“පොලිස් අත්අඩංගුවේදී මියයාමේ රැල්ල නවත්වන්න ” නැතහොත් ජිනීවා යන සැලසුම්

වර්තමානයේ රටේ විවිධ ප්‍රදේශ වළ ක්‍රියාත්මක වෙමින් යන පොලිස් වධහිංසාවලින් පුද්ගලයන් මිය යාමේ රැල්ල නැවැත්වීමට වහා පියවර ගන්නැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමටද පියවර ගන්නා එම සංවිධානය පවසයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් කුමන සමාජ මට්ටමක අය වුවද, අපරාධවලට සම්බන්ධ බවට සැකකරන අය වුවද ඔවුන් තමන්ගේ භාරයේ සිටි නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සහ අනෙකුත් මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන සේ කටයුතු කිරීමේ වගකීමක් පොලිස්පතිවරයාට ඇති බවයි.

” ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් අණපනත් මගින්ද ‌ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින්ද එම පරම අයිතිවාසිකම් තහවුරු කර තිබේ.”

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සිය පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාට අවධාරණය කර ඇත්තේ පොලීසිය තුලදී පුද්ගලයන් මියයාම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබුනද මේ වන විට එය ප්‍රවණතාවයක් වී ඇති බවයි.

පොලිස්පති වෙත යොමු කරන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය ද පසුගියදා මතක් කර දී තිබුනේ, පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝග වල මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලද අවධාරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසරේ නිවේදනය කර තිබුනේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ මරණ අටක් වාර්තා වී ඇති බවයි.

 

Leave A Reply

Your email address will not be published.

2 × 5 =