“මට ඕනැ අපේ අම්ම මේ ලෝකෙට දරුවො බිහිකරන එක නවත්තන්නයි උතුමානෙනි !”

නදිනී ලබාකි ගේ CAPERNUM 2018

ඒ පුංචි කොලුව එයා ජීවත්වෙච්ච මුලු අවුරැදු 12 ටම හිනාවෙච්චි බවක් අපි දැක්කෙ නෑ, ඒත් එයාට පොලිසියේදී හිනාවෙන්න සිද්ධවුනා ” සියාන් ඔයාට හිනාවෙන්න වෙනව සියාන් මොකද මේ පිංතූරෙ අපි ගන්නෙ කැනඩාවට යවන්න ඔන පාස්පෝට් එකට කොල්ලෝ ! ”

( Nadine Labaki ) නදිනී ලබාකි ගේ CAPERNUM 2018

“වයස අවුරුදු 12 ක ඔබ, දැනටමත් වසර 5 ක සිරදඩුවමක් ගෙවන කෙනෙක්. මේ අධිකරනයට ඔබ ඉදිරිපත් කරන චෝදනාව කාට එරෙහිවද සියාන් ? ”
”” මගේ අම්මටයි තාත්තටයි එරෙහිව ස්වාමිනී ”
” මොකක්ද ඔබේ චෝදනාව ? ”
” මාව මේ වගේ ලෝකයක බිහිකලාට එයාල වැරදි කාරයො කරන්න ”
ඔන්න ඔහොමයි චිත්‍රපටිය පටන් ගන්නේ . ඇයි මේ අවුරුදු 12 ක් වයසැති පුංචි දරුව වසර 05 සිර දඩුවමක් ගෙවන්නේ. ඉතින් අපි ඒ ඇයි කියල ඔබට කියන්න පටන් ගන්නව.
සියාන් අල් හාජිලගෙ පවුල දුප්පත්කමේ පතුලට ගිලුණු ලක්ෂ ගණනක ලෙබනන් පවුල් වලින් එක් පවුලක්. එයාල ඉස්ලාම් භක්තිකයො වුනාට අපි අහල තියෙන අපි දැකල තියෙන ඉස්ලාම් ගැහැණිය හෝ මිනිහ ලෙබනනයේ ඒ බීරුට් නගරයේ නැහැ. ඒ වෙනුවට ඉන්නෙ හිස හෝ මුහුණ පර්දාවකින් වහගත්තෙ නැති තොල් හා නිය වර්ණවත් කරපු දෙනෝදාහක් ජනයා මැද්දෙ සිගරට් බොන ගැහැනියක් ඒ තමයි සියාන් ගෙ අම්ම. මොනතරම් දුප්පත් වුනත් නිතරම අරක්කු තොල ගාගත්තු බේබද්දෙක් තමයි සියාන්ගෙ තාත්ත.
එක පෙලට ළමයි හත් දෙනෙක් වදාපු පවුලක් ඒක. එක ළමයෙක්වත් ඉස්කොලෙ පලාතක යන්නෙ නෑ. තාත්ත යන්න දුන්නෙත් නෑ . ලෙබනන්වල පාසැල් නොමිලේ කන්න බොන්න දෙනව වුනත්.
සියාන්ලගෙ පවුලම ජීවත් කරවන්නෙ ඒ දරු පැටව් ටික කඩවල්වලට වතුර ඇදල මහපාරෙ සරුවත් විකුණල . එහෙමත් නැත්නම් අම්මයි තාත්තයි එකතුවෙලා හොර බෙහෙත් තුන්ඩු දීල ළමයිව ෆාමසි වලට යවල මත් බෙහෙත් පෙති ගෙන්නගෙන ඒව ගෙවල් ගාව කොල්ලන්ට විකුණල.
සියාන් ගොඩාක්ම ආදරේ කළේ එයාගෙ වයස 11 ක් වෙච්ච නංගි සහාර්ට.
සහාර් වයස 11 දිම වැඩිවියට පත්වුනු බව ඉස්සෙල්ලම දැනගන්නෙ සියාන්. එයා දකිනව සරුවත් විකුණනකොට නංගිගෙ ගවුමෙ පිටිපස්සෙ ලොකු ලේ පැල්ලමක්. එයා නංගිව ටවුන් එකේ නානකාමරේකට ගෙනිහි්ලල නංගිගෙ යට ඇදුම් හෝදල අන්දවල කියනව මේක අම්මල තාත්තලට කියන්න එපා කියල. මොකද සියාන් දන්නව ඊට පස්සෙ නංගිට අත්වෙන ඉරණම .
