියක් තුළ සමස්ථය ගෙන හැර දක්වන්නැයි කතුවරයාට පැවසීම සාධාරණ නොවුණද, ඔහු විසින් බොහෝ විට පක්ෂ සහ ප්‍රතිපක්ෂ අදහස් කෘතිය තුළ මතු කරන බැවින් මෙකී කාරණයද අමතක කළ නොහැකි කාරණයකි. එමෙන්ම පහළොස් වන පරිච්ඡේදයේදී අපට හමුවන්නේ එම ලාමා ගෝත්‍රයේම තරුණියකි. එක හෙලාම බහු විවාහය ප්‍රතික්ෂේප කරන අතර ඇයට ඒ සඳහා විකල්පයක්ද ඇත. බොහෝ විට මෙය සමාජ සහ ස්ත්‍රීවාදි ක්‍රියාධරයන් විසින් නූතන සමාජය වෙත කරන ලද සාධනීය බපෑමේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකිය. නීමා වම්චි නම් ඒ දැරිය ස්වයං තීරණ ගත හැකි එඩිතර කරුණියකි. කතානායකයා ඇයටත් සිදුවන්නේ ‘කොමන් වයිෆ්’ කෙනෙක් වෙන්න යැයි තරමක සෝපාසයෙන් පවසන විට ඇය පවසන්නේ මෙවැන්නකි.
“මං තනි තීරණයක් ගන්නවා. මං මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ අතේ එල්ලිලා පැනලා යනවා” 135 පිටුව
නවකතාව තුළ නේපාලයේ මාවෝවාදී ගරිල්ලා ව්‍යාපාරය ගැන ඇත්තේ විරෝධය පමණක් වීම යම් පමණකට සිතා බැලිය යුතු කාරණයකි. කතුවරයා ගේ දෘෂ්ටිය මාවෝ විරෝධී එකක්ද යන්න සලකා බැලිය යුතු වුවද, නේපාලයේ මධ්‍යම පාන්තිකයන් බොහෝමයක් මාවෝ ව්‍යාපාරය කෙරෙහි ඇති විරෝධය කතාවේ කතානායකයා වන භාෂ්කර්ට ද පොදුවූවක් බව කතුවරයා සටහන් කරන්නක්ද යන්න වටහා ගත නොහැකිය. මට හමුව ඇති බොහෝ නේපාලි මිතුරන් තුළ ද මාවෝ ව්‍යාපාරය ගැන ඉතා හොඳ පැහැදීමක් තිබූ අය අඩු බව මතකයට නැගේ. ඒ බොහොමයක් කත්මන්දු නුවර හෝ නාගරික පරිසරයේ ජීවත් වන්නන් ය.
කෘතිය තුළින් පැනනගින, ලංකාව තුළ ද අඩු අවධානයක් ලබාගන්නා මාතෘකාවක් දැකිය හැකිය. කතුවරයා විසින් කෘතිය පුරාම විවිධ තැන්වලදී මෙය මතු කරන්නේ එහි ඇති වැදගත්කම සලකා විය හැකිය. එනම්, නේපාල තරුණ තරුණියන් බොහෝමයක් ඉන්දියාව හෝ මැදපෙරදිග සේවයට යාම ය. මෙය පුද්ගලිකවම මා ද අත්දැක ඇති කාරණයකි. මැදපෙරදිග යන නේපාල, බංගලාදේශ සහ ලාංකික පිරිස යම් සාධනීය සමාජ තත්වයක් අත්කර ගන්නේද යන කාරණය ලංකාව තුළද වඩාත් අවධානයට ලක්විය යුතු ගැටලුවකි. නවකතාවේ කතානායකයා මේ පිළිබඳව රාජය නොවන සංවිධානයක් විසින් සිදුකරන පර්යේෂණයකට සිය දායකත්වය ලබාදෙයි. එහිදී ඔහු අත් දකින්නේ මැදපෙරදිග හෝ එවැනි රටවල සේවයට යන නේපාල ජාතිකයන් එම රටවල වැඩ කරන කාලයේදී යම් සමෘද්ධිමත් බවක් ලබාගත්ත ද ඔවුන් නැවත සිය රටට පැමිණි පසු ඒ සියල්ම ශුන්‍යව ගොස් නැවත පැරණි අඩියටම වැටෙන බවය. මැදපෙරදිග රැකියාවක කාලයක් නිරත වූ මම ද එය බොහෝ විට නිරීක්ෂණය කර ඇති කාරණයකි. මැදපෙරදිග දී එකම රැකියාවකට කොටුවන පිරිසෙන්, එම විෂය පිළිබඳ අධ්‍යනය කිරීමක් හෝ තවදුරටත් තම වෘත්තීයභාවය ගොඩනගා ගැනීමක් කරන්නේ අතළොස්සකි. ලංකාවේ පවා මේ කාරණය පිළිබඳ සොයා බැලීමක් කල යුතු බව මගේ හැඟීමයි. ඒ සඳහා යාත්‍රාහාරී හරහා මතු කරන සංවාදය වැදගත් ය.
