“මෙරට ආර්ථිකය ICU ඇඳක අසාධ්‍යව තිබෙන මොහොතක ආණ්ඩුව GSP+සහනය අහිමිකරගන්නවා”

- ටිල්වින් සිල්වා

මෙරට ආර්ථිකය ICU ඇඳක අසාධ්‍යව තිබෙන මොහොතක ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම නිසා GSP+සහනය අහිමි වූ බවත් ඊට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂ මූලස්ථානයේදී අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ පිළිබඳව අදහස් පළකරනු ලැබීය
එම මාධ්‍ය හමුවේදී පළකල අදහස්,

“වර්තමාන ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු එකහමාරක් වෙනකොට හැම පැත්තකින්ම අර්බුදයට ලක්වෙන අතර කොවිඩ් වසංගතයත් පාලනය කරනවා වෙනුවට තමන්ගේ දේශපාලන බැරිකම වහගන්න මර්දන නීති යොදා ගනිමින් ඉන්නවා. කඩා වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර ප්‍රභූවරුන්ට වාහන ගෙන්වමින් මුදල් නාස්ති කරනවා. ඒ වගේම ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කරන්න මානව හිමිකම් පවා උල්ලංඝණය කරමින් ඉන්නවා. හැම පැත්තකින්ම රට වට්ටලා තියෙන්නේ.

ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමේ අනතුරක් නිර්මාණයවී තිබෙනවා. ජූනි 10 වැනිදා රැස්වුණු යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවට දී තිබෙන ජී.එස්.පී, ප්ලස් සහනය තාවකාලිකව නතර කිරීමට යෝජනාවක් ගෙනාවා. එයට පක්‍ෂව ඡන්ද 628ක් ලැබුණා. විරුද්ධව ලැබුණේ ඡන්ද 15යි. රටවල් 40ක් ඡන්දය දීමෙන් වැලකි සිටියා. යුරෝපා සංගමයේ ඡන්දවලින් 628ක් වගේ විශාල ප්‍රමාණයකින් ලංකාවට විරුද්ධ යෝජනාවක් සම්මත කරගන්න කොට ලංකාව ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ ලබන දැවැන්ත පරාජයක්. මේ යෝජනාවට අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග තවම පැහැදිලි නැහැ. ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එන්නේ ප්‍රධාන කරුණු 03ක් පදනම් කරගෙන. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම, මේ පනත පාවිච්චි කරලා විරුද්ධවාදීන් මර්දනය කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ රජයේ ප්‍රධාන ආයතනවලට හමුදා නිලධාරීන් පත්කර සිවිල් පාලනයට බාධා කිරීම, කියන කරුණු 03 පදනම් කරගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අපිට යුරෝපා සංගමය, යුරෝපය සහ අධිරාජ්‍යවාදීන් පිළිබඳව කියවීමක් තියෙනවා. අපි වගේ රටවලට මානව හිමිකම් ප්‍රශ්නය පාවිච්චි කරලා බලපෑම් කරන බව දන්නවා. ඔවුන් ගේන හැම යෝජනාවක්ම අපි පිළිගන්නේ නැහැ. නමුත් මෙතන තියෙන සමහර කරුණු යුරෝපා සංගමය අපිට පෙන්වන්න ඕනෑ ඒවා නෙවෙයි. අපි දැකලා වෙනස් කරගන්න ඕනෑ දේවල්. නමුත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම යුරෝපා සංගමය අපේ රටට බලපෑම් කිරීමට පාවිච්චි කරනවා. ලංකාවේ තිබෙන අධිරාජ්‍යවාදී බලපෑම්වලට හැම තිස්සේම පාර කපලා තියෙන්නේ අපේ රටේ පාලකයෝ. ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කිරීමෙන් පසුව 2017දී නැවත එම සහනය ලැබෙනවා. ඒ ලබාදුන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනවා කියන පොරොන්දුව මත. හැබැයි රනිල් මහත්තයාගේ ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු කළේ නැහැ. මෙය අහෝසි කරනවා වෙනුවට ඊට වඩා හානියෙන් වැඩි පනතක් ගේන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ කළා. ඊට විරෝධය පළවුණාම නිහඬව හිටියා. මෙතන අපි රටක් ලෙස යුරෝපා සංගමයට පොරොන්දුවක් වෙලා තියෙනවා. ආණ්ඩුව මොකක් වුණත් ඒ පොරොන්දු ඉටුකළ යුතු වෙනවා.”