ඒත් වැඩක් වුනේ නෑ දෙමවුපියො කළේ එයාල කුලීයට ඉන්න ගෙවල් අයිතිකාරයට සහාර්ව බන්දල දීපු එක අඩුම තරමින් ගෙවල් කුලීවත් නොගෙව ඉන්න පුලුවන් සියාන්ගෙ තාත්ත හිතුවෙ එහෙම. ගෙවල් අයිතිකාරයට කඩයක් තියෙනව . මිනිහ වයස 35 ක විතර දැවැන්තයෙක්. සියාන් මේ වැඩෙිට විරුද්ධව ගෙදර කැරලි ගහනව. ඒත් වැඩක් වෙන්නෙ නෑ අම්මයි තාත්තයි මේ අවුරුදු 12 කොල්ලට ගහල අර පුංචි කෙල්ලව මොටර් සයිකලයක පටවගෙන ගිහින් අර නසරානියට බාර දෙනව. හොදටම කලකිරිච්ච සියාන් ගෙදරින් පැනල යනව.
බීරුට් කියන්නෙ වයස 12 ක තියා වයස හතලිහක පනහක අතේ සතේ නැති පිරිමියෙකුටවත් තනියම ඡිවත්වෙන්න පුලුවන් නගරයක් නෙවෙයි. ඒකෙ පොලිසි, හිර ගෙවල් පිරිල තියෙන්නෙ අප්‍රිකා මහද්විපයෙන්, ආසියා මහද්වීපයෙන් රස්සා හොයාගෙන ආපු ගැනුන්ගෙනුයි පිරිමින්ගෙනුයි. ඒ පොලොව කුඩු කාරයන්ගෙ, සරණාගතයන්ගෙ ගනිකාවන්ගෙ සහ ලෙබනන් වලින් පැනල යුරෝපයට හරි ඇමෙරිකා එක්සත් ඡනපදයට හරි බෝටිටුවක නැගල තොලෙංචි වෙන්න බලන් හිටපු දහස් ගණන් මිනිසුන් ජීවත්වුනු නරාකාදියක්. නමුත් මාස ගාණක් කොල්ල දත් ගහගෙන මේ පරිසරයට හුරු වෙනව. දවසක් සියාන්ගෙ ඉරණම පාරෙ මල් විකුණන එයාගෙම වයසෙ කෙල්ලක් නිසා වෙනස් වෙනව.
” මම බෝටිටුවක නැගල කැනඩාවට යන්න ඉන්නෙ ”
” සල්ලි ? ”
අවුරුදු හතරක් මම මල් විකුණල ඉතුරුකරපු ඩොලර් 500 ක් තියෙනව. මම යනකොට මේ බිස්නස් එක ඔයාට බාර දිල යන්නම්කො. එහෙ අපිට කවුරුවත් ගහන්නෙ නෑ .මෙහේ මැස්සො මැරෙනව වගේ මිනිස්සු මැරුනට එහේ එහෙම නෑලු සියාන්. සපත්තු දාගෙන තමයි ළමයි ඉස්කෝලෙ යන්නෙ. කවුරුවත් කාල ඉතුරුකරපු මස් කටුවක් බෙලෙක් පිගානක දාගෙන කන්න ඔන නෑ සියාන්. ලස්සන වීදුරු පිගානක නියමෙට රෝස් කරපු කුකුල් මස් කන්න පුලුවන් මට. බලන්න මට ඒක කියනකොටත් කටට කෙල උනනව ”
.
