උපුල් ශාන්ත සන්නස්ගල ළඟට සිය දිවි නාසා ගන්නට ආ තරුණයාට සිදු වූ දේ

අපේ කම වර්තමානයට යොදා ගන්නේ කෙසේ ද?
බුදු රජාණන් වහන්සේගේ පොසිටිව් තින්කින්
ඔබ අසලට “ මට සිය දිවි නසා ගන්නවා ” කියාගෙන තරුණයකු පැමිණි විට ඔබ කුමක් කරන්නේ ද? ඔබ ඔහුගේ කතාවට සවන් දෙනවා ද? සවන් දුන්නත් නැතත්, ඔබ අවවාද- අනුශාසනා දුන්නත් නැතත් ඔහු ආපසු ගිය විට, ඔහු සිය දිවි නසා ගන්නේ නැතැයි ඔබට සහතික විය හැකිද ? උදේ හවා පංසල්, පල්ලි, කොවිල් වල ධර්ම දේශනා කරණ රටේ, ගමක් ගත් විට ග්‍රාම සේවක නිළධාරි, සමාජ සේවා නිළධාරි, සංවර්ධන නිළධාරි ආදී සාමජීය ප්‍රශ්න වලට මැදිහත් විය යුතු නිළධාරීන් විශාල පිරිසක් ඉන්නා රටේ, පාසල් වල ගුරු ගුරුවරියන් දහස් ගණන් ඉන්නා ‍රටේ, ඒ සඳහා ක්‍රියා කළ යුතු ආයතන ද ඇති ‍රටේ, සිය දිවි නසා ගන්නා පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යන්නේ ඇයි?
උපුල් ශාන්ත සන්නස්ගල කියූ සත්‍ය කතාවක් ඇසුරෙන් මේ සටහන ලියන්නට සිතුවේ එයින් අපේ සමාජයට උගෙන ගත යුතු විශිෂ්ඨ අර්ථයක් සහ ආදර්ශයක් ඇතැයි සිතෙන නිසාය.සමාජ ප්‍රශ්න ඉදිරියේ ඒවා විසඳීමට අප තුළ තිබිය යුතු බුද්ධි පරිමා කුමක් විය යුතුද ?
කතාව මෙසේය. උපුල් ශාන්ත සන්නස්ගල කුරුණෑගල ටියුෂන් පන්ති කරණ කාලයේ එක් දිනෙක, පන්තිය කරමින් සිටින විට තරුණයකු ඔහු හමුවන්නට පැමිණ ඇති බව දැන ගන්නට ලැබෙයි. පැමිණි තරුණයා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ සිසුවෙකි. හදිසියක් නොවන අවස්ථාවක පන්තිය අතරමග දමා යාම සන්නස්ගල‍ගේ සිරිත නොවීය. අනිත් අතට මෙම ශිෂ්‍යයා කිසිසේත්ම තමන්ගේ ආදි ශිෂ්‍යයකු නොවන බව සන්නස්ගලට වැටහිණ. මන්ද තමන්ගෙන් සිංහල උගත් අයකු ඉංජිනේරු පීඨයේ සිටිය නොහැකි බැවිනි. අනිත් කරුණ වූයේ මෙලෙස එන බොහෝ දෙනා එන්නේ පන්තියේ බුක් මාර්ක් එකක් විකුණා ගැනීමටය, පෑනක් විකුණා ගැනීමට නැතිනම් කලා උළෙලට ආධාරයක් ඉල්ලා ගැනීම වැනි කරුණකටය. එම නිසා මෙම තරුණයා හමුවීමට සන්නස්ගල තීරණ කරන්නේ පන්තියේ විවේක කාලයේදීය.
විරාමයේ දී විවේක කාමරයට ගිය ඔහුට දකින්නට ලැබුණේ රැවුල අපිළිවෙලට වවාගත්, කෙට්ටු, ඇස් ගිළුණු, ඩෙනිමක් ඇඳගත්, ‍රබර් සෙරෙප්පු දාගත් අමුතු කොල්ලෙකි. ඔහු විශාල පීඩනයක් ඇති ළමයකු බව දුටු පමණින් සන්නස්ගලට තේරුණේය.
“ ඇයි පුතා..”
“ සර් .. එක්ක පෞද්ගලිකව කතා කරන්න ආවේ… මම පේරාදෙනිය ඉංජිනීරියන් පැකල්ටියේ”
“ ඉතිං කියන්නකෝ..”
“ සර් කට්ටිය ඉන්නවා…” තරුණයා අහල පහල පිරිස ඇති නිසා අපහසුවෙන් කීවේය.
මදක් කල්පනා කළ සන්නස්ගල තරුණයාව පැත්තකට ගෙන කතාව අසන්නට පටන් ගත්‍තේය.
“ මගේ තාත්තා නැති වෙලා සර්. අම්මා ප්‍රින්සිපල් කෙනෙක්. ඒ ගෞරවය රකින්න ඕන නිසා විනය ගරුක වුණා. අම්මා මට හොඳට ඉගැන්නුවා. ඒත් කුරුණෑගල මලියදේව ඉස්කෝලේ ගෑණු ළමයෙක් හිටියා එයත් එක්ක ප්‍රේම සම්භන්ධයක් පටන් ගන්නා උත්සහ කළා. ඒත් පටන්ගත්තේ නෑ. එයා බයෝ සයන්ස් කළේ. එයත් පේරාදෙනිය මෙඩිකල් ෆැකල්ටියට අ‍ාවේ.. මම බලාපොරොත්තු තියාගෙන ඉඳලා ඉඳලා ඉඳලා තුන් වෙනි අවුරුද්දේ අහන්න හදන කොට එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා සර්. මට පාඩම් කරන්න බෑ සර්.”
