අරුනාචල් හදගැස්ම අහන්න (Crossing Bridges)

ටෂී නැමැති මැදිවියට පය තබමින් ඉන්න තරුණයා බොහොම දුර ගමනක් ගෙවාගෙන තමන් උපන් ගමට පැමිණෙනවා. මේ ගම ඊසානදිග ඉන්දියාවේ අරුනාචල් ප්‍රාන්තයේ කඳු අතරේ තිබෙන බොහොම සුන්දර ගම්මානයක්. ඉතාම අඩු පහසුකම් එක්ක කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවෙච්ච මේ ප්‍රදේශයේ වැසියන්ට සිය ආදිතමයන්ගෙන් උරුමවුණු ඉන්දු-චීන පෙනුම සහ පැවතුම් එක්ක පාර්භෝජනවාදයේ ගොදුරු නොවුණු, ලිබරල් ආර්ථික රටාවකට හුරු නොවුණු, අවශ්‍යතා සීමිත සමාජයීය වටපිටාවකට හිමිකම් කියනවා.

අඩු වයසකින් මේ ගම්මානය අතහැරලා දාලා මුම්බායි නගරයේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට රැකියාවට යන්න ටෂීට හැකිවෙන්නේත් මුම්බායි හීදී ලබන අධ්‍යාපනය එක්ක. අවුරුදු ගාණකට පස්සේ බොහොම සරල කෘෂිකාර්මික දිවිපෙවතක් ගතකරන වියපත් දෙමව්පියන් ටෂීගේ නැවත සම්ප්‍රාත්තියෙන් සතුටට පත්වෙනවා. වචන අඩු හැඟීම් බහුල ටෂීගේ පැවතුම් ඉන්දියාවේ කාර්යබහුල නගරයක දිවි පෙවෙතකට මිස ගමක සරල සාමාන්‍ය ජීවිතයකට තවදුරටත් උරුම හෝ හුරු නැති බව ටෂීගේ නැවත ආගමනය ඔහුටම පසක් කරදෙනවා.
සත්‍ය වශයෙන්ම වසරකට වැඩි කාලයක් රැකියාව අහිමිවීම නිසා නැවත රැකියාවක් සොයාගැනීමේ කාල පරිච්ඡේදය අතර තමන්ගේ ගමට සැපත්වෙන ටෂී රැකියාවක් සොයාගැනීමේ මානසික පීඩනය සහ නැවත ගැමි දිවියට හුරුවීමට ඇති අපහසුව අතර දෝලනය වෙමින් ගතකරනවා. එයා ඉතා අපූරුවට රූපක මගින් පෙන්වාදෙන්නේ අරුනාචල් පෙදෙසේ දුෂ්කරා ග්‍රාමයේ ඇති ඒදඬු හෙවත් ලී කොට පාලම් මතින් ගමන් කිරීමට ටෂී දක්වන බිය නිසාවෙන්. බොහෝවිට ටෂීට මේ ඒදඬු තරණය සඳහා ගමේ තමන්ගේ පැරණි මිතුරන් වන පෙමා, රචින් වැන්නවුන්ගේ සහය අවැසිවීම හරහා ය. වරක් ඒ ලෙස සහය උදෙසා අත දෙන සොඳුරු තරුණිය අනිලා නිසාවෙන් ටෂීගේ නැවත ආගමනය වෙනස්ම ගමනකට සැරසීම ඇරඹේ.
ගමේ මිතුරන් මෙන්ම දෙමව්පියන්ගේ දැඩි වෑයම ටෂී ගමේ නතර කරගෙන ගම්මානයේ ස්වදේශික ජන කොට්ටාශයට හිමි සරල දිවිපෙවෙතට හුරුවී දෙමව්පියන්ට අයිති විශාල ගොවිපල නඩත්තු කරගෙන පවුල් ජීවිතයක් අරඹන ලෙසයි. ඒත් මුම්බායි නුවරදී වසර පහක ටෂීගේ පෙම නිමාවන්නේ රැකියාව අහිමිවීවත් සමගමවීමත්, එකල ඔහුගේ පෙම්වතිය ඔහු හැර යන්නේ ටෂීගේම සමීපතම මිතුරෙක් සමගවීම නිසා ටෂී ආදරය සහ පවුල් ජීවිතය සම්බන්ධයෙන් ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු පෙනෙන්නට තිබේ. පැරණි පෙම්වතිය විසින් ඔහුට එවූ අවසන් ලිපිය ඔහු සතුව තවමත් තිබීම සහ එය නිතර කියවීම නිසා ටෂිගේ මනෝභාවය වටහාගැනීම එතරම් අපහසුවක් නැත.


