ඉතිහාසය කෞතුක වස්තුවක් නොකළ ‘බැමිණිතිකාලය’

ඓතිහාසික නවකතාවක් රචනා කරන ලේඛකයා ජයගත යුතු ප්‍රධාන අභියෝගය, අතීතය පිළිබඳ මුග්ධ සාඩම්බරයකින් ඔද වැඩී ගිය සලකුණු නවකතාවට නොඑබ්බවීමේ ගුණයයි. නොඑසේ නම්, අතීතකාමී ප්‍රභූත්වයෙන් නවකතාව මුදවාගැනීමයි. තම පෞද්ගලික නිගමන හෝ විවරණ ඉදිරිපත් නොකරමින්, ඉතිහාසය කෞතුක වස්තුවක් නොකර, නිර්ප්‍රභූ තලයක සිට කෘතිය ඒමයි. ‘බැමිණිතිකාලය’ ලියූ අනුරාධ මහසිංහ එම අභියෝගය ජයගත්තෙකි.
රටක් අරාජික විය හැකි ආකාර කිහිපයකි. එක, ස්වාභාවික බලවේගවලිනි. දෙක, පාලකයන්ගේ අමනෝඥ පාලන ව්‍යුහ මගිනි. මේ හැරුණුවිට සෙසු සුලු කරුණු ද විය හැක. පෙර කී ආකාර දෙක ම එක් වූ විටදී, සෑදෙන පසුබිම රටවාසීන්ට සිහියෙන් විසිය හැකි තැනක් ඉතිරි නොකරයි. අතීතයේ, අප දැනපුරුදු දුර්භීක්ෂ සමයක දී රාජ්‍ය පිරිහීමෙන් පොදු ජන ජීවිතයට එල්ල වූ ඉරණම වර්තමානයේ ද වසංගත තත්වයකදී අනියමාකාරයෙන් වෘත්තයක කරකැවී පැමිණ තිබේ. එබැවින් බැමිණිතිකාලය අතීත කතාන්දරයකින් එහා, නූතනයේ ගිල්වා වටහාගැනීම අසීරු නොවේ. මන්ද යත් එකල මෙන් ම මෙකල ද, ඇත්තෝ රට පනිති; පෝලිම්වලින් පැන එන්නත් ගසාගනිති; කල්ලි ගැසී පාලකයෝ රකිති. නැත්තෝ අහරක් මුදලක් නොමැතිව දුක් විඳිති; අරගල කරති; අසනීපව මැරී වැටෙති.
මෙහි, දුර්භික්ෂය අවසන් වීමෙන් පසු රට යළි ගොඩනැගෙන තැනදී වර්තමාන කතාව දැක්වෙන අතර, අතීතකතාවේදී බැමිණිති සමය ගැන කියැවේ. නවකතාවේ ආරම්භය, යළි යළි කියවීමට හිත මොරදෙන පරිච්ඡේදයකි. එහි පළමු වැකි තුන පමණක්, පාඨකයාව හොඳ ශ්‍රාවකයෙකු කරවයි. මෙහිදී ශ්‍රාවකයකු ලෙස සඳහන් කළේ, අනුගාමිකයෙකු යන අදහසින් නොවේ, හොඳ අසන්නෙකු හෙවත් සවන්දෙන්නෙකු යන අදහසිනි. නවකතාව ඇරඹෙන්නේ, ඉතා සියුම් ශබ්දයක් ශ්‍රවණය වන සුනඛයෙකු කන ඔසවා හරවා බලන්නාක් පරිද්දෙනි. කියවන්නාට පළමුව රාජ්‍ය නිලධාරීන් පැමිණෙන බව කියැවෙන අශ්ව කුර ගැටෙන හඬක් ඇසේ. අනතුරුව මිනිසුන්ගේ කෑමොර දීම්ය. අවසානයේ මැහැලියක හෙණ ඉල්ලා කරන සාපයකි. වෙනත් ලෙසකින් කිවහොත්, පාලන තන්ත්‍රයේ බලපෑම පළමු වැකියෙන් ද, ඒ වෙනුවෙන් සාමාන්‍ය වැසියන්ගේ විරෝධය දෙවන වැකියෙන් ද, ඉන් පළක් නොලබන ඔවුන් රජයට නගන සාප-විලාප-අඳෝනා තෙවන වැකියෙන් ද අර්ථ ගන්වයි. එය ද මැහැලියක ඉදිරිපත් කිරීම තියුණුය. සංඛේතාත්මකය.