“ඉතිං මට මොකක්ද කියන්නේ..”
“මම අද රෑට වහ ‍බොනවා.. සිය දිවි හානි කරගන්නවා සර් මට ලබන සතියේ විභාගේ”. එසේ කියූ තරුණයා හඬන්නට පටන් ගත්තේය.
වසර ගණනාවක් විවිධාකාර සිසුන් දහස් ගණනක් සමග කටයුතු කර ඇති සන්නස්ගල මේ තරුණයාගේ මනෝභාවය තේරුම් ගන්නට අපහසුවූයේ නැත. ළඟ එන විභාගයට මුහුණ දෙන්නට බැරි ආතතියෙන් පෙළන තරුණයා එම පීඩනයට මුහුණ දෙමින් සිටින බව සන්නස්ගල තේරුම් ගත්තේය. පෙම්වතියගේ සිද්ධිය ඔහු ඈඳාගන්නේ එක් අතකින් එය සැඟ වීමට, මගහැර යාමට, එය සාධාරණීකරනය කිරීමට බව ඔහුට තේරුණි.
‍‍
“ ඉතිං ඔයා මාව හම්බවෙන්න ආවේ ඇයි..ඔයා මගේ ගෝලයෙකුත් නෙමෙයි, මම ඔයාව දන්නෙත් නෑ”
එවිටම අර තරුණයා පැත්තක තිබූ බෑගයෙන් පයිල් කවරයක් ගත්තේය. එහි ඇතුළත හාෆ් ශීට් ඇතුලු විවිධ කොළ වර්ග කිහිපයක් අතට ගත් ඔහු ඒවා සන්නස් ගලට දුන්නේය.
“ මේ සර් මම එයා ගැන ලියපු කවි මං ගොඩක් කාලයක් එයා ගැන මේවා ලිව්වා…,
මොහොතින් සන්නස්ගලට තේරුණේ මේ තරුණයා බේරා ගත හැකි එකම දේ මේවා බවය. ඔහු සිගරට්ටුවක් පත්තු කරගත්තේය. ප්ලේන්ටි දෙ‍කක් ගෙන්නා ගත් ඔහු එකක් තරුණයාට දුන්නේය. එහෙත් තරුණයා එය බීවේ ඕනෑවට එපාවටය. සන්නස් ගල අර කවි අතට ගත්තේය. ඒවා ඉතා සැලකිල්ලෙන් කියවන බව තරුණයාට පෙන්නුවේය.
“ මාරයි.නේ ඔයා ..”
තරුණයා පුදුමයට පත් කරමින් සන්නස්ගල කීවේය.
“ ඔයා .. මාර දක්ෂ ළමයෙක් නේ… ඔයා අදක්ෂයෙක් වෙන්න බෑනෙ.. මේ කුරුණෑගලින් .. පේරාදෙනියේ ඉංජිනේරු ෆැකල්ටියට යන්න … ඔය වගේ රෑන්ක් එකක් අරන් .. ඔයා බ්‍රයිටෙක් නෙ… මේ ටිකෙන් වැඩක් ගන්න පුළුවන්නේ. පුතා මේ ටික මට දෙනව ද?
තරුණයාගේ ඇස් දීප්තිමත් විය
“ සර්ට දෙන්න තමයි ගෙනාවේ”
“ මාර ලස්සනයි නේ මේ කවි… අපි මේවගෙන් පට්ට ලස්සන සිංදු ටිකක් කරමු. මම එකක් නන්දා මාලනීට දෙන්නම්, තව එකක් අමරදේවට දෙන්නම්, වික්ටර්, සුනිල් ඉදිරිසිංහ, කසුන් කල්හාරටත් දෙන්නම්..
එවර අර තරුයාගේ මුහුණ ද ඇස් ද තවත් දීප්තිමත් වන්නට විය. බලාපොරොත්තු මනුෂ්‍යයා ජීවත් කරවයි. මේ ධර්මතාව සන්නස්ගල හොඳින් දන්නේය.
“ සර් ඇත්තම ද කියන්නේ…” එවර අර තරුයාගේ මුහුණ ද ඇස් ද නැවුම් අපේකෂාවකින් තවත් දීප්තිමත් වන්නට විය.
“ ඔව් ළමයෝ මම ‍මොකට ද බොරු කියන්නේ මෙච්චර කාලයක් මේ සිංහල සාහිත්‍ය උගන්නලා, කියවලා මම දන්නෙ නැද්ද මේ වගෙ වටිනාකම”
“ සර් මම මොකක් ද කරන්න ඕන”
“ පුතා සල්ලි වියදම් කරගෙන මුකුත් කරන්න ඕන නෑ.. මට එකක් කරලා දෙන්න.. මේ නිකං කොළ වල නේ ලියලා තියෙන්නේ. මේවා ඔක්කොම පොයින්ට් 12 න්, අභය ෆොන්ට් එකෙන් ටයිප් කරලා ප්‍රින්ට් අවුට් ගෙනත් දෙන්න.. මොකද .. මෙවගෙ මියුසික් නොටේෂනුත් ලියන්න ඕනනේ”