දුරකතන සංඥා නොමැති ග්‍රාමයේ එකම රැහැන් දුරකතනයත් අක්‍රීයවූ දිනට රැකියා ඉල්ලුම්පත් සම්බන්ධව තොරතුරු දැනගැනීමට මුම්බායි නුවර මිතුරා ආමන්ත්‍රණය කිරීමට ටෂිට අඩි සිය ගණනක් උස කන්දක් මත ඇති බුදුරුව අසලට යන්නට සිදුවීම තුලින් මෙකී ගම්මානය මුහුණදෙන ප්‍රායෝගික ගැටළු සහ ඉන්දියානු සිනමාව මෙන්ම ඉන්දියාවේ සමස්ත ප්‍රකාශනයන් හරහා පෙන්වන තාක්ෂණික මායාවට අරුනාචල් කොතරම් දුරද යන්න පෙන්වාදෙයි.
ගමේ ගතකරන පීඩාකාරී දිවිය පුරාවටම ටෂීගේ දෙතොලතර සිගරට්ටුව රැඳෙමින් ඔහුගේ චිත්ත පීඩාවේ තරම කියාදෙන්නට උත්සහ කරයි. කාන්සිය මකාගන්නට මිතුරෙක් සමග දුරබැහැර නගරයෙන් රූපවාහිනියක් මිලට ගන්නා ටෂීට එය නරඹන්නට සිදුවන්නේ ගමට දිනපතා විදුලිය ලැබෙන උදෑසන එක් පැයක කාලය තුල පමණි. එහිදී ටෂි සතුව ඇති ඇපල් ලැප්ටොප් පරිගණකය හරහා ඔහුගේ වෘත්තීය මෙන්ම නාගරික දිවියේ ආර්ථික ශක්තිය කියාපෑම සරල සිදුවීමකි. රූපවාහිනිය නැරඹීමට ගම පුරාම වැසියන් ටෂීගේ නිවසට පැමිණීම සහ රූපවාහිනිය ඉදිරියේ ටෂීගේ කල්මැරීමට විරෝධය දක්වන සිය පියාණන්ම පසුව ඔහුගේ ගොවිපල වැඩ අතහැර රූපවාහිනිය ඉදිරියේ කල්මැරීම තුලින් අවශ්‍යතා සීමිතවීම තුල පමණක් මෙකී ගැමියන්ගේ වුවමනා සීමාවී ඇති අයුරු මනාව පෙන්වාදෙයි.
ගමේ ඉතා දුෂ්කර අඩු පහසුකම් සහිත පාසලේ ගුරු හිඟය නිසා ටෂීට කෙටි කලකට උගැන්වීම් සඳහා ආරාධනා ලැබෙන අතර එකී නුහුරු කටයුත්තට ටෂී ඉතා කෙටි කලකින් හුරුවන්නේ අනිලා නැමති සොඳුරු යුවතියද එහි ගුරුවරියක් ලෙස කටයුතු කිරීමත් සමගය. ටෂීගේ ගමට මෙන්ම අරුනාචල් ප්‍රදේශයට ආවේණික ෂෙර්ටුක්පෙන් නැමති භාෂාව මෙන්ම ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හැසිරවිය හැකි අනිලාට එලෙසම හැකියාව ඇති ටෂි ඉතා කෙටි කලකින් බොහෝ ලංව දැනෙන්නට පටන්ගැනීම මේ කතාවේ හැරවුම් ලක්ෂය ලෙස සැලකිය හැකිය. අනිලා සමග ටෂීගේ හදවත් විවරවීම කෙළවර වන්නේ නොදැනීම දෙදෙනා අතර ගොඩනැගෙන මානසික බැම්මත් සමගය.