“අනෙක් පැත්තෙන් මේ පනත පාවිච්චි කරලා විරුද්ධවාදීන් මර්දනය කිරීම ගැන විශේෂයෙන් නම් 03ක් සඳහන් කර තිබෙනවා. නීතිඥ හිජාස් හිස්බුල්ලා, අනාස් ජසීම් සහ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන තුන්දෙනා රඳවා ගැනීම. මේ අයට විරුද්ධව විධිමත් ලෙස නඩු පැවරීම හෝ නැත්නම් නිදහස් කිරීම කරන ලෙස ඔවුන් යෝජනා කරනවා. කිසියම් කෙනෙකුට චෝදනා තිබෙනවා නම් අධිකරණයේ විධිමත් ලෙස නඩු පවරා ඒ තීරණය අනුව දඬුවම් ලබාදීම හෝ නිදහස් කිරීම කළ යුතුයි. නමුත් ආණ්ඩුව මේ පනත මගින් තමන්ගේ විරුද්ධවාදීන් දිගු කලක් රඳවාගෙන ඉන්නවා. ජාතිවාදය මත බලයට ආපු ඊනියා අධිරාජ්‍යවාදය ගැන කතා කරන මහත්වරු විවිධ කතා කියමින් මේ පනත අහෝසි නොකර ඉන්නවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1979දී. මේ පතන හඳුන්වා දුන්නාට පස්සේ ආණ්ඩුව විසින් නම් කරන ජාතියේ ත්‍රස්තවාදී වැඩ ගොඩක් සිදුවී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේක හැමදාමත් පාවිච්චි කරන්නේ තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කිරීමට. මේක ඉතා බරපතලයි. අධිකරණයට ඉදිරිපත් නොකර ඕනෑම පුද්ගලයෙකු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිර්දේශ මත මාස 18ක් ඕනෑම තැනක රඳවාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඕනෑම කෙනෙක්ව සඟවාගෙන ඉන්න පුළුවන් පනතක්. වැරදිවලට දඬුවම් දීම සඳහා තමයි අධිකරණ ක්‍රියාවලියක් තියෙන්නේ. ත්‍රස්තවාදය නැති වෙලාවක කෙනෙක්ව මාස 18ක් රඳවාගෙන ඉන්නවා කියන්නෙ දේශපාලන පළිගැනීමක්. ශානි අබේසේකර මහත්තයා ත්‍රස්තවාදී වැඩ කළ කෙනෙක් නෙවෙයි. ත්‍රස්තවාදය අල්ලන්න ක්‍රියා කළ කෙනෙක්. නමුත් මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ හොරකම්, වංචා පිළිබඳවත් පරීක්‍ෂණ කළා. ඒ නිසා දිගටම රඳවාගෙන ඉන්නවා. තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්න ආණ්ඩුව මේ පනත හැර හැම තත්වයක්ම පාවිච්චි කර ගන්නවා. මේ වෙලාවේ නිරෝධායන නීති පවා පාවිච්චි කර ගන්නවා. මාසයකට කිට්ටු කාලයක් සංචරණ සීමාවල් දාලා තියෙන අතරේ රෝගීන් පාලනයට වඩා විරුද්ධවාදීන් මර්දනයට යොදා ගන්න හැටි විවිධාකාරවලින් පැහැදිලි වෙනවා. 10වැනිදා හමුදාපතිවරයා කීවා, සංචරණ සීමා නීතිය 14වැනිදා ඉවත් කරනවා කියලා. හැබැයි 11වැනිදා ඔහුම කියනවා 21වැනිදා දක්වා දීර්ඝ කරනව බව. ඒ ප්‍රවෘත්තියත් එක්කම තෙල් මිල වැඩි කිරීමේ ප්‍රවෘත්තියත් පළවුණා. තෙල් මිල වැඩි කිරීමට විරුද්ධව එන ජන මතය යටපත් කර ගන්න තව සතියක් වහලා තියෙනවා.”

Leave A Reply

Your email address will not be published.

one + seventeen =