කාව්‍යක්කාර බෙංගාලි සිනමාකරුවා සමුගනී

බෙංගාලි සිනමාවේ කාව්‍යක්කාර සිනමාකරුවා වූ බුද්ධාදේබ් දාස්ගුප්ත දිවි සිනමාවෙන් සමුගනී. මියයන විට 77 වියේ පසුවූ ඔහු ටික කලක සිට වකුගඩු ආබාධයකින් පෙලෙමින් සිටියා.
1980 සහ 1990 බෙංගාලයේ සමාන්තර සිනමාවේ ධජය දරන්නන් තිදෙනෙක් සිටි බවයි විචාරකයින් පවසන්නේ. ඒ බුද්ධාදේබ් දාස්ගුප්ත, ගෞතම් ඝෝෂ් හා අපර්ණා සෙන් යන තිදෙනායි.
බුද්ධාදේබ් සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ කතිකාචාර්යවරයෙකු ලෙසින්. නමුත් තමන් උගන්වන ආර්ථික න්‍යායන් හා තමන් ජීවත්වන සමාජ – දේශපාලන යථාර්ථයේ පරස්පරය ගැන කලකිරීමට පත් ඔහු සිය කතිකාචාර්ය ධූරයෙන් ඉවත්ව සිනමාව කෙරෙහි යොමුවුණා. සිනමාව හැදෑරීමේදී ඉන්ග්මාන් බර්ග්මාන්, අකිරා කුරොසාවා, විටොරියෝ ඩි සිකා, රොබර්ටෝ රොසෙලනි, මයිකලැන්ජලෝ ඇන්ටෝනියෝනි, චාලි චැප්ලින් වැනි සිනමාකරුවන් කෙරෙහි ඔහු ලොබ බැන්ඳා. ඔහු වඩාත්ම ආනුභාව ලත් ඉන්දීය යථාර්ථවාදී සිනමාකරුවා වූයේ සත්‍යජිත් රායි.
1968 දී සිය මුල්ම සිනමා නිර්මාණය වන Continent of Love වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන බුද්ධාදේබ් ගේ පළමු වෘතාන්ත චිත්‍රපටය වන්නේ Dooratwa (දුර) නිර්මාණය කරන්නේ 1978 දී.
ඔහුගේ සිනමා නිර්මාණ අතර වඩාත් ප්‍රසංසනීය චිත්‍රපට ලෙස සැලකෙන්නේ Bagh Bahadur, Tahader Katha, Charchar හා Uttara යන නිර්මාණයන්. මේ කීර්තිමත් අධ්‍යක්ෂවරයා සිය සිනමා ජීවිතය තුල පස් වතාවක් හොඳම චිත්‍රපටයට හිමි ජාතික සම්මානය දිනා තිබෙනවා. බුද්ධාදේබ් නිර්මාණය කර ඇති වෘතාන්ත චිත්‍රපට 21 ක් ඇති අතර ඒවා දෙස් විදෙස් සම්මාන 24 කින් පිදුම් ලැබ තිබෙනවා.
ඉතා නිර්මාණශීලි කවියෙකු වන බුද්ධාදේබ් දාස්ගුප්ත පළකල කාව්‍ය කෘතීන් අතර Suitcase, Himjog, Govir Araley, Coffin Kimba, Chhaata Kahini, Roboter Gaan, Sreshtha Kabita සහ Bhomboler Ascharya Kahani O Ananya Kabita යන කෘති විචාරක සම්භාවනාවට පාත්‍ර වුණා.
දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහුගේ බාල දියණිය වන ආලෝකනන්දා දාස්ගුප්ත ශාස්ත්‍රීය පියානෝ වාදිකාවක්. 2013 දී බුද්ධාදේබ් අධ්‍යක්ෂණය කල Anwar Ka Ajab Kissa චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කලේ ද අලෝකනන්දා විසින්.
(අන්තර්ජාලය ඇසුරෙන්)
– කපිල එම්. ගමගේ

 

Leave A Reply

Your email address will not be published.

three × 3 =