එතැන් සිට ටෂීට ගම හුරුවීම ඇරඹෙන අතරම ගම ආසන්නයේ ඇති එකම නගරයේ සුව පහසු නිවසක ආර්ථික ශක්තිය ඉතා හොඳ මට්ටමකින් පවත්වාගෙන යන නාගරික ඇවතුම් හුරු අනිලාගේ ඇසුර වෙනස් අත්දැකීමක් එක්කරයි. ටෂීගේ ජීවිතයේ සැබෑ තත්ත්වය දැනගන්නා එකම අරුනාචල් වැසියා බවට පත්වන්නේද අනිලාය. එසේම අනිලා ද ටෂීගේ ගමට නුදුරු කඳුකරයේ ඉපදුණු තරුණියක්වීම නිසා ඇය ටෂීගෙන් ඉල්ලා සිටින්නේ කෙදිනක හෝ එකී හිම වැටෙන කඳුකරයට තමන්ව කැඳවාගෙන යන ලෙසය. එසේ නොහැකිවුවහොත් ටෂීගේ කුඩාකල සිට අත රැඳුණු කැනන් කැමරාවෙන් ඡායාරූප හෝ තමන්ට පෙන්වන ලෙසය.
අනිලාගේ ඒ ඉල්ලීම ඉටුකිරීමට දෝ නගරය ආසන්නයෙන් භාවිතාකල ජීප් රථයක්ද අඩු මිළට මිතුරෙක් හරහා මිළට ගන්නා ටෂීට දැනගන්නට ලැබෙන්නේ අනිලා ඉන් සති කිහිපයකට පසු විවාහවන්නට නියමිත බවය.
‘එයා මට කවදාවත් ඒ ගැන කිව්වේ නෑ..’ ටෂී අනිලාත් හඳුනන තමන්ගේ ගමේ මිතුරියක් සමග එසේ පවසයි.
‘කිව්වේ නැත්තේ එයා ඔයාට ආදරේ නිසා..ඔයා මුණගැහෙද්දිත් එයා විවාහ ගිවිසගෙන හිටියේ..’
මිතුරියගේ පිළිතුරෙන් ටෂී නැවත පත්වන්නේ දැඩි චිත්ත පීඩාවකටය. මුම්බායි රැකියාවේ බලාපොරොත්තුව පසෙක තබා ටෂී සිය පියාගේ ගොවිපලේ වැඩ පටන් ගැනීම සහ පියා සමග එක්වී රූපවාහිනිය මිතුරෙක්ට ලබාදීම තුලින් ටෂීගේ පරිවර්තනය ගම්‍ය වන අතරම ඉතා වේගයෙන් ටෂී වසර ගණනකට පෙර ගමේ සිටි යොවුන් ටෂී බවට පත්වීම ඇරඹේ. ඒ අතර විවාහයට පෙර හදිසියේම ටෂී හමුවන්නට එන අනිලා දෙදෙනාට හුරුපුරුදු ගංතෙරේදී හමුවන්නේ අවසන් වතාවටය.
‘ඇයි ඔයා මට කිව්වේ නැත්තේ ඔයා බඳින්න යනවා කියලා..’ ටෂී විමසන්නේ ඉතාම කණගාටුවෙනි.
‘ඇයි මම ඒක ඔයාට කියන්නේ..මොකක් නිසාද.. අපි මුණගැහෙද්දි ගොඩක් ප්‍රමාදයි’ කඳුළු පිරි නෙතින් යුතුව අනිලා පිළීතුරු දෙයි.