බැමිණිතිකාලයේ, ප්‍රධාන පුරුෂ චරිත තුනගේ රමණයට හසු වන්නේ ‘බරණි’ය. එම නාමමාත්‍රය ම, දරන්නිය, උසුලන්නිය, රඳවාගන්නිය, වැළලෙන්නිය යන අරුත් දනවයි. ඇය කෘතිය පුරා වැදගත් කාර්යභාර්යයක් ඉටුකරයි. එක, කළුහාමි සහ හිමිනම යන කරත්ත ගමනට අවශ්‍ය රස ජීවය සැපයීමයි. දෙක, හිස ගසා මරාදැමීමට නියමිතව සිටි පෝරිසාදයාට අභය දානය දෙන තැන දක්වා ගම්පති වේලංගගේ සිත වෙනස්කිරීමයි. තුන, පුරුෂමූලික පාලන තන්ත්‍රයේ ප්‍රධානියාව සතුරු ආක්‍රමණවලට නතු නොකර රක්ෂා කිරීමට කරත්තයෙන් බිමට පැන සතුරා අතට පත්වීමයි.
මිනිසාගේ පොදු සතුරා, බැමිණිකාලයේ දී තීය බමුණා වූ අතර, දුර්භීක්ෂය අවසන්ව රාජ්‍යය යළි ස්ථාපනය කළ පසු පෝරිසාදයා වේ. මේ සිටින්නේ වළගම්බා යුගයේ පටන් (නූතනයට)එන පෝරිසාදයෙකි. ඔහු තමා රමණය කළ ස්ත්‍රියගේ ම මස් පිස කයි(සිහිනයක හෝ). කැලෑ වැද සිටින පෝරිසාදයා අල්වා ගන්නා රාජ භටයෝ පසුව, ගම්පතිගේ තීරණය අනුව, ඔහුට අභය දානය දී තම වාසියට යොදාගනී. එනම්, යුද විෂයෙහිදී පෝරිසාදයාගේ ඉවෙන් ඔවුන් ප්‍රයෝජන ගැනීමයි. මිනිසුන්ගේ පොදු සතුරා(සතුරා ලෙසින් හංවඩු ගසා) පසුව මිතුරා කර, පාලකයන් තම පිලට ම ගත් මෙවැනි අවස්ථා වත්මන් අපට දුරස්ථ නැත. මිනිසුන්ගේ ක්‍රියාකලාප සහ තීරණ ප්‍රශ්න කරවන කතුවරයා, නිගමන දෙන්නට නොයා අපට ම සිතාගන්නට සලස්වයි.
කතන්දරයේ වැඩි කොටසක් වෙන්වන්නේ, කරත්තයකින් යන දුෂ්කර ගමනක් වෙතය. කරත්තයේ සිටින්නේ, භික්ෂුවක්, පිරිමියෙක්, ගැහැනියෙක් සහ ආහාරයට යමකි. මේ කරත්ත ගමන, ජීවිතය නැති නම්, සංසාර චක්‍රය යැයි අර්ථ ගැන්වීමට ද පුලුවන. රස පොළොවත්, ඉන් මිදීමේ මාර්ගයත් යන දෙකම එකම කරත්තයේ ඇත. මරණය ලෙසින් පෙනෙන පෝරිසාදයා කරත්තය පසුපස දිව එයි.
ඓතිහාසික නවකතාවලදී, රජවරු සෘජුවම ඉදිරිපත් වී කරන ප්‍රකාශ දැක්වුවද, මෙහි රජවරු ප්‍රධාන චරිතයක් වන්නේ නැත. ඔවුන්ගේ සාඩම්බරය පුනපුනා නොදැක්වේ. වීර රසයේ ගිලෙන්නට එනිසා පාඨකයාට ඉඩක් නැත. ගැමුණු, තිස්ස, පිතිරාජ යන පාලකයන්ගේ තීරණ, ඔවුන් කළ කී දෑ ගැන විස්තර ගමට පැමිණියේත්, කතුවරයා ඉදිරිපත් කර ඇත්තේත්, ආරංචි මාර්ගවලින් කී දෑ වශයෙනි. ඒ පෙදෙස්වල සිට ගමට පැමිණි ගැමියෙකුගේ හෝ හිමිනමකගේ හෝ කටකතා වශයෙනි. මෙය කතුවරයා අනුදත් දක්ෂ උපක්‍රමයකි. පහත උපුටනය ලේඛකයා බීගත් ගැමියෙකුගේ මුවෙහි ඔබ්බවා ඇත්තේ නිකම් නොවේ.
‘මොළේ කලඳක් හෝ තිබිච්ච කාවන්තිස්ස අපෙ රජ්ජුරුවො කිව්ව මුන් දෙන්නට; තොපි මාගම බෙදාන සාමෙන් හිටපියවු. අනුරාජපුරේ අල්ලන්ට ගියොත් වෙන්නෙ මහ විනාසයක්-රටේ ම මිනිස්සුන්ට කන්ට නැතිවෙන්ට පුලුවන්. හදිස්සියෙ හෝ උඹලා ඒ වගේ දෙයක් කරනවා නම්, මුලින් ම මාගමත් දිඟාමඬුල්ලත් අස්වද්දලා අටු කොටු පුරෝලා බඩ රක්සා කරගෙන ඉඳපියවු…-කොහෙද, අම්මටයි පුතාටයි තිබ්බ තදියම නොවැ අපට අද පල දීලා තියෙන්නෙ’
