නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුව මැයි 10 දා සිට සිදුවෙලා – ඊ-මේල් පණිවිඩ මකා දමලා

මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත සමාගම වෙත යොමු කරන ලද ඊ-මේල් පණිවිඩ කීපයක් එම ආයතනයේ සේවය කරන පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන් මකා දමා ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් ඊයේ (07) අධිකරණයට දන්වා තිබේ.

ඒ මෙම නැවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු හත්දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුව මැයි මස 10වනදා සිට සිදුවී ඇති බව දැනට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

එහිදී ඔහු ඉල්ලා ඇාත්තේ අනතුරට පත් නෞකාවේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළ සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි ඇතුළු හත්දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ දැනට සැකකරුවන් වශයෙන් නම් කර සිටින අදාළ නෞකාවේ ප්‍රධාන සහ දෙවන ඉංජිනේරුවරයා යන අය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එම නඩුකරය විභාග කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එය මහාධිකරණය විසින් සිදුකළ යුතු කටයුත්තක් බවත් සඳහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එම පුද්ගලයින් සැකකරුවන් වශයෙන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතිසි නිකුත් කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බව තීන්දු කරමින් එම ඉල්ලීම ඉවත දමා ඇත.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය අනතුරට පත්ව ඇති නෞකාව තිබෙන ප්‍රදේශයට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කර තිබේ.

අදාළ නෞකාවෙන් ලබා ගත් එහි වී.ඩී.ආර්. යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

නඩු විභාගය ආරම්භයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ගිනි ගැනීමට ලක් වූ නෞකාව දේශීය ජල තීරයට ඇතුළුවීමේ දී සත්‍ය වසන් කර පරස්පර විරෝධී ප්‍රකාශ ඉදිරිපත් කරමින් රට තුළට ඇතුළු වී ඇති බවට චෝදනා එල්ල කර තිබේ.

අදාළ නෞකාව කිසිදු රටකට ඇතුළු වීමට නුසුදුසු තත්වයක පවතින බව දනිමින් එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය අසත්‍ය කරුණු ඉදිරිපත් කර මෙරට ජල තීරයට ඇතුළු වී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

නෞකාවක් කිසියම් වරායට ඇතුළු වීමට පෙර එහි හානිකර ද්‍රව්‍ය පවතින බවට ප්‍රකාශයක් සිදුකළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නෞකාව සම්බන්ධයෙන් එහි දේශීය නියෝජිතායතනය මැයි මස 19 වනදා හාබර් මාස්ටර්වරයා වෙත සිදුකර ඇති ප්‍රකාශය තුළින් අදාළ නෞකාව තුළ අනතුරුදායක ද්‍රව්‍ය පවතින බවත් ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අසුරා ඇති බව පවසා ඇතැයි සඳහන් කර තිබේ.

එසේ පැවසූ දේශීය නියෝජිත සමාගම ඊට පසුදින නෞකාව තුළ ගින්නක් පවතින බව දන්වමින් හාබර් මාස්ටර්වරයා වෙත වෙත ප්‍රකාශයක් ලබාදීම ගැටලු සහගත බව පෙන්වා දී ඇති නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය සත්‍ය වසන් කිරීමක් බවද පවසා ඇත.

එමෙන්ම එම නෞකාව මෙරටට ඇතුළුවීමට අදාළව නෞකාවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත සමාගම වෙත යොමු කරන ලද ඊ-මේල් පණිවිඩ කීපයක් එම ආයතනයේ සේවය කරන පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන් මකා දමා ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකරන බවත් ඔහු දන්වා තිබේ.

කෙසේ වෙතත් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් සත්‍ය වසන් කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී ඇති බවට පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර ඇත.

පැමිණිල්ල ලබන 15 වනදා කැඳවීමට අධිකරණය යළි නියෝග කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

4 × 3 =