ඉන්දියාව වැනි දැවැන්ත රාජ්‍යයකට මාඉම්ව ඇති නේපාලය වැනි රටකට එහි බලපෑමෙන් ගැලවීම පහසු නොවේ. එවැනි රාජ්‍යයකින් ඇති කරන සමාජීය, දේශපාලන බලපෑම අති මහත් ය. මගේ නේපාල මිතුරන් අතර ඉන්දියාවට දැඩි විරෝධය දැක්වූ මෙන්ම ඉන්දියාවට දැඩි කැමැත්ත දැක්වූ අය ද සිටි බව මගේ මතකයට නැගේ. මෙම කෘතිය තුළ යම් මට්ටමකට ඉන්දියානු විරෝධයක් මතු කරන අවස්ථා දෙකක් තිබේ. ඒ දේශසිමාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර සිරකර ගෙන සිටින අවස්ථාව සහ එක්තරා නේපාල ගැමියෙකුගේ ඉඩම උදුරා ගන්නා ලෙස ඉන්දියාව විසින් ගංඟාව හැරවීම යන අවස්ථා ය. එහෙත් ඉන්දියාවේ බලපෑම ඊට වඩා වැඩි බව මගේ විශ්වාසයයි. එය කතුවරයා හිතාමතා මඟහරින්නේද? නැතහොත් නේපාලයට ඉන්දියාව ගැන ඇත්තේ සහෝදර ප්‍රේමයක්ද යන්න කෘතියෙන් ඉස්මතු නොවීම යම් අඩුවක් බව මගේ හැඟීම ය.
සමස්තයක් ලෙස මේ කෘතිය තුළ කතානායකයාට මුණ ගැසෙන බහුතරය ස්ත්‍රී චරිත වේ. නේපාල සමාජය තුළ ස්ත්‍රිය දැඩි අසාධාරණයකට ලක්වන බව කතුවරයා එම චරිත හරහා නිරූපණය කරන්නට උත්සාහ දරණ බවක් පෙනේ. එය කොලාජ් චිත්‍රයක් වැනි ය.
අධ්‍යාපනය ලැබීම, එයට සරිලන රැකියාවක් ලැබීම, ආදී සමාජ කාරණා කෙසේ වෙතත්, මානුෂීය ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව නොලද අති දුෂ්කර ජීවිත ගමනක යෙදෙන නේපාල ජාතිකයන් අපට මේ කෘතියේදි හමුවේ. ඒ සෑම කෙනෙක්ගෙන්ම ඉගෙන ගැනීමට හෝ සිතන්නට යමක් පාඨකයාට ඉතිරි වේ.
කෘතියේ පරිවර්තනය ගැන යමක් පැවසිය යුතුමය. මුල් කෘතිය කියවා නොමැති හෙයින් මේ පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යනයක් කල නොහැකි වුවද, වසන්තා කේ මිහිඳුකුලසූරිය නම් මේ පරිවර්තිකාව නූතනයට සමීප නමුත් ළගන්නා සුලු සහ හෘදය සංවේදී බස් වහරක් පරිවර්තනය සඳහා යොදා ගනී. එහි සුමට ගලායාම කෘතිය අඛණ්ඩව කියවීමට පාඨකයාට බලකරයි.
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

one × 4 =