බැමිණිතිකාලය කෙටි නවකතාවේ කංචුකය, කෘතියේ තේමාවට අතිශය ගැළපේ. වැසි පොදක් නැති, අව්කාස්ටකයෙන් කරකුට්ටම්ව ගිය පොළොවේ පැහැයෙන් එය වර්ණ ගන්වා තිබේ. ඊට ඉහළින් ඇති අක්ෂර රූප, පොළවට ඉහළින් අහසේ එල්ලී සිටින සුදු වලාකුළු පෙන්වයි. ඒවා තවම වැහිබරින් කළු වී නැත.
ඉහළ සහ පහළ, මහා සහ චූල වශයෙන් පවතින ජන ස්ථර බෙදීම්වල සියුම් විෂමතා පිළිබදව ද මෙහි යම් ප්‍රකාශනයක් ඇත. මහාසෑයට ගිය කළුහාමිගේ මාමා පසුව හිමි නමක ව ගම්මුන් හැදූ කුඩා වෙහෙරක වාසය කරයි. එම චෛත්‍යය කළුහාමිටත් වඩා මිටිය. පබ්බත විහාරයේ සිටි අනෝම හිමි එය හැර දමා පිතිරාජ රජුගේ අනුග්‍රහයෙන් අනුරාධපුරයේ අලුතින් සාදන විහාරයට යයි. ඇතා පිටේ එන තිස්ස රජු, සාමාන්‍ය වැසියෙක් ඉණිමඟක් ගෙන ඒමට ප්‍රමාද වූ පමණින් ඉවසා නොහී යළි හැරී යයි. කතුවරයා සෘජුව, කිසිදු පාලකයෙකු වර්ණනා කිරීමට හෝ විවේචනයට නොයන නමුත්, සිදුවීම් භාවිතයෙන් පාඨකයාට ම එය වටහාගැනීමට ඉඩ සලස්වයි. බිම් මට්ටමේ, පොදු ජන සමාජයේ දෘෂ්ටියෙන් නවකතාව ඉදිරිපත් කිරීමෙන් රචකයා උපරිම වාසිය ලබාගනී.
දුර්භීක්ෂයකදී වුවද, මිනිසුන් සිය ආත්ම තෘප්තිය වෙනුවෙන් සිතැඟි ඉටුකරගන්නා ආකාරය, ලුණු රස වැටුණු මිනිසා සේ කළුහාමි පණ ලැබූ හැටි, කෘෘරත්වය, අරගල, පාවාදීම්, බිලිවීම, ඝාතන, බලය ක්‍රියාත්මක වන සැටි රසවත් ඉතිහාස කතාවක් තුළ යුතු පරිදි ඇතුළත් කිරීමේ සූක්ෂ්මතාව කතුවරයා ජය ගනී. අතීතය පිළිබඳ අප අසා ඇති පුරාකතා, ජනකතා ආදියෙන් පෝෂණය ලබන රචකයා පාඨක රසනහර හරි තැනින් අල්ලා ගනී. එබැවින් කතාන්දරයට වශී වන කියවන්නාට එහි යටිපෙළ වැටහෙන්නේ, වැකි, සිදුවීම් කියවා අවසන් වූ තැනදීය.
අනුරාධ මහසිංහ පිටු කිහිපයකින්, පරිමිත, සාරවත්, සංක්ෂිප්ත කතාන්දරයක් බැමිණිතිකාලයෙන් ගෙන එයි. එහි පිටු වැඩිකර පොත බරකිරීමට ගත් අනවශ්‍ය වැල්වටාරම් නැත. සංවාද මාලා නැත. අනුචිත වදනක් හෝ සිදුවීමක් හෝ නැත. සිදුවීම් තෝරාබේරාගැනීමත්, ඉවසිලිවන්තව ඉදිරිපත් කිරීමත්, ව්‍යංග්‍යාර්ථවත් වැකි අතරින් සත්‍ය ගෙනඒමත් පැසසුම්කටයුතුය. මේ සියල්ල කතුවරයාගේ පරිණත බවට ඉඟි දෙයි.
මේ සා වූ බැමිණිතිකාලය ඉංග්‍රීසි බසින් පරිවර්තනය වනු දකිනු කැමැත්තෙමි.
– ඩිල්ශානි චතුරිකා දාබරේ

: බැමිණිතිකාලය : අනුරාධ මහසිංහ
: සයුර ප්‍රකාශන

Leave A Reply

Your email address will not be published.

sixteen − 4 =