විදේශිකයන් පිරිසකට යාල, විවෘත කරනවා – වැඩකරන ජනතාවගේ ආරක්‍ෂාව ගැන කර තිබෙන්නෙ මොනවද?

- ආචාර්ය හරිනි අමරසූරිය

කර්මාන්තවල වැඩකරන අයගේ ආරක්‍ෂාව සඳහා ක්‍රියාත්මක කර තිබෙන්නේ මොනවාද? විදේශිකයන් පිරිසකට යාල, උඩවලව උද්‍යාන යම්කිසි අනුමැතියකට යටත්ව විවෘත කරන්න තීරණය කර තිබෙනවා. මේ තීරණ ගන්නේ කවුද?
ජාතික ජන බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසූවේ ඊයේ (07) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමිණි.

“ලෝකයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කනරකොට අපේ රට යම්කිසි විදිහකට වාසනාවන්ත රටක් කියල හැඟීමක් ශ්‍රී ලාංකිකයන් හැටියට තිබුණා. ගැටළුවලට මුහුණ දුන්නත් අපිට ඒවාගෙන් ගොඩඑන්න පුලුවන් කියන විශ්වාසයක් තිබුණා. අප්‍රිකාවේ රටවල් එක්ක, බංගලිදේශය එක්ක, එහෙමත් නැත්නම් ජපානය එක්ක වගේ සංසන්දනය කරලා වාසනාවන්ත රටක් කියන හැඟීමක් තිබුණා. බින්දුවට වැටෙන්නේ නැහැ කියන වි්‍යුහාත්මක ශක්තිමත් බවක් තියෙනවා කියලා විශ්වාසයක් තිබුණා. අවුරුදු දෙකක්වත් යන්න කලින් මිනිස්සුන්ට තමන්ගේ රට, තමන්ගේ අනාගතය ගැන කිසිම විශ්වාසයක් නැති තැනකට මේ ආණ්ඩුව පත්කර තිබෙනවා. වර්තමානය පිළිබඳවත් අනාගතය පිළිබඳවවත් තමන්ගේ ජීවිතය පිළිබඳවත් ජනතාවට තිබෙන්නේ ඉතාමත්ම අවිනිශ්චිතභාවයක්. මේ ප්‍රශ්නවලින් ගොඩඑන්න බැහැ කියන හැඟීමක් ඇතිවෙලා තියෙනවා. අපිට එන දුරකතන ඇමතුම්, අපිට එන ලියුම්වලින් ජනතාව අතර තියෙන බලාපොරොත්තු රහිත අවිනිශ්චිතභාය හොඳටම දැනෙනවා. මේක ඉතාමත්ම භයානක තත්වයක්.

අපේ රටේ අත්‍යාවශ්‍ය සේවාවන් කියලා ඕනෑම ක්‍ෂේත්‍රයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පාරට බැස්සාම සංචරණ සීමාවන් ගැන පේන්නේ නැහැ. නිදහස් වෙළඳ කළාපය අත්‍යාවශ්‍ය සේවාවක් හැටියට නම් කරලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක විය යුතුයි කියලා පිළිගන්නවා නම් ඒ කර්මාන්තවල වැඩකරන අයගේ ආරක්‍ෂාව සඳහා ක්‍රියාත්මක කර තිබෙන්නේ මොනවාද? ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ ආරක්‍ෂාව දීලා තියෙන්නේ ඒ ව්‍යාපාරිකයන්ට. නිදහස් වෙළඳ කලාපයේ බොහෝ අය වැඩකරන්නේ මෑන් පවර් ඒජන්සි හරහා. ඔවුන් වෙනුවෙන් ව්‍යාපාර හිමි අය වගකියන්නෙත් නැහැ. රජය වගකියන්නේත් නැහැ. මෑන් පවර් ඒජන්සි වගකියන්නෙත් නැහැ. රැකියා ස්ථානවලදී කොවිඩ් අසාධනය වුණොත් ඔවුන්ගේ බෝඩිංවල නතර වෙන්න කියනවා. ඒ තැන්වල සමාජ දුරස්ථභාවයක් තියාගෙන්න බැහැ. ඔවුන්ට ආහාර ලබාගන්නවත් විදිහක් නැහැ. එදිනෙදා රැකියාවට ගියේ නැත්නම් ආදායමක් ලැබෙන්නෙත් නැහැ. මේ අය පිලිබඳ කිසිම වගකීමක් කවුරුත් අරගෙන නැහැ. ඒ හා සමාන ව්‍යාපාර ගොඩක් තියෙනවා. සුපර් මාකට්වල වැඩ කරන අයත් එහෙමයි. ඔවුන් බොහෝ දෙනක් කොළඹින් පිට අය. ඔවුන් ජිවත් වෙන්නේ බෝඩිංවල. නිරෝධායනයට අවශ්‍ය පයසුකම් බෝඩිංවල තියෙනවාද? කොළඹ ආර්ථික සේවාවන් සපයන බොහෝ අයගේ තත්වය මේකයි.

