“පෝලිම් වල ලග්ගවන උදාර ජාතියක්”

පොලිමේ පැය ගණනක් සිට අදාල ස්ථානයට
යන විට “බඩු නෑ” කියා අසාගෙන ආපසු ගෙදර යාමේ
අමිහිරි අත්දැකීම ඔබ විඳ තිබෙනවා ද ?

ශ්‍රී ලංකිකයෝ උදාර ජාතියකි. මා එසේ කියන්නේ හෙළයින්ට අවුරුදු 2500 ක ඉතිහාසයක් තිබෙනවා යයි කියන නිසාය. තවත් අතීතයට යන්නේ නම් රාවණා, යක්ඛ ආදී ජාතීන් ද හමුවේ. එහෙව් ජාතියක් බටහිරින් පැමිණි අන්තර්ජාලය දියුණු, දුරකථන, පරිගණක ආදී ඩිජිටල් තාක්ෂණය ඇති ‍මේ දියුණු ගෝලීය ‍යුගයේ පෝලිම් වල ලග්ගවන එක හරි නැතිය. කොවිඩ් එන්නත එක පිළිවෙලකට, විධිමත්ව දීමේ අවශ්‍යතාව ගැන මම සටහනක් තැබුවේ මීට මාසයකට පමණ පෙරය. එහි දී කීවේ නූතන ඩිජිටල් සන්නිවේදනය තුළින් මිනිසුන් පෝලිම් වල ලග්ගවන්නේ නැතිව, පිළිවෙලට, විධිමත්ව එන්නත්කරණය කරන හැටි ගැන අදහසකි.
මේ වන විට සෞඛ්‍ය ක්‍රේෂ්ත්‍රයේ සියලු නිළධාරිහූ අවධානම දරාගනිමින්, කැපවීමෙන් කොවිඩ් එන්නත සීග්‍රයෙන් විදිමින් සිටිති . එන්නත්කරණය බො‍හෝ තැන්වල පිළිවෙලකට – කලාවකට මිනිසුන් රස්තියාදු නොකර සිදුවන අතර ඇතැම් තැනක එසේ නොවූ බව බව විවිධ අයගේ අත්දැකීම් අනුව පෙනේ. මේ අත්දැකීම් අතර ජනතාවට ඉවසන්නටම බැරි කාරණය නම් ඇතැම් තැනක – දෙකක උදෑසන සිට පැය කිහිපයක් පෝලිමේ ලැග බෙහෙත විදින තැනට පැමිණි විට “එන්නත ඉවරයි” යන යයි කතාව අසන්නට සිදුවීමය. එවිට, “ ඒක කලින් කියන්නේ නැතිව පැය ගණන් පෝලිමේ ලැග්ගුවේ ‍අහවල් මගුලකට ද” කියා අදාල නිළධාරින් සමග රණ්ඩු අල්ලන්ට හැකිය. නැතිනම් හිතේ වේදනාව හා කලකිරීම තබාගෙන සිතින් බැන-බැන ආපසු ගෙදර යාමට හැකිය. මේ දිනවල කො‍විඩ් එන්නත විදීමේදී එසේ වෙනවා යයි මම නොකියමි. මීට පෙර සිදුවී තිබේ. මෙවැනි සංසිද්ධි කොවිඩ් එන්නත්කරණයේදී පමණක් නොව ලංකාවේ පෝලිම් ගස්සවන ඇතැම් තැන්වල ජනතාව විඳින පොදු අත්දැකීමක් බව මගේ අදහසයි.
එහෙත් අර බෙහෙත් ‍විදින තැන සබුද්ධික එක් නිළධාරි මහතෙකු හෝ සිටියා නම්, ඔහුට අර Common Sense ද? එක ද මොකද කියා එකක් යන්තන් වත් තිබුණේ නම් ඔයාකාර අවුල් වෙන්නෙ නැත. ඔහු කරන්නේ එන්නත් ලැබී ඇත්තේ 500 නම් උදේම පන්සිය දෙනෙකු අර පෝලිමේ ගණන් කරගෙන ගොස් 500 වැනියාගෙන් එහා සිටිනා අයට බෙහෙත ඇත්තේ 500 දෙනෙකුට පමණයි කියා ඒ අය කලින්ම ගෙදර හරවා යැවීමයි. එසේත් නැත්නම් අංක 1 සිට 500 දක්වා කුඩා තුන්ඩු ලියා අර මිනිසුන් අත තැබීමයි. එවිට අර ජනතාව නිකරුණේ පෝලිම් වල ලගින්නේ නැත.
ඩිජිටල් ක්‍රමයට එස්එම්එස් යවා හෝ පත්‍රිකාවක් නිවසට යවා හෝ අහවල් සන්නිවේදනය කළ නොහැකි නම් අර කී ලෙසට මුලින්ම පෝලිම ගණන් කොට අතේ ඇති එන්නත් ගාණට පිළිවෙලට වැඩේ කළ හැකිය. එහෙත් තැන් කිහිපයක හෝ අර කටුක අත්දැකීමට ලංකාවේ ජනයා මුහුණ දී ඇත්තේය. ලංකාවේ ඇතැම් නිළධාරින්ගේ කෙරුවාවල් එසේය. නමුත් එවන් අවම සිදුවීම් වත් වන්නට ඉඩ නොතබන බව බලධාරීන් වරින් වර කියනු ඇසේ. පුරවැසියනි කොවිඩ් එන්නත්කරණයේ ඔබ ලැබූ හොඳ – නරක අත්දැකීම් මෙහි සටහන් කරන්නේ නම් යහපත්ය. රජයේ සේවාවන් ජනතාවට හරියාකාරව ලබා දීමේදී මෙවැනි සිද්ධි අධ්‍යයනයන්ගෙන් (Case Study) බොහෝ දේ ඉගෙන ගත හැකිය. නිවැරදි කරගත හැකිය. මෙවැනි අවස්ථාවන් සංවිධාන කිරීමේ දී Event Management කියා දෙයක් ද තිබේ. ඒ පිළිබඳ දැනුම රාජ්‍ය නිළධාරින්ට අවශ්‍යය. ඒ සඳහා යාන්ත්‍රණයක් ද අවශ්‍යය. පිළිවෙලට-විධිමත්ව අවධානම ද නොසලකා රාජකාරී කරන නිළධාරීන්ට ජාතියේ ගෞරවයක් හිමිවේ.
– අතුල දිසානායක (සමාජ කතා )

Leave A Reply

Your email address will not be published.

3 + six =