නොබිඳිය හැකි පොරොන්දු සහ ඇතිවිය නොහැකි බැඳීම්වලට ඉන්දියානු සමාජයේ ඈත කෙළවර වුවද යටත් බව අනිලාගේ වේදනාව මුසු ප්‍රතිචාරයෙන් ඉතා තදින්ම කියා සිටියි. අවසන් හමුවේදී ගනු ලබන අනිලාගේ සොඳුරු සේයාරුවත් වචන රහිතව එකම එක වැළඳගැනීමකින් පමණක් අවසන්වන අනිලා-ටෂී හමුව මානව සබඳතාවක භෞතිකමය වෙන්වයාමක යථාර්ථවාදී ස්වරූපය සිතුවමකට නගයි.
මෙකී කතාව පුරාම අරුනාචල් හි ගැමි පරිසරයට උරුම බෞද්ධ පසුබිම සහ ස්වදේශීය විශ්වාසයන්හි ඇති බලපෑම ඉතාම හොඳින් පෙන්වාදෙයි. කාන්තා අවතාරයක් නිසා දිවි අහිමිවෙන ටෂීගේ කුඩාකල මිතුරෙක්වන ඩොර්ජීගේ දර සෑය අසබඩ බෞද්ධ භික්ෂූන් පාංශකූල වතාවත් සිදුකරද්දී ටෂීගේ මිතුරු පෙමා ජීවිතයේ අනිත්‍ය සම්බන්ධ බෞද්ධ ප්‍රකාශනය ඉතාම සැහැල්ලු සිතින් මෙනෙහිකරනු ලබයි. මෙකී ග්‍රාමීය සංස්කෘතියට උරුම හුදෙකලා සංස්කෘතික අංගයන් ගැන සහ ඉන්දියානු මහා සමාජය ඉන්නා ඉසව්ව ඉතාම සංක්ෂිප්තව පෙන්වා දෙයි. ඒ ටෂී කුඩා දරුවන්ට පාසලේදී ඔවුන්ගේ පාඩම් පොතේ ඇති ‘හෝලි’ උත්සවය ගැන කියාදෙද්දී එක් දියණියක් විමසීමක් සිදුකරයි.
‘සර් මේ හෝලි කියන්නේ අපේ කෝලා-කේර් කියන උත්සවය වගේ එකක්ද?’
‘හ්ම්..ඔව් ඒ වගේ එකක් තමයි..’
‘එතකොට සර් අපේ කෝලා-කේර් උත්සවය ගැනත් පාඩම් පොතේ තියනවද?’
‘මම හිතන්නේ නෑ..’ ටෂී පිළිතුරු දෙයි.
‘ඇයි සර් ඒක පොතේ නැත්තේ..’
‘මෙහෙමයි..අපේ මේ දේවල් ගැන මේ පළාතෙන් පිට ලෝකය දන්නේ බොහොම අඩුවෙන්..’
ටෂීගේ මේ ප්‍රකාශනය හරහා චීනය, භූතානය, බංගලාදේශයට අතර මැදිව දිල්ලියෙන් කිලෝමීටර් දහස් ගණනක් එපිට ඇති අරුනාචල්හි සැබෑ කතාව වචන කිහිපයකින් ගෙනහැර දක්වයි. මේ කතාවේ කෙළවරදී ටෂී සිය පියා සමග සුපුරුදු ගොවිපල සංස්කෘතියට හැඩ ගැසෙන අයුරුත් ඔහුට නුහුරුව පැවති මේ පෙදෙසට ආවේණික බටර් තේවලට නැවත ඔහු හුරුව ඇති අයුරු මෙන්ම මුම්බායි සහ අනිලාගේ මතකයෙන් කෙමෙන් කෙමෙන් දුරස්වෙන අයුරුත් පෙන්වා දෙයි.එහෙත් හදිසියේම සිහිපත්වූ අනිලාගේ ඉල්ලීම වන ඇය උපන් කඳුකරයේ හිම වැටෙන දර්ශන කැමරාවට හසුකරගන්නට ටෂී එහි යන අයුරු මෙන්ම ඒ සීතල හිමකැට මැද අනිලාගේ මතකය රසවිඳින අයුරු දැනෙන්නට ඉඩකඩ සලසයි. ටෂී නැවතත් සර්ව සම්පූර්ණ ගැමියෙක් බවට භාවිතාවෙන් පත්වෙමින් ඇති බව පෙන්වමින් පාසලේ උගැන්වීම් අවසන් කර එන ටෂී කිසිවෙකුගේ සහයක් නොමැතිව පුරුදු ලෙසින් ඒදණ්ඩෙන් එගොඩවන ජවනිකාව හරහා මනසට එන්නත් කරනු ලබයි.
මෙකී අපූරු කතාව ඇතුලත් වන්නේ 2014 වර්ෂයේදී සන්ගේ ඩෝර්ජි තොන්ග්ඩොක්ගේ අධ්‍යක්ෂණයක් හා නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණයවී තිරගතවූ ‘Crossing Bridges’ නැමතී සම්මානනීය අපූරු සිනමා පටයේය. මිනිත්තු 103ක් පුරා දිවයන මේ සිනමා පටය ඉන්දියානු ඉතිහාසයේ අරුනාචල් ප්‍රාන්තයට ආවේණික ස්වදේශීය භාෂාවක් වන Shertukpen භාෂාවෙන් නිමවුණු ප්‍රථම චිත්‍රපටය ලෙස සටහන්වේ. මේ සිනමා පටයේ අධ්‍යක්ෂකවරයා මෙම ගම් සීමාවේ උපත ලැබූ සහ ජීවත්වන නිර්මාණකරුවෙක් ලෙස ඔහුගේ මූලික අභිප්‍රාය වී තිබුණේ මේ සීතල සහ සුන්දර ගම්මානයේ කතා පුවත මෙන්ම ඊසාන දිග ඉන්දියාව මුහුණදී තිබෙන සමාජ ආර්ථික ප්‍රශ්න ලොවට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නටය.
ඉන්දියානු රුපියල් තිස්පන් ලක්ෂයක පමණ ඉතා අඩු මුදලකින් නිර්මාණය කල මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කර තිබෙන්නේ Canon 5D කැමරාවකින් වීම විශේෂිත සිදුවීමකි. නමුත් මෙකී දුර්ලභ සිනමා නිර්මාණය ඔබ රසවින්ඳහොත් එය කිසිවිටකත් සිනමා රසයෙන් අඩු නිර්මාණයක් නොවන බවත් එය ඔබේ සිනමා රසවින්ඳනය වෙනත්ම පරාසයකට ගෙන යන නිර්මාණයක් බවට පත්වනු ඇත.
‘මේකට සම්පූර්ණ සල්ලි වියදම් කලේ මගේ තාත්තා. ඔහු කිව්වේ මේක අපේ යුතුකමක්, අපේ ස්වදේශික ජනතාවගේ ජීවිතය සහ ගැටළු වගේම අපේ පළාතේ ලස්සන ලෝකයට ගෙනයන්න මේක හොඳම මාර්ගයක් බවත් ඒ වෙනුවෙන් අපි වගකීමකට බැඳිලා ඉන්නවා කියන එක. මේකට රංඟනයෙන් එකතුවුණු ගොඩක් අය මගේ යාළුවෝ. ඔවුන් අඩුම තරමේ මුදල්වත් ගත්තේ නෑ.’