මේ කරන්නේ රටේ ජනගහනයෙන් යම් කිසි පිරිසක් බිල්ලට දීමයි. කොටසක් ලෙඩවෙලා මැරුණට කමක් නැහැ කියන තැනකයි ආණ්ඩුව ඉන්නේ. එවැනි කෲර විදිහට ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් දැන් තියෙන්නේ. මිනිස්සුන්ගේ ඇත්ත තත්වයන් ගැන කිසිම හැඟීමක් නැති විදිහට ක්‍රියාත්මක වෙනකොට සංචරණ සීමාවලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබාගන්න බැහැ. කොවිඩ් පැතිරීමත්, මරණ සංඛ්‍යාවත් අඩු කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය දැන් මතුවී තිබෙනවා.

විදේශිකයන් පිරිසකට යාල, උඩවලව උද්‍යාන යම්කිසි අනුමැතියකට යටත්ව විවෘත කරන්න තීරණය කර තිබෙනවා. මේ තීරණ ගන්නේ කවුද? මෙවැනි තීරණ ගන්න මොන සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියද ලබාගත්තේ? මේ තීරණවලට වගකියන්නෙ කවුද? මාස කිහිපයකට ඉස්සර යුක්‍රේනියානුවන් පිරිසකට යාල විවෘත කළා. එතැන හිටපු මඟපෙන්වනන් කිසිම සැලැස්මක් නැතිව නිරෝධායනයට යැව්වා. අන්තිමට මේ තැන්වල වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද? මිනිස්සුන්ගේ ජීවිත ගැන පවා කිසිම වගකීමක් නැතිව ක්‍රියාකරන ආණ්ඩුවක් දැන් තියෙන්නේ.

විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ බරපතල ගැටලු තියෙනවා. අවුරුදු එකහාමරකට වැඩි කාලයක් පාසැල් සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බැරිවුණා. නමුත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඇහුවාම කියන්නෙ ඔන්ලයින් මාර්ගයෙන් ඉගෙන ගන්නවා, කිසිම ප්‍රශ්නයක් නැහැ කියලයි. නමුත් දෙමව්පියන්ගෙන් ඇහුවාම, පැසැල් දරුවන්ගෙන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගෙන් ඇහුවාම ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් උත්තරයක්. ඔන්ලයින් ක්‍රමය තුළින් ගෙවල් තුළ දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ ළමුන්ට මොන තරම් පීඩනයක් තියෙනවාද? ඩේටා, සිග්නල් ඔක්කොම තිබ්බත් ඒ වෙනුවෙන් මුදල් වියදම් කළත් මේ ක්‍රමය තුළින් හරියට ඉගෙන ගන්න බැරිව අධ්‍යාපනය අත්හරින පිරිස අතිවිශාලයි. අංක ගණිතයෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන තක්සේරු කරන්න බැහැ. මිනිස්සුන්ට තමන්ගේ ආහාර වේල හොයාගන්න බැරි වෙලාවක අධ්‍යාපනය වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරන්න සිදුවී තිබෙනවාද? නමුත් ආර්ථික පැත්තෙන් විතරක් නෙමෙයි මානසික පැත්තෙනුත් අති මහත් බරක් පැටවී තිබෙනවා. ගෝලීය වශයෙනුත් මේ තත්වය වාර්තා වෙනවා. සංචරණ නීති සහ රෝගයත් එක්ක ඇතිවී තිබෙන මානසික ව්‍යාකූල තත්වය මැද්දේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහින් තිබෙනවා. මේකට බොහෝ විට මුහුණ දෙන්නේ වැඩිහිටියන්, කාන්තාවන් සහ ළමුන්. ආරක්‍ෂාව අවශ්‍යම පවුල තුළ බලය අඩුම පිරිස් මේ ප්‍රචණ්ඩත්වයට ලක්වෙලා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් එක පවා මේ තත්වයන් පිළිබඳව රටවල්වල ආණ්ඩුවලට අවධාරණය කර තිබෙනවා. මේ වෙනුවෙන් විශේෂ මැදිහත්වීම් කරන්න උපදෙස් දී තිබෙනවා. නමුත් අපේ රටේ ඒ ගැන කිසිම අවධානයක් ආණ්ඩුව යොමු කර තිබෙනවාද? මේ තත්වයට මුහුණ දෙන වැඩිහිටියෙක්, ළමයෙක් ගැහැණියක් කාටද ආමන්ත්‍රණය කරන්නේ? සංචරණ නීති කියලා මිනිස්සුන්ව අතහැරලා තියෙන්නේ. සංචරණ ප්‍රකාශ කරන එක වැඩක් නෙවෙයි. ඒවා ක්‍රියාත්මක කිරීමේදී මිනිස්සුන්ට අවම බලපෑම් සිදුවන විදිහට ක්‍රියාත්මක කිරීමයි මූලික වගකීම.

අපේ රටේ පාලකයෝ හැසිරෙන්නේ මේ රටේ මිනිස්නුන්, මේ රටේ සම්පත් තමන්ගේ පෞද්ගලික බූදලයක් වගේ සලකලා. ඔවුන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න මේ සියල්ල යොදා ගන්නවා. හැට නම ලක්‍ෂයක් ඡන්දය දුන්නේ මේකට නෙවෙයි. ඡන්දය දුන්න අයට මේ තත්වය හොඳටම තේරිලා තියෙනවා. ඔවුන් ඉතාමත්ම අසරණයි. ඔවුන් දැන් අතරමං වෙලා ඉන්නේ. නමුත් අපි කියන්නේ ඡන්දයේදී ඔවුන්ට වරදින්න පුලුවන්. නමුත් රටට මේ වගේ විනාශයන් වෙන්න දෙන්න බැහැ. මේ රටට අනාගතයක් තියෙන්න ඕනෑ. මේ රට වාසනාවන්තයි කියන හැඟීම නැති වෙච්ච එක ඛේදවාචකයක්. අපේ භූගෝලීය පිහිටීම, විවිධත්වය, සංස්කෘතීන්, සියල්ල කොතරම් වටිනවාද කියලා අපි දන්නවා. ආත්මාර්ථකාමී මුග්ධ හැඟීම් තියෙන පාලකයන්ට මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. එය නතර කිරීමට අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. තමන්ගේ බලාපොරොත්තු අත්නොහැර මේ තත්වය වෙනස් කිරීමට ප්‍රගතිශීලී සහ මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරන පිරිසත් එක්ක එකතු වෙලා විනාශය නතර කරන්න එක්වෙමු කියන ආරාධනය කරනවා.”

Leave A Reply

Your email address will not be published.

one × one =