අපි ඔයාලට කියන්නෙ නෑ මෙි පුංචි කොල්ලත් කොහොමද කැනඩාවට යන්න සල්ලි හොයාගත්තෙ කියල .මොකද ඒ ටික කියන්න ගත්තොත් අපිට අඩන්න වෙනව . ඒත් සියාන්ටත් මේ පිස්සුව ගහපු නිසා ආපහු තමන්ගෙ ගෙදරට යන්න වුනා ඒකට අවශ්‍ය ලියකියවිලි ගේන්න. එතකොට තමයි එයා දැනගන්නෙ තමන්ගෙ ආදරනීය නංගි අධික රුධිර වහනය නිසා ඉස්පිරිතාලෙ මැරිච්ච විත්තිය. කැනඩාව අමතක වුනු, වේදනාව වෛරයක් බවට පෙරලුණු පුංචි සියාන් කුස්සියේ තිබිබ පිහිය අතට අරන් දුවල දුවල එක පිම්මෙ ගිහින් තමන්ගෙ නංගිව ගෙදරින් අරන්ගිය කඩකාරයට පිහියෙන් අනිනව. අන්න එහෙමයි ඒ නොදරුව අවුරුදු 05 සිර දඩුවමක් විදින හිරකාරයෙක් බවට පත්වෙන්නෙ. ඒ සිර දඩුවම විදිද්දිම සියාන් ගොනුකරපු නඩුවෙදි තමයි එයාව මේ ලෝකෙට බිහිකරපු අම්මටයි තාත්තටයි විරුද්ධව කරුනු කාරනා උසාවියට කිව්වෙ.
.
” මට ඔින ස්වාමිනී එයාල තවත් මේ ලෝකෙට දරුවන් බිහිකරන එක නවත්වන්නයි. ළමයින්ට කන්න බොන්න දෙන්න බැරි දෙමවුපියො දරුවො හදන්න නරකයි. මගේ ඡිවිතේට මට මතක දේවල් තියෙන්නෙ ටිකයි. ඒව තමයි . පොඩිඩ වැරදුනාම අවජාතකයා කියල අහගන්න එක. කවුරු හරි මිනිහෙක් ඉනට දාන පටියකින් පයිප්පෙකි්න් හරි දම්වැලකින් හරි මට ගහපු එක. මම අහල තියෙන කරුණාවන්තම වචනෙ තමයි ” වේසිගෙ පුතා තෝ මකබෑවෙයන්‘‘ ” ඔවු ස්වාමීනී මේ ඡිවිතේ මට උහුලගන්න බැරිතරම් ජරා ගොඩක්. මාව ගදගහනව මාසෙකෙට සැරයක් වත් මට නාන්න නෑ මොකද. වතුරවලට ගෙවන්න මට සල්ලි නෑ . මම ජීවත්වෙන්නෙ අපායක. රෝස් කරපු මස් කෑල්ලක් වගේ මාව හැමදාම පිච්චෙනව. මේ ජීවිතේ පාරෙ යන බල්ලෙකුටත් අන්තයි ස්වාමිනි. ඒ වගේම මගේ අම්ම මහ ජරා ගොඩක් ස්වාමිනී. එයා දවසක් මාව බලන්න හිර ගෙදට්ට ඇවිල්ල කියනව,
” පුතේ සියාන් නංගි මැරුණට දුක්වෙන්න එපා මට තව නංගියෙක් හම්බවෙන්නයි ඉන්නෙ”
මම කිව්ව උතුමානෙනි එයාට ” ඔව් ඔයාට පුලුයන් එතකොට එයාවත් විකුනන් කන්න. ඔන්න ඔහොමයි ස්වාමිනී අපේ අම්ම.!‘‘
”ඒත් මම හිතුව කවදහරි දවසක අපිත් හොද මිනිස්සු වෙයි කියල. එහෙමත් නැත්නම් ආදරේ ලබන මිනිස්සු වෙයි කියල. ඒත් අපිට එහෙම කරන්න දෙවියන් වහන්සේට වුවමනාවක් නෑ. එයාට ඕන හැමදාමත් අපිව අනිත් මිනිස්සුන්ගෙ පයට පෑගෙන දුවිලිවලම තියන්නයි. මගේ අම්මට දැන් ලැබෙන්න ඉන්න නංගිටත් වෙන්නෙ ඒ වගේ ජීවිතයක් ගත කරන්නයි. නැත්නම් මගේ ඉස්සෙල්ල නංගිට වුනා වගේ ලේ ගිහි්ල්ල මැරෙන්නයි. ඒක නිසා එයාලට මේ ලෝකෙට දරුවො බිහිකරන එක නවත්තන්නයි උතුමානෙනි මට ඕනැ !
– උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

eleven + 4 =