“සපුගස්කන්දත් විකුණන්නයි හදන්නෙ” – පා.ම. විජිත හේරත්

ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කර එහි බලතල ඇමතිවරයා යටතට ගැනීමට කටයුතු යොදමින් තිබෙන්නේ මෙරට තෙල් ඒකාධිකාරය විදෙස් රටවලට හා සමාගම් වෙතට පැවරීමේ සැලැස්මට අනුව බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගිය 09දා ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

දේශප්‍රේමී සළු පොරවාගෙන ආයෝජනවලට මුවාවෙමින් රටේ සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙම පනත සංශෝධනය කිරීම හරහා සිදුවන්නේ මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය යන සියලූ කාර්යයන් වෙනත් ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබාගැනීම බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අරගෙන අලුත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කර අලුත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා.

අයි. ඕ.සී. සමාගමට තිබෙන කාලය 2023 දෙසැම්බර් 31 වෙනකොට අවසන් වෙනවා. නැවත ඒ බලය අයි. ඕ.සී. එකට දෙන්න පවතින පනත අනුව බැහැ. ඒ නිසා ඇමතිවරයාට බලය පවරාගෙන පිරිපහදුවේ කතාවක් දාලා අයි. ඕ.සී. එකට දීපු ලයිසන් එක නැවත දීර්ඝ කරන්න මේ හදන්නේ. පළවැනි වුවමනාව ඒක. අයි. ඕ.සී. ගිවිසුම අවසන්වී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත පූර්ණ ඒකාධිකාරිත්වය එනවා. ඒක වළක්වන එකයි පළවැනි වුවමනාව. ඊළඟට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දෙන එක තහවුරු කිරීමයි. ලෝක දේශපාලනයේ බල අරගලය නිසා ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ රට මැදිවී තිබෙනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ටික අයි. ඕ.සී. එකට පවරලා හම්බන්තොට වරාය සමාගමට අයිති සිනෝපෙක් ආයතනය තෙල් ආනයනය කරලා නැව්වලට ලබාදෙනවා. සිනෝපෙක් කොම්පැනියෙන් ගෙන්වන නැව් තෙල් අයි. ඕ.සී. කොම්පැණියෙන් ගන්නවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ හම්බන්තොට වරායෙන් නැව් තෙල් ගේන සිනෝපෙක් ආයතනයට ඒ පරිශ‍්‍රයේ ඊළඟ තෙල් පිරිපහදුව හදන්න අවසර දීමයි.’

 

Leave A Reply

Your email address will not be published.

8 − 1 =