“තමුසෙ දැන් සූසයිඩ් කරගන්නෙ නැද්ද?” “ ඒක තමයි සර් මාර වැඩේ”

සන්නස්ගලගේ ඉල්ලීමට එකඟ වන මේ තරුණයා අපසු යයි. ඔහු මාස දෙකකින් පසු නැවත සන්නස්ගල හමුවීමට පැමිණෙයි. එවර ඔහු රැවුල කපා කිසියම් පිළිවෙලකට පිරිසිදුව පැමිණ සිටින අයුරු සන්නස්ගලට පෙනෙයි. තරුණයා විභාගය ද ලියා ඇත. ආගිය තොරතුරු කතා කරමින් සිටින අතර සන්නස්ගල විහිලුවට මෙන් තරුණයාගෙන් මෙසේ අසන්නේය.
“ තමුසෙ දැන් සූසයිඩ් කරගන්නෙ නැද්ද?”
එවිට එකවරම තරුණයාට සිනහා ගියේය.
“ ඒක තමයි සර් මාර වැඩේ” තරුණයා ලැජ්ජාවෙන් ඇඹරෙමින් .. එහෙත් සිනහවෙමින් කීවේය.
“ සර් සිංදු ටිකට මොකද වුණේ”
“ ඒ සිංදු වැඩක් නෑ.. ඒවා බල්ලෙකුට වත් කියවන්න බෑ.. තමුසෙ මල විකාර ‍ගොඩක් ලියලා කෙ‍ල්ලෙක් ගැන. මම ඒ වෙලාවේ ඒක ඔයාට කිව්වෙ ඔයාගේ මොරාල් හදන්න.”
“ සර් කොහොම ද සර් ඒවා ඉගෙන ගත්තෙ”
“ කිසා ගෝතමී කියලා කතාවක් තියෙනවා නේ. ඒකෙ ඒ බුදු හාමුදුරුවෝ කිසා ගෝතමී මලමිනියත් අරගෙන ගියාම බුදු හාමුදුරුවොන්ට දැනෙනවානේ මේ සිහියෙන් නෙමෙයි කියලා. ඕජස් වැක්කෙරෙන, ඇස් ඉදිමිච්ච, දිව එළියට ආපු, ඉදිමිච්ච මල කුණක් නෙ. සිහිබුද්ධියක් තියෙන්න බෑනේ.. ඒ ගැහැණියට. බෙහෙත් හොය හොයා යනවා. බුදු හාමුදුරුවො කියන්නේ නෑනේ එකපාරම අයියෝ බෙහෙත් නෑ. මැරිලා වලේ දාන්න.. පිස්සුද ඔය ළමයට ?..වගේ දේවල්. බුදුහාමුදුරුවන්ට දැනෙනවා මේ ළමයා අසිහියෙන් ඉන්නෙ කියලා. බෙහෙත් දන්නවාද ඇහුවාම බුදුහාමුදුරුවො නෑ කිව්වෙ නෑ. ඒත් පොඩි උදව්වක් කරන්න ඕන නොමළ ගේකින් අබ ටිකක් අරන් එන්න ඒකෙන් තමයි බෙහෙත හදන්නෙ කියලා බුදුහාමුදුරුවෝ කිසා ‍ගෝතමීට කිව්වා. දැන් දරුවා අරගෙන යද්දි ඒ ගෙදරත් මැරිලා … මේ ගෙදරත් මැරිලා …බාප්පා මැරිලා, අම්මා මැරිලා, සීයා මැරිලා, ආතා මැරිලා, ආත්තම්මා මැරිලා, පුතා මැරිලා, දුව මැරිලා, බබා මැරිලා, බඩේ දි මැරිලා. හැම ගෙදරකම මැරිලා..එක පාරම කිසා ගෝතමීට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ..මැරිලා. දැන් ගඳ එන්න පටන්ගන්නවා. පිළිකුල එනවා. අප්පිරියාව එනවා. මැරිලා.. තේරුම් ගන්නවා තමන්ම. දැන් මේ මිනිය වලේ දාලා, දිය නාලා, පිරිසිදු වෙලා එනවා. දැන් යන්නෙ සිහිබුද්ධියෙන්. දැන් බුදු හාමුදුරුවන්ට කරන්න තිබුණේ චූටි කෑල්ලයි.
එම කතාව කිව් පසු තමන් පොසිට්ව් තින්කින් හෙවත් ධනාත්මක චින්තනය ඉගෙන ගත්තේ කිසා ගෝතමී කතාවෙන් බව සන්නස්ගල අර තරුණයාට කියයි. අනතුරුව කතාව ඇසූ ප්‍රේක්ෂකයාට ඔහු කියන්නේ එම කතාවෙන් ඉගෙන ගත හැකි යමක් තිබේ නම් ඉගෙන ගන්නා ලෙසය. මෙම සංසිද්ධිය විවිධ මානයන්ගෙන් අපට විශ්ලේෂණය කරගත හැකිය. ඒ පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ( Case Study) කළ හැකිය.
සන්නස්ගලගේ මේ කතාව තුළින් අප විමසිය යුත්තේ සමාජ ප්‍රශ්න ඉදිරියේ අපගේ බුද්ධිමය පරිමාව කවරත් විය යුතු ද යන්නයි. අපගේ බුද්ධි පරිමාව සමාජ විඥානයෙන් (Social Conscience) ‍, චිත්තවේගාත්මක බුද්ධියෙන් ( Emotional Intelligence) සහ උපදේශන හැකියාවෙන් (Counselling Skills) පරිපූර්ණ වන්නේ නම් මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව ආදියෙන් පෝෂණය විය හැකි නම් අපට සමාජ ප්‍රශ්න විසඳීමට සාර්ථක මෙන්ම විශාල දායකත්වයක් ලබා දිය හැකිය. මෙම දැනුම් සම්භාරය ඇත්තෙකුට අපගේ සම්ප්‍රදායක දැනුම ඔස්සේ ද ඒවා තවදුරටත් පෝෂණය කොට ගත හැකිය. පුළුල් කරගත හැකිය. බුදු රජානන් වහන්සේ හමුවට ආ මිනිසුන්ගේ ප්‍රශ්න උන්වහන්සේ විසඳුවේ එවන් වූ බුද්ධිමය ඥානයකිනි. අපේ දේ යයි කියන දේ නූතනයට යොදා ගත හැක්කේ එලෙසය.
(උපුල් ශාන්ත සන්නස්ගල අන්තර්ජාලයට මුදා හරිණ ලද වීඩියෝවක සඳහන් කතාවක් ඇසුරින් සකස් කරණ ලදි)
– අතුල දිසානායක (සමාජ කතා) fb

එම වීඩියෝව: https://www.facebook.com/watch/?ref=saved&v=2399878080114911

Leave A Reply

Your email address will not be published.

1 × 1 =