චිත්‍රපටයේ නිර්මාණකරු යොවුන් අධ්‍යක්ෂකවරයා එසේ කියද්දි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ටෂීගේ චරිතයට පණපොවන Phuntsu Khrime එකී චරිතය ඉතාම තාත්විකව සහ රඟපෑමක් ලෙස නොසිතෙන මට්ටමකට සිදුකිරීම ඉතා විශිෂ්ට ය. ඔහුගේ මුහුණෙන් සහ හැසිරීමෙන් කියන්නාවූ අභිනයන් මෙන්ම වචන රහිත දර්ශනතුල ඔහු එය ඉතා අගනා අයුරින් පෙන්වා දෙයි. ප්‍රධාන නිළිය චරිතය හොබවන Anshu Jamsenpa යනු තෙවරක්ම එවරස්ට් තරණය කළ සම්මානලාභී කඳු තරණයකරන්නියක් වන අතර ඇයද මෙකී ප්‍රදේශයේම බොම්ඩිලා හි ජීවත්වන කාන්තාවකි.
Crossing Bridges චිත්‍රපටය 2014 වර්ෂයේදී ඉන්දියානු ජාතික චිත්‍රපට උළේලේදී සම්මානයට පාත්‍රවූ අතර තවත් දෙස් විදෙස් චිත්‍රපට උළෙල ගනනාවක ඇගයීමකට ලක්වීම සිදුවිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම ඉතා සංවේදී සහ සොඳුරු චිත්‍රපටය ඔබේ සිනමා රසාස්වාදනය වෙනස්ම මගකට යොමුකරනු ඇති අතරම අපහසුවෙන් හෝ සොයාගෙන මෙකී චිත්‍රපටය නැරඹීමට ගතකරන කාලය ජීවිතයේ කිසිඳු දිනක අමතක නොවනු ඇත. ඒ මන්දයත් ලියුම්කරුටද සිනමාපටය නරඹා දින ගණනක් ගතවීත් තවමත් ටෂී සහ අනිලා සමග ඈත් අරුනාචල්හි සොඳුරු ගම් පියසේ ජීවත්වන ලෙස දැනෙනා තරමටම එහ හෘදසංවේදී බැවිනි.
– ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර (fb)

Leave A Reply

Your email address will not be published